‘පිරිමි 15ක් කඩාවැදී අපරාධකාරයෙක් වගේ මාව ගෙනිච්චා!’ ‘හූ’ කීව එකක් ෂෙයා කළාම, පොලිස් දඩබල්ලෝ පැනලා!

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සිවිල් ක්‍රියාකාරිනියක් වන ආශා දිල්රුක්ෂි පෙරේරා තමන්ට සිදු වූ අසාධාරණයක් පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබුණා.

‘මගේ නම ආශා දිල්රුක්ෂි පෙරේරා. මම එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සම්මේලනයේ කාන්තා සංවිධානයේ ජාතික කැඳවුම්කරු හා ජාතික සංවිධායක. ඇත්තටම කියන්න කණගාටුයි, ඊයේ දවසේ තුළ අපරාධයක් කරපු කාන්තාවක් ඩැහැගෙන යනවා වගේ දෙයක් තමයි මට සිද්ධ වුණේ. ඒ සිද්ධිය පැහැදිලි කරනවා නම්, මම ආබාධිත දරුවන් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. සමාජයේ නොපිළිගත් පිරිසක් සමාජයේ යහමගට යැවීම සඳහා වැඩකටයුතු කරන කාන්තාවක්.

ඒ වෙලාවේ මම දරුවන් එක්ක වැඩ කරමින් හිටියේ. ඒ ඉන්න අවස්ථාවේදී පිරිමි 15ක් විතර පිරිසක්, එක කාන්තාවක් ඇවිල්ලා එකපාර කීවේ ෆෝන් එක පෙන්වන්න, ඔයා මේ වගේ දෙයක් කරලා තියෙනවා. අපි එක්ක යන්න ඕනෑ කියලා.

ජනාධිපතිතුමාට අපහාස වෙන දෙයක් තමයි ඔයා කරලා තියෙන්නේ, මේක බරපතල වරදක්. ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනෑ කියලා. මම කීවා මේ වෙලාවේ එන්න අපහසුයි, වෙලාවක් කියන්න. එන්නම් කියලා. ඊට පස්සේ කීවා එහෙම කරන්න බෑ. අපි එක්ක යන්න ලෑස්ති වෙන්න කියලා. මං ලොකු අපහසුතාවකට පත් වුණා. ආබාධිත දරුවෙක් එක්ක මම හිටියේ.

31 වැනිදා. මම අම්මා කෙනෙක්. ගෙදර කිසිවක් සූදානම් කරලා තිබුණේ නැහැ. මම අපරාධකරුවෙක් වගේ මා පිටිපස්සෙන් පැමිණියා. මම ගෑස් සිලින්ඩර් පිපිරීම නිසා කාන්තාවන්ට, ගෘහණියන්ට වෙච්ච අසාධාරණය වෙනුවෙන් හඬක් නගන්න එළියට ආවා. ඒ වෙලාවේදී මට තව අසාධාරණයක් සිද්ධ වුණා. නොසිතූ විදියට මගේ නම පැමිණිලි කරලා තිබුණා කහඳගම මහතා හූ කිව්වා කියලා. මම කරපු නැති දෙයක්. මගේ නම පැමිණිල්ලක සඳහන් කරලා තිබුණා.

අන්තර්ජාලයේ නිකම් පළවෙච්ච ‘හූ’ කීම ගැන පෝස්ට් එකක් ෂෙයා කළා කියලා තමයි මාව ගෙනිච්චේ. මගේ ෆෝන් එක ගත්තා. සියලුම දේවල් කොපි කර ගත්තා. කොපි කරගෙන කීවේ ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න එපා. ඔයා දන්නවාද බරපතල වරදක් කරලා තියෙන්නේ. මින් ඉදිරියට ඒ වගේ දේවල් කරලා අහුවෙන්න එපා කියලා.

වගකීමෙන්ද මේ පෝස්ට් එක දැම්මේ කියලා කිව්වා. මම ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් කළා. ජීවිත විනාශ වෙනවා මේ වගේ පෝස්ට් එකකට වගකිමක් ගැන සඳහන් කරන්නේ ඇයි සහෝදරයා කියලා. මම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා. මට ලොකු බයක් තියෙනවා ඒ වගේ පොඩි දෙයක් කරලා මගේ පස්සෙන් කරලා පන්නනවා නම්, ඊට වඩා දේවල් කොච්චර දේවල් කරපු මිනිස්සු ඉන්නවාද?

මම මිනීමරලා, අපරාධ කරලා නැහැ. සිවිල් සංවිධාන නායකයන් එළියට ඇවිල්ලා මා වෙනුවෙන් පෙනී හිටියා. විපක්ෂ නායකතුමා කීවා ආශා මේක වෙන්න දෙන්න බැහැ. ඔයා කතා කළේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් කියලා.’