අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ආනයනයට ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් ණයක් දෙන්න ඉන්දියාව එකඟ වෙලා. මේ වගේ ක්‍රෙඩිට් ලයින් එකක් විවෘත කළාම, ඒක විවෘතව පවතිනතුරු ණයට භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව ලැබෙනවා.
ඒ අනුව කොටස් තුනක් විදියට ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 1.9ක් පමණ වනු ඇතැයි අනුමාන කරනවා. එහෙත් එම කොටස් තුන ලැබෙන්නේ කවදාද කියා හරියටම කිව නොහැකි බව ඉන්දීය තානාපති ආරංචිමාර්ග සඳහන් කරලා තියෙනවා.
කොටස් තුනක් වන්නේ මීට කලින් ඉන්ධන මිලදී ගැනීමට එකඟ වූ ඩොලර් මිලියන 500ක ‘ක්‍රෙඩිට් ලයින්’ ණය සහ මූල්‍ය හුවමාරු ගිවිසුමකින් ලබා දීමට එකඟ වූ ඩොලර් මිලියන 400 ඇතුළත්ව.
ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් එක හරහා ලැබෙන මුදල ලබාගැනීම සඳහා යම් ලිපිගොනු සකස් කිරීමක් සිදු වෙන්න ඕනෑලු. ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගත වේවිලු. ඉන්දියාව පැත්තෙනුත් කියා තියෙන්නේ ඔවුන් මේ විදියට ණය ලබාදීම නතර කර තිබෙන බවත්, ශ්‍රී ලංකාව පැත්තෙන් නිල ඉල්ලීමක් ඉදිරිපත් වෙනතුරු ණය ප්‍රමාද වූ බවත්. ඒත්, ඇතැම් අය අනුමාන කරන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල අයිතිය නිරවුල් කරලා, ඒවා ඉන්දියාවට තව අවුරුදු 50කට ලැබීම තහවුරු වෙනතුරු මේ මුදල් පරක්කු වෙන බව.
එහෙත් දෙවැනියට සඳහන් කළ එකතුව ඩොලර් මිලියන 900ක් වූ මුදල ජනවාරි මාසය අවසන් වීමට කලින් ලැබෙන බවත්, ඉන් එකක් ජනවාරි 10 වන විට ලැබෙනු ඇති බවත් ඇතැම් වාර්තාවල සඳහන් වෙනවා.
මේ ණය ලබාගැනීමේදී ඉන්දියාව පාර්ශ්වයෙන් කොන්දේසි ගණනාවක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව පෙනෙනවා.
මේ වෙද්දී ඉන්දියාව දී ඇති කොන්දේසි අතර ප්‍රධානම එක වන බව පෙනෙන්නේ අප උඩින් සඳහන් කරපු ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල හිමිකාරීත්වය නිරවුල් කරලා දෙන එක. ඒ වෙනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක් කටයුතු කරන බව පේනවා.
අනෙක් පැත්තෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීම ආදී තවත් කොන්දේසි ඇති බව ආරංචිමාර්ග පවසනවා.
නුදුරු දිනයකදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙම ණය ආධාර ලබා දීමට කලින් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉන්දීය රජයේ නායකයන් කතා කර ණය ලබාදීම ගැන විමසීම් කර ඇති බවත් වාර්තා වුණා.