සහනවලට මුවා වෙලා, රාජ්‍ය සමාගම් විකුණන්න බැසිල් දාපු යෝජනාව

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මේ වන විට රටේ කතාබහට ලක් වී ඇති ‘සහන පැකේජයට’ අමතරව වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රාජ්‍ය සමාගම්වල ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය බව කියමින් රාජ්‍ය සමාගම්වලට පෞද්ගලික අංශය කැන්දාගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇත.

සාමාන්‍යයෙන් රාජපක්ෂවරුන් විපක්ෂයේ සිටියදී යම් රජයක් මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලැබූයේ නම් ඒවා ‘රාජ්‍ය සම්පත් විකිණීම’ යනුවෙන් ඔවුන් අර්ථකතනය කරනු ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි 03 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඒ ගැන මෙසේ සඳහන් විය.

‘ආරම්භයේදී රජය විසින් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනයට නිසි වටිනාකමක් ලැබීම පිළිබඳ ගැටලු පවතී. ඒ අතරම සමහර රාජ්‍ය ව්‍යවසාය අයවැය මත යැපීම නතර කළ යුතුව ඇත. තවද සමහර රාජ්‍ය ව්‍යාපාර දැනට ලාභ ලැබූවද අමතර ප්‍රාග්ධණය යෙදවීම තුළින් ඒවා වඩාත් ලාභදායී තත්වයට පත් කිරීමේ හැකියාවක් ඇත.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර විශේෂයෙන්ම උපායමාර්ගික ලෙස වැදගත් නොවන රාජ්‍ය වශාපාරවල ප්‍රාග්ධනය ආයෝජනයට පෞද්ගලික අංශ සහභාගී කර ගැනීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමද අත්‍යවශය කාරණයක් වේ. එබැවින් සමස්ථ රජයේ සහ මෙම අමාත්‍ය මණ්ඩලයේ පැහැදිලි සහයෝගය ඇතිව ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හා රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රාග්ධනය අයෝජනයට පෞද්ගලික අංශ සහභාගී කර ගැනීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. එවැනි තීරණයක් ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් රටට ඇති අවස්ථා මඟ හැරී යනු ඇත. තවද ආයෝජනයන් හා ප්‍රසම්පාදනයන් අතර වෙනස තේරුම් ගත යුතු අතර,  ආයෝජන ලබා ගැනීමේ ක්‍රමවේදයන් වඩාත් පැහැදිලි කර ගත යුතු වේ. තවත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන කළ යුතුය.’