මව්බිම පුවත්පතේ දෙසැම්බර් 28 වැනිදා පළ වූ ‘අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු බහුතරය අසාර්ථකයි’ යන සිරස්තලය සහිත ප්‍රවෘත්තියේ තියෙන ඇතැම් දේවල් ජනාධිපතිවරයා කීවේ නැති බව මව්බිමට පිළිතුරක් එවමින් සුදේව හෙට්ටිආරච්චි දැනුම් දීලා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් 27 වැනිදා පුවත්පත් කතුවරුන් එක්ක පැවැත්වූ සුහද හමුවකදී කීවායැයි සඳහන් කරුණු ඇසුරෙන් තමයි මව්බිම පුවත ලියා තිබුණේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන සුදේව හෙට්ටිආරච්චි මව්බිමට දැනුම් දී තිබුණේ ඒ පුවතේ සඳහන් වූ අමාත්‍යාංශ ලේකම්, සංස්ථා සභාපතිවරුන් ආදී ‘බහුතරය’ අසාර්ථක බව නොකී කතාවක්. ඒ කියන්නේ ‘බහුතරය’ කියන එකට තමයි නිවැරදි කිරීම ඇවිත් තිබුණේ.
එහෙත්, මේ කියන සාකච්ඡාව වීඩියෝ හෝ හඬ ආදී වශයෙන් පටිගත කරලා තිබුණේ නෑ. පුවත්පත් කතුවරුන්ටත් රෙකෝඩර් ආදී උපකරණ ලබා දී තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ‘බහුතර’ කතාව නොකී බව දැන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් කීවත්, තමන්ට නිලධාරීන්ගෙන් සහයෝගයක් නොලැබුණු බව ජනාධිපතිවරයා කොහොමත් කියා තිබුණු බව ඒ සාකච්ඡාවට සහභාගී වූ අයගෙන් තහවුරු වුණා. විශේෂයෙන් කාබනික ගොවිතැනේ ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහයෝගයක් නොලැබුණ බව ඔහු කියා තිබුණා.
ඊට අමතරව ඩොලර් අර්බුදය ගැනත් කතා කර තිබුණා. ඩොලර් නැති වූ ආකාරය කොවිඩ් වසංගතය පිට පටවමින් සුපුරුදු අඬෝවැඩියාවක නිරත වී තිබුණු ඔහු, ඉදිරියේදී ඒ තත්වයෙන් ගොඩ ඒමට පුළුවන් කියා විශ්වාසය පළ කරලාත් තිබුණා.
එතැනින් එහාට පුනර්ජනනීය බලශක්තිය සහ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ගැන මහා උනන්දුවෙන් කතා කර තිබුණා. ඒ විෂයන් දෙක අනාගත පරපුර වෙනුවෙන් වැදගත් විෂයන් දෙකක් වුණත්, මේ වෙලාවේ බෙල්ල හිර වී සිටින රටක මාධ්‍ය ප්‍රධානීන් හමු වෙද්දී ජනාධිපතිවරයෙකු මූලික අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ සාකච්ඡා මාතෘකාවක් නම් නෙවෙයි.