ගෝඨාට මෙව්ව වෙයි කියා, එයා යන පාරේ කඩේක කිරිපිට පෝළිමට පොලිසිය කඩාවැදී එළවළා

මිරිහාන පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් දෙසැම්බර් 29 වැනිදා හැන්දෑවේ මිරිහානේ කිරිපිට අලෙවි කරන කඩයකට කඩාවැදී, එහි සිටි මිනිසුන් එළවා කිරිපිටි පෝළිම් ඉවත් කළාලු.

ජනාධිපතිවරයා එනවා කියන එක තමයි හේතුව විදියට කියා තියෙන්නේ.

අපි සමාජ මාධ්‍යවලින් හුවමාරු වූ මේ සිදුවීම ගැන හොයා බලා තහවුරු කරගන්නට එතැනට යන්නට සූදානම් වෙමින් හිටියත්, නිව්ස්ෆ්‍රස්ට් ආයතනයෙන් මාධ්‍යවේදියෙකු යවා ඒ තොරතුර තහවුරු කරගෙන තිබුණා.

මිරිහානේ ජුබිලි කණුවේ තියෙන කඩේකට තමයි මෙහෙම ඇවිත් තිබුණේ. හේතුව විදියට කියා තියෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාවට තර්ජනයක් කියන එක. ඊට අමතරව මාර්ගය අවහිර වෙනවා, ජනාධිපතිවරයා මේ පාරේ යනවා එනවා කියලා හේතු දක්වා තිබුණා.

හැබැයි ඇතැම් අය පෙන්වා දී තිබුණා අධිකරණ නියෝග නැතිව මේ විදියට වෙළඳසැල්වලට කඩාවැදීම බරපතල ප්‍රශ්නයක් බව.

ප්‍රභූ ආරක්ෂක රථ කිහිපයක් එතැනින් ගියාට පස්සේලු කඩේ පෝළිම් ඉවත් කරන්න තීන්දු කළේ. මේ රථ පෙළ බොහෝවිට ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ වෙන්න ඕනෑ. ඒ රථ පෙළ එද්දී හූ කීමක් හෝ විරෝධය දැක්වීමක් සිදු වුණාදැයි සැකයි.

කොහොම නමුත්, මේ වෙද්දී රාජපක්ෂලාට හූ කියන රැල්ලක් තියෙන නිසා, ඇත්තටම ඔය කිරිපිටි පෝළිමක් ජනාධිපතිවරයා ඔතැනින් යන වෙලාවක විරෝධයක් බවට පත්වෙන්නත් ඉඩ තියෙන බව ඇත්ත.

ඒ කියන්නේ වක්‍රව සැලකුවොත්, ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ගේ ඈන්ගල් එකෙන් ජනාධිපතිවරයාට තර්ජනයකුත් ඇති. ඒත් ඒ තර්ජනය එන්නේ විදෙස් රටකින්, ත්‍රස්ත සංවිධානයකින් හෝ වෙන හතුරෙකුගෙන් නෙවෙයි. මේ ජනාධිපතිවරයා අයිති රටේ පුරවැසියන්ගෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිතාගෙන විදියට ඔහු යටතේ පාලනය වෙන, ඒත් ඇත්තටම රටේ ව්‍යවස්ථාව අනුව ඔහු සේවය සැපයිය යුතු සේව්‍යයා වන පුරවැසියන්ගෙන්. ඔහු පුරවැසියන්ට කරලා තියෙන විනාසය නිසා, ඔතැනින් යන වෙලාවක අනතුරක් වෙන්නත් පුළුවන් තමයි.

ඒත්, ඒකට විසඳුම කිරිපිටි එක ගන්න බලාගෙන ඔතැන පෝළිමේ ඉන්න මිනිසුන් එළවා දැමීම නෙවෙයි. ඒකට විසඳුම ඔය මළවිකාරය අත්හැරලා දැනටමත් ලයිට් බිල් සහ වතුර බිල් විශාල පරිමාණයෙන් ගෙවමින් පවත්වාගෙන යන ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑම. නැත්නම් ඔය කරන්න බැරි රස්සාව අත්හැරලා දාලා මිරිහානේ ගෙදරට වෙලා ඉන්න එක හෝ තමන් විසින් පාවාදීමට ලක් කරනු ලැබූ පුරවැසියන්ගෙන් මිදිලා බිරිඳගේත්, දරු මුණුපුරන්ගේත් රට වන ඇමෙරිකාවට යන එක.