වතු ආශ්‍රිතව ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින් ගැන විශේෂ අධ්‍යනයක් කරන්න ජාතික ළමාරක්ෂක අධිකාරිය තීන්දු කරලාලු.
මේ බව මව්බිම පත්තරයේ වාර්තාවක සඳහන් වෙනවා.
දුප්පත්කමෙන් පෙළෙන අඩු ආදායම්ලාභී ජනකොටස් වෙතින් වාර්තා වෙන ළමා අපයෝජන සිදුවීම් පදනම් කරගෙන මේ තීරණය අරන් තියෙනවා කියලා ඒ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මව්බිම පත්තරයට කියා තිබුණා.
ඒ වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන් හරහා මූලික තොරතුරු ඒකරාශී කරනවාලු.
මේ කතාව වාර්තා වී තිබුණේ බාලවයස්කාර දරුවන් දෙන්නෙක් නිරුවත් කරලා, ගස් බැඳලා, මිරිස් ගල්වලා පහරදුන් සිදුවීමක් ගැන හැටන් ප්‍රදේශයේදී වාර්තා වූ සිදුවීම ඇසුරෙන්. අවුරුදු 11, 8 සහ 7 වයස්වල ළමයින්ට තමයි මේ පහරදීම සිද්ධ වෙලා තිබුණේ.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් පසුපස ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ මෙවැනි ළමා අපචාර වැනි අපරාධ සිදුවීම් ගණනාවක් මෑත කාලයේ වාර්තා වීම පසුපස ආර්ථික පීඩනය තියෙනවාද යන්න. මේ වෙද්දී ගැමි ප්‍රදේශවල දරුණු අපරාධ නොවන, පවුල්වල ගැටුම්කාරී සිදුවීමක් ගැන ආරංචි වෙනවා. දරුවන්ට පහරදීම් මෙන්ම පවුල්වල රණ්ඩු වැඩි බව වාර්තා වෙනවා.
මෑත දිනවල ප්‍රවෘත්ති බලන්න. අපි ජනවාරි 04 වැනිදා පුවත්පත්වල තිබුණ සිදුවීම් දෙකක් ගනිමු.
මූල්‍ය ආයතනයකින් ගත්ත ණය මුදල ගෙවන්නේ නැතිව අධිකරණය මඟහැරපු බිරිඳ සහ තව නෑයන් හතරදෙනෙක් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ, එක සැමියෙක් ගෙල වැළලාගෙන මැරෙන්න උත්සාහ කළාලු. ආයතන ගොඩකට ණය වෙලා හිටපු මේ මනුස්සයා, ඒ ණය ගෙවන්න තවත් ආයතනවලින් ණය ගත්තාලු.
අරුණ පත්තරේ තියෙන්නේ ‘දුරදිග නොබලා කටයුතු කිරීම හේතුවෙන්’ ලැජ්ජාවට පත් වෙලා මේ මනුස්සයා මැරෙන්න උත්සාහ කළා කියලා.
පදවියේ තවත් ප්‍රවෘත්තියක තිබුණේ බෑණා නැන්දම්මාට පිහියෙන් ඇණපු ප්‍රවෘත්තියක්. දුවයි, බෑණායි අතර රණ්ඩු තිබුණාලු. මේ රණ්ඩු නිසා දුවගෙ පදිංචිය වෙනස් කරන්න ඒ අම්මා ගියාලු ග්‍රාම නිලධාරිනිය ළඟට. එතැනට ආපු බෑණා නැන්දාම්මාට ගහලා පිහියකින් හතරපොළකට ඇනලා ඝාතනයක් කළාලු.
තවත් සිද්ධියක් වාරියපොළ. ඒකත් දුවයි බෑණායි අතර රණ්ඩුවක්. ඒකට මැදිහත් වෙලා තිබුණේ බිරිඳගේ තාත්තා. බේරන්න උත්සාහ කරද්දී අවුරුදු හැත්තෑ එකක මාමණ්ඩිට බෑණා පොල්ලකින් ගහලා කියලා තමයි දැනට තොරතුරු තියෙන්නේ.
මෑත දිනවල මෙවැනි ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් වාර්තා වෙද්දී අප කල්පනා කර බැලිය යුතුයි. වතු කම්කරු පවුල්, කෘෂි පවුල්, ග්‍රාමීය පවුල් ආශ්‍රිතව මෙවැනි සිදුවීම් වැඩිපුර වාර්තා වෙන්නේ ඇයි? ඒක අහම්බයක්ද? සුවපහසුවෙන් ජීවත්වෙන ආර්ථික පහසුකම් තියෙන මධ්‍යම පාන්තික පවුල්වල මේවා නැත්තේ ඇයි?
ශ්‍රී ලංකාව බංකොළොත් වේවිද නැද්ද කියා ජාත්‍යන්තර ණය වාරිකයක් ගෙවීම වැනි ඉහළ මහ බැංකු මට්ටමේ මූල්‍යමය සංසිද්ධි දිහා බලා ඉන්නවාට වඩා, මෙවැනි සිදුවීම් දිහා බලා තීන්දු කළොත් ඇත්තටම රට දැනටමත් බංකොළොත් බව වැටහේවි.
