පොහොර මිටියක් දහදාහයි!

මේ වෙද්දී රසායනික පොහොර මිටියක් රුපියල් 10,000කට වැඩි මිලකට අලෙවි වෙන බව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කියනවාලු.

ඉස්සර ගොවීන්ට පොහොර සහනාධාරය ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට එද්දී පොහොර නොමිලයේ දෙන බව පොරොන්දු වුණා. මිලට ගත්තත් රුපියල් 1500, 2000 අතර මුදලක් තමයි කිලෝ 50ක් වන පොහොර මිටියකට වියදම් වුණේ.

ඒත්, පොහොර නොමිලේ දෙන්න පොරොන්දු වී බලයට ආපු ආණ්ඩුව රසායනික පොහොර තහනම් කරනවා කියලා මහා පරිමාණ අනාගැනීමක් කරලා අන්තිමේ නැවත තහනම ඉවත් කළා. ඒත්, ඒ වෙද්දී පොහොර ගෙන්වීම දැවැන්ත අර්බුදයක් බවට පත් වී තිබුණා.

ඇතැම් පෞද්ගලික සමාගම් පවා රසායනික පොහොර ගෙන්වීමට උනන්දු නොවන බවත්, ඩොලර් අර්බුදය නිසා ආනයනවලට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වූ බවත් වාර්තා වී තිබුණා.

කොහොමහරි දැන් ආණ්ඩුව කියන්නේ පොහොර ‘සහන මිලකට’ ලබා දීමට උත්සාහ කරන බව.