2022 වසරේදී ශ්‍රී ලංකාවට ලැබීමට ඇති ආදායම් සහ කරන්නට ඇති වියදම් ගැන සඳහනක් බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඩොලර් බිලියන 6.9ක ණය ගෙවන්න ඇති බවත්, පළවැනි කාර්තුවේ පමණක් ඩොලර් බිලියන 3කට වඩා ණය ගෙවන්නට ඇති බවත් එහි ඔහු සඳහන් කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි 03 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඒ ගැන මෙසේ සඳහන් විය.
‘2022 වර්ෂය තුළදී මුළු විදේශ ණය සේවාකරණ ගෙවීම්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශ මුදල් බැංකුකරණ ඒකක ණය ද ඇතුළුව ඇමෙරිකන් ඩොලර් මිලියන 6.9ක් පමණ වේ. මේ තුළ ජනවාරි මස කල් පිරෙන ඇ.ඩො. මිලියන 500 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ජූලි මස කල් පිරෙන ඇ.ඩො. මිලියන 1000ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරද ඇතුළත් වේ.’
‘2022 ජනවාරි මාසය තුළදී පමණක් ඇමෙරිකන් ඩොලර් මිලියන 1300ක් විදේශ ණය සේවාකරණ ගෙවීම් සඳහා අවශ්‍ය වන අතර ඇ.ඩො. මිලියන 3100ක් 2022 පළමු කාර්තුව තුළදී විදේශ ණය සේවාකරණ ගෙවීම් සඳහා අවශ්‍ය වේ.’
යනුවෙන් ණය ගෙවීම ගැන එහි සඳහන් කර තිබුණි.
‘අපේක්ෂිත භාණ්ඩ හා සේවා අනයන ඇ.ඩො. බිලියන 23ක් පමණ වේ.’ යනුවෙන් භාණ්ඩ ගෙන්වීමට වැය වෙන මුදල ගැනත් එහි සඳහන් විය.
ඉන් පසුව එහි සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකාවට අපේක්ෂා කරන ආදායම පිළිබඳවය. ඒ මෙසේය.
‘භාණ්ඩ හා සේවා අපනයනය තුළින් මුළු විදේශ මුදල් ගලා ඒම් ඇ.ඩො. බිලියන 32ක් පමණ අපේක්ෂා කෙරේ. එනම්, භාන්ඩ අපනයන ඇ.ඩො. බිලියන 20.7ක් පමණ දක්වා වර්ධනයක්ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 7ක් පමණ අපේක්ෂා කරනු ලැබේ. ඇඟලුම් අපනයනයෙන් පමණක් ඇ.ඩො. බිලියන 6.8ක් අපේකෂා කරයි. සේවා අංශයේ අපනයන සැලකීමේදී තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සේවා ඇ.ඩො. බිලියන 2.3 අගයක් ගනු ඇත.
සංචාරක කටයුතු යථා තත්වයට පත් වන බව දැනටමත් පෙන්නුම් කරන අතර ඒ හා සම්බන්ධ ගලා ඒම් ඇ.ඩො. බිලියන 1.8ක් පමණ වේ. මෙහිදී සංචාරකයන් මිලියන 2ක ඉක්මවීමට අවශ්‍ය සියලු ශක්තීන් මෙහෙයවිය යුතු අතර, විදේශීය සංචාරකයන් අධෛර්යමත් වන නව රෙගුලාසි, රක්ෂණ ක්‍රම හඳුන්වාදීමෙන් වැළකී සිටීම යෝග්‍ය වේ.
විදේශ රැකියා සඳහා යොමු වී ඇති පිරිස 2020 දී 53,000ක්ද, 2021 දී 116,000ක් ද පමණක් විය. එය 300,000 දක්වා ඉහළ දැමීමත්, රැකියා අවස්ථා පුළුල් කිරීමත්, එනම් ඉහළ වැටුප් සහිත නව රැකියා සඳහා හා නව රැකියා වෙළඳපළවල් හරහා මෙු වීම තුළින්ද විදේශ ප්‍රේෂන ඇ.ඩො. බිලියන 7.5ක මට්ටමකට ළඟා වේ යැයි අපේක්ෂිතය.
ඍජු විදේශීය ආයෝජන ඇ.ඩො. බිලියන 1ක් දක්වා වර්ධනය විය යුතුය.’