අල්ලස් ගත්ත මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි!

මහින්ද රාජපක්ෂ මහතාට ජෙට් එක දුන්නේ ඉන්දියාවේ යාළුවෙක් බව  මෝනිං පත්තරයේ අසාම් අමීන් ලියපු ප්‍රවෘත්තියක තිබුණානේ. අසාම් ඒ ගැන යෝෂිත රාජපක්ෂගේ ඇහුවාම කීවාලු. අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන යෝෂිත, තමන්ගෙ තාත්තයි, අම්මයි, මල්ලියි ඔය ගමන ගියේ නම එළි කරන්න අකමැති ඉන්දියාවේ යාළුවෙක් දුන්න ජෙට් එකක බව කීවාලු. ඒ කෙනා ජෙට් එකට සල්ලි අය කළේ නැහැලු.

කොහොම නමුත් ඒකෙන් පස්සේ දැන් බොහෝ අය සැකකරන නම තමයි වේලුපිල්ලෙය් කනනාදන් මහත්තයාගේ නම. මොකද මේ යානය එක්ක කනනාදන් මහතා ඉන්න ඡායාරූප තියෙනවා. එළියේ සහ ඇතුළේ ෆොටෝස්. ඒ වගේම මේ යානය ආවේ උගන්ඩාවේ ඉඳලා. කනනාදන් මහතා දීර්ඝ කාලයක් උගන්ඩාවේ හිටපු කෙනෙක්. එයාගේ ළමයි පවා උගන්ඩාවේ ඉගෙනගත් බවත් කීවා.

අනෙක් පැත්තෙන් මේ යානය 2021 දෙසැම්බර් 10 වැනිදා කෙන්යාවට ගිහින් තිබුණා. කෙන්යාව ඇතුළේ එහේ මෙහේ වාර කිහිපයක් මේක ගිහින් තිබුණා. ඊට පස්සේ තමයි නැවත උගන්ඩා ගිහින්, එතැනින් රත්මලානට ඇවිත් තිබුණේ.

මෙයා ඉස්සර උගන්ඩා තානාපති. මෑත කාලයේ කෙන්යා තානාපති. ක්ෂේත්‍රය නොදන්න, රට නොදන්න අමුතු ව්‍යාපාරිකයෙක්. ගැන 2014 දී සන්ඩේ ටයිම්ස් පත්තරේ තිබුණා මේ කෙනාගේ සීවී එකේ කරුණු ඇසුරෙන් ලිපියක්. ඒකේ තිබුණේ සීවී ඒක අනුව නම් උගන්ඩා වගේ රටක තානාපතිකමට මේ කෙනා සීමාව ඉක්මවූ සුදුසුකම් ඇත්තෙක් බව. ඒ සීවී ඒකේ හැටියට කනනාදන් මහතා ජාත්‍යන්තර ව්‍යාපාරික ගනුදෙනු මෙහෙයවන්නෙක්ලු. බිල් ක්ලින්ටන් ඇතුළු ලෝක මට්ටමේ දැවැන්ත නායකයන් වගේම අප්‍රිකානු රටවල් කිහිපයකම රාජ්‍ය නායකයන් රාජපක්ෂ මහත්වරුන්ට සම්මුඛ කළේත් ඔහුලු.

අනෙක මෑතකදී අපේ නාමල් රාජපක්ෂ මහතා කෙන්යාවේ සංචාරයකුත් ගියානේ. ඔක්තෝබර් මාසයේ. ලෝකෙ මෙච්චර රටවල් අතරින් කෙන්යා ගියේ ඇයි කියලත් සමහරුන් ප්‍රශ්න කළා.

කොහොම නමුත්, තානාපති සේවයේ නොසිටි, රාජ්‍ය පරිපාලන සේවයේත් නොසිටි මේ අහසින් පාත් වුණ කනනාදන් මහතා එක්ක රාජපක්ෂලාගේ සම්බන්ධය වෙනම ප්‍රශ්න කරන්න වෙනවා.

දැනට අපි ඒ නම ගැන සැකය තියාගෙන ඉමු හොඳේ. නිල වශයෙන් කියන්න බෑනේ කිසිදෙයක්. දැනට අපි ළඟ තියෙන්නේ මේ ජෙට් එක ගැන යෝෂිත කියපු කතාව විතරයි.

එහෙම කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනවාරි දෙවැනිදා ඩුබායි සංචාරයක යන්න ලෑස්ති. ඒකට කවුරු ජෙට් එකක් දෙයිද කියා දන්නේ නෑ.

ඒත්! මේ කතාව මේ විදියේ කතන්දර කියලා යටගහන්න දෙන්න බැහැ. අපි මීම්වලට, ජෝක්වලට කැමතියි.

ඒත් මේක මීම් එකක් නෙවෙයි. ජෝක් එකක් නෙවෙයි. අපි කියන්නේ මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වෙන්න ඕනෑ.

මේ කියන එම්බ්‍රයර් ලෙගසි 600 කියන සීට් 13ක ප්‍රයිවෙට් ජෙට් මොඩල් එක දවසකට දෙන්න, ඒ කියන්නේ මිලියන 30කට වැඩි වියදමක් යන බව අපි කීවා. එච්චර වටිනා තෑග්ගක් යාළුවෙක් දුන්නා කියලා අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා, අනෙක් පැත්තෙන් පුතා කීව ගමන්ම අති දැවැන්ත අල්ලසක්, සන්තෝසමක් ලබාගැනීමක් ප්‍රසිද්ධියේ පිළිගත්තා වෙනවා.

මේ තරම් දැවැන්ත අල්ලසක් බාරගත් ඔහු, ඒ බව ප්‍රසිද්ධියේ පිළිගත්තාම ලංකාවේ අපි නිහඩව ඉන්න ඕනෑද?

මේ රටේත් නොවන, අතිශය ධනවත් ව්‍යාපාරිකයෙක් මෙතරම් දැවැන්ත ජෙට් ට්‍රැවල් එකක් දෙන්නේ මොන අරමුණෙන්ද? පැහැදිලිව ඒ ව්‍යාපාරිකයාට අයිති මොකක්හරි බිස්නස් එකක් ප්‍රමෝට් කරන්න, ස්පොන්සර්ෂිප් එකක් නෙවෙයි.  නම කියන්න කැමති නෑනේ.

මෝනිං පත්තරයට අසාම් අමීන් මේ කතාවේ රාජපක්ෂලාගේ පැත්ත ලීවා හැරුණාම, එයාලාගේ නිදහසට කරුණ ලීවා හැරුණාම ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ සිද්ධිය ගැන අන්ධයිද? බීරියිද? මේ තරම් දැවැන්ත සිදුවීමක් ගැන රාජපක්ෂ පවුලම, කාර්යමණ්ඩල ප්‍රධානියාම තහවුරු කළාටත් පස්සේ කෝ මහා ලොකු මාධ්‍ය ආයතන මේවා ගැන කරන සාකච්ඡා?

එතැනින් එහාට කෝ විපක්ෂයේ විරෝධය? දේශපාලන පක්ෂවල ප්‍රශ්න කිරීම්? කෝ දේශපාලන කැළඹීම?

මේ රටේ මාධ්‍ය ආයතනවල ඉන්නේත් ඒ ඒ ගජමිතුරෝ. දේශපාලනයේ ඉන්නේත් ‘ඔක්කොම යාළුවෝ මල්ලී’! උං මේවාට කැළඹෙන්නේ නෑ.

ඒත්! පුරවැසියන් විදියට අපි මේ සිද්ධි සතියේ තවත් එක බයිට් එකක් වෙන්නට නොදී කැළඹෙන්න ඕනෑ. අගමැති ඉල්ලා අස්වෙන්න කියන තැනට පවා අපි තල්ලු කරන්න ඕනෑ. මොකද මේක ලොකු අයිස් කන්දක පොඩි මුදුන විතරයි.

අපි ඇත්තටම විශ්වාස කරමුකෝ එයාලාගේ නිදහසට කරුණ. එයාලා කිව්ව කතාව. ඒක කිව්වේත් මේ ගැන රටම කතා කරන්න පටන්ගත්තාට පස්සේ වුණත්, එයාලා කිව්ව එක ඇත්ත කියමු. හරි! මේක රාජපක්ෂලාගේ ජෙට් එකක් නෙවෙයි. එයාලා රෙන්ට් කළාත් නෙවෙයි.

ඒත්! එහෙම වුණත්!

රටේ අගමැතිවරයා ධනවතුන්ගෙන් මෙහෙම අල්ලසක් බාරගත්තා කියලා හෙළි වුණොත් වෙන රටවල් කොහොම කැළඹේවිද? දේශපාලනය කොහොම කැළඹේවිද?

මේ වගේ අල්ලස් දීලා ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ඨ කරන්නේ කොහොමද?

මාධ්‍යවේදියෙක් විදියට අපි ඇතැම් දේශපාලනඥයන් නත්තල්, අවුරුදු වගේ විවිධ කාලවල තමන්ව ඉන්ටවීව් කරන්න එන මාධ්‍යවේදීන්ට තෑගි විදියට පුරුද්දට දෙන ෂර්ට් එකක් වගේ පොඩි දේවල් බාරනොගෙන ඉඳලා තියෙනවා. මේ චැනල් එක පටන් ගැනීමෙන් පස්සේ අපේ වැඩවලට අත්‍යවශ්‍ය වුණත්, අපට වෙන ගන්නට ක්‍රමයක් නැති වුණත් කැමරා ඇතුළු විවිධ උපකරණ වෙනුවෙන් සමහරුන් දෙන්න උත්සාහ කරපු ඩොනේෂන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ සමහර අය මේවා දෙන්න උත්සාහ කළේ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, හුදෙක් අපට උදව්වක් විදියට, අපේ කාර්යභාරය ගැන හිතලා. ඒත්! කොච්චර සද්භාවයෙන් දුන්නත් අපි ඒවා බාර නොගත්තේ අල්ලස සහ සද්භාවයෙන් දෙන තෑග්ග අතර බෙදුම් ඉර කවදාවත් අඳින්න බැරි නිසා.

මාධ්‍යවේදීන් විදියට වෙනම ආචාරධාර්මික රාමුවක් අපට තියෙනවා මේ තෑගි බාරගැනීම නොගැනීම ගැන. විශේෂයෙන් පුංචි තෑග්ගකට වඩා දැවැන්ත එකක් වෙන තරමට අපේ හිතේ බය වැඩි වෙනවා. දේශපාලනඥයෙක් තේ එකක්, බිස්කට් එකක් දුන්නොත් ඒ සංග්‍රහ බාරන්න පුළුවන්. සමහරවිට චීස් කෑල්ලක් හෝ විස්කි වීදුරුවක් බාරගන්නත් පුළුවන් වේවි. ආහාරපාන ආදී සංග්‍රහ. ඒත්, එතැනින් එහාට ගියොත් ජර්නලිසම් ඉවරයි.

එතකොට කෝ මේ රට බාර මිනිස්සුන්ගේ ආචාරධර්ම? කෝ මේ වගේ අල්ලස් ගැනීම හෝ නොගැනීම ගැන බෙදුම් ඉර? ඔච්චර අමාරුද ඉන්දියාවට ගිහින් ඒන්න සාමාන්‍ය  යානයක? මේක බාර නොගෙන ඉන්න තිබුණේම නැද්ද? අධි සැප නැතිව ඔය පස්ස තියන්න බැරිද, මැදමුලන කුඹුරෙ හැදුණා කියන ‘පොදුජන නායක’ කියලා බ්‍රෑන්ඩ් කරගත්ත මිනිහාට?

‘ඔව්! අපේ තාත්තා ඉන්දියාවේ ධනවතෙක්ගෙන් අල්ලසක් ගත්තා. නම කියන්න බෑ’ කීවාම වැඩේ ඉවරද?

කෝ අල්ලස් කොමිසම? ආ! එතැන ඉන්නේ මහින්ද මහත්තයාගෙන් ගෙදර යන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීම් ගත්ත පරණ යෙහෙළිය. ඊවා වනසුන්දර.

අපි කොහොමද විශ්වාසෙන් ගිහින් මේ වගේ කතාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්වත් දාන්නේ?

මේ ජෙට් එක තිබුණේ ජෙට් සෙට් ගෝ කියන කම්පැණිය යටතේ. ජෙට් සෙට් ගෝ කියන්නේ අපේ කලාපයේ බිලියනපතියන්ට උබර් වගේ කම්පැණියක්. ඒ කියන්නේ කෙළින්ම ඇප් එක ෆෝන් එකට දාගෙන අහවල් තැනින් අහවල් තැනට යන්න කියලා ගුවන් ගමන්වලට ෆ්ලයිට් බුක් කරන්න පුළුවන්. හැබැයි මිලියන ගණන්වලින් ගෙවන්න තියෙන්නේ.

මේක කනිකා ටෙක්‍රිවාල් කියන ව්‍යාපාරික කාන්තාව මෑතකදී පටන්ගත් එකක්. 2021 අගදී තමයි ජෙට් හයක් මේ කම්පැණියේ මෙහෙයුම්වලට අරගෙන තියෙන්නේ. ඒත්, ඒ ජෙට් හය අතරේ මේ එම්බ්‍රයර් ලෙගසි එක නෑ.

අපි ඒක දැනගත්තේ මෙහෙමයි. ජෙට් සෙට් ගෝ වෙබ් එකට ගිහින් මේ එම්බ්‍රයර් ලෙගසි 600 එක බුක් කරගන්න අපි බැලුවා. එහෙම බෑ. ඒ කියන්නේ මේ  යානය කවුරුහරි ජෙට් සෙට් ගෝ යානා ගොඩ අතරේ තැබුවාට. රහස් අයිතිකාරයෙක් ඉන්නවා.

මීට මාස ගාණකට කලින් රාජපක්ෂ පවුලේ තිරුකුමාර් නඩේසන් සහ නිරූපමා රාජපක්ෂ දෙන්නාට අයිති ඇමෙරිකන් ඩොලර් මිලියන සිය ගණනක දේපළ, අති සුඛෝපභෝගී වත්කම් ගැන හෙළි වුණා. රාජපක්ෂ පවුලේ දෙවැනි පෙළ, නොවැදගත් චරිතයක් විදියට සලකපු නිරූපමා රාජපක්ෂ වගේ කෙනෙකුට ඒ තරම් වත්කම් තිබුණා නම්, අන් අය ගැන අපි කොච්චර සැක කළ යුතුද?

ඒ අය ගැන මෙවැනි සිදුවීම් වාර්තා වෙද්දී, ඒවා ගැන තියුණු විදියට පුරවැසි හඬ නැගිය යුතුයි.

මෙයාලා විඳින සැප ගැන කතා කරද්දී මීට කලින් එයාබස් ගනුදෙනුවේ ඩොලර් මිලියන 15 ගාණේ වන අධිසුඛෝපභෝගී ගමන් කට්ටලයක් ගන්න හැදුවා. මේ ගැන විගණකාධිපති වාර්තාවක් තියෙනවා. ඒකේ ඔය කියන ගමන් කට්ටලයේ තිබුණු බාර්, සුවපහසු හෝටලක් වගේ සීට් ආදී හැමදේම තිබුණා. අධිසුඛෝපභෝගී ගමන් පහසුකම්. රාජ්‍ය වියදමින් රාජපක්ෂලාට ගන්න හදපු කැත උත්සාහයක් ඒ.

ඔය එයාබස් ගනුදෙනුව දූෂිත බව තහවුරුයි.

ඒ වගේම 2017 නොවැම්බර් පාර්ලිමේන්තු හැන්සාඩ් එක අනුව කබීර් හෂීම් එදා ඇමතිවරයා ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියේ අධි සුඛෝපභෝගී කොටසක් මේ අය ගන්න හදපු උත්සාහයක් ගැන මෙහෙම කියා තිබුණා.

‘අර ගුවන් යානාවල සුපිරි කාමර හදලා ගියා වාගේම හයට් හෝටලය හදනකොට ඒකේ 42,43,44 වෙනි මහල්වල කරන්නේ මොකක්ද? ඒකේ විශේෂයෙන්ම සුපිරි අපාර්ට්මන්ට් ටිකක් හදනවා. ඒක ඕනර්ස් අපාර්ට්මන්ට් කියලා. ඒක හෝටලටයත් අයිති නැහැ. රජයටත් අයිති නැහැ කියලා හදන්නේ. තමන්ට පාවිච්චි කරන්න කියලා වෙනම අපාර්ට්මන්ට් හදනවා. මේවා කාටද? රජ පවුලට වෙන්න ඕනෑ. මේ අපාර්ට්මන්ට් ගහන්නේ රජයට, ඒ ව්‍යාපෘතියට කිසිම ආදායමක් නැති වෙන ආකාරයට. වෙනම අයිතිකාරයන්ට ගන්න කියලා හදන්නේ. එහි කොටහ ඒගොල්ලන්ට. ඒකෙන් රජයට කෝටි ගණනක් පාඩුයි. රජයට ඒක නැවත වෙනස් කරන්න ඩොලර් මිලියන 3.9ක් ගියා.

අපි බලයට ආපු ගමන් එක එක පුද්ගලයන්ට හයට් හෝටලයේ මහල් තුනක් වෙන්කරලා දෙන්න ඕනෑ නැති නිසා හෝටලයේම සාමාන්‍ය පොදු කොටසක් විදියට අරගෙන රජයට ආදායම එන විදියට ඒක වෙනස් කළා. අපට ඒක නැවත වෙනස් කරන්න විශාල වියදමක් ගිහිල්ලා තිබෙනවා. ඒ වාගේම ඒකට යන්න විදුලි සෝපානය වෙනම හදලා තිබුණා. රජ පවුලට යන්න විතරක් වෙනම හදලා තිබුණා. එහි ඩිසයින් එක වෙනස් කරන්න අපට විශාල මුදලක් ගියා. ඒකත් පොදු පාවිච්චියට ගන්න වෙනස් කරන්න මිලියන 40ක් ගියා. මේක තමයි යථාර්ථය.’

මේවා රාජපක්ෂලා වෙනුවෙන් හැදූ බව තහවුරු නෑ. ඒත්, වෙන කවුරු වෙනුවෙන්ද? කියලා අපට අහන්න පුළුවන්.