මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉන්දියාවේ තිරුපති වන්දනාවේ ගිය අධි-සුඛෝපභෝගී පෞද්ගලික ගුවන් යානය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මාධ්‍ය සාකච්ඡාවක කරපු ප්‍රකාශයක් අපි දැක්කා.
‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති ගියා වන්දනාවේ. යනකොට කීවේ ඒක ඔහුගේ පෞද්ගලික සංචාරයක් කියලා. ඒ තිරුපති යද්දී, සාමාන්‍යයෙන් පෞද්ගලික ගමනක් යනකොට සාමාන්‍ය ගුවන් සේවයක යානාවකින් ගියා නම් වෙන කතාවක්. අගමැතිතුමා ගියේ පෞද්ගලික ජෙට් යානයකින්. මේ පෞද්ගලික ජෙට් යානය රූපවාහිනී නාළිකාවල පෙන්වනවා. නිල් පාට ජෙට් එකක්.
මේක 23 වැනිදා මේ විදියට තිරුපති යද්දී මීට සමානම ජෙට් එකක් 16 වැනිදා කලම්බු ඉන්ටර්නැෂනල් එයාපෝට් රත්මලාන. නිල ෆේස්බුක් පිටුවේ ඊට සතියකට කලින් දාලා තියෙනවා. උගන්ඩාවල ඉඳලා ගෙනාපු බ්ලූබ්ර්ඩ් කියලා යානයක් ගැන. ඒ හා සමානම, වර්ණය සහිත ගුවන් යානය.’
මේ ප්‍රකාශය තමයි ඔය ගුවන් යානා කතාවට අපේ අවධානය යොමු වෙන්න හේතු වුණේ. ඔහු පෙන්වූ මාර්ගය දිගේ යද්දි ඔහු එතැන නොකී කරුණු ගණනාවක් අපට හොයාගන්න පුළුවන් වුණා.. මේ නිල් කුරුල්ලා කවුද? මේකේ ගුවන් ගමන් ඉතිහාසය මොකක්ද ආදී කාරණා අපි හෙව්වා.
දෙසැම්බර් 15 වැනිදා උගන්ඩාවේ කම්පාලා නුවර ඉඳලා මේ යානය රත්මලාන ගුවන් තොටුපොළට ආවා. දෙසැම්බර් 16 වැනිදා ඡායාරූප දාලා තිබුණේ ඒ අනුව. සාමාන්‍යයෙන් මේ වගේ යානාවල මොඩල් නම්බර් එක එන්ටර් කරලා ගුවන් ගමන් ඉතිහාසය හොයාගන්න පුළුවන් වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. හැබැයි ඒවායේ සාමාජිකත්වයට මුදලක් ගෙවන්න ඕනෑ. නොමිලයේ බලන්න පුළුවන් සීමිත ගමන්වාර කිහිපයක්. ඒත්, ඒ සීමිත දත්ත ඇති මහින්ද මේ යානයේ ගිය බව තහවුරු කරන්න. මේක දෙසැම්මබර් 15 කම්පාලාවල ඉඳන් ලංකාවට ආපු බව සටහන් වෙනවා.
ඊට පස්සේ මේක දෙතුන් වතාවක් කොචින්, චෙන්නායි වගේ ඉන්දියාවේ ගුවන් තොටුපොළවල්වලට ගිහින් තිබුණා.
මහින්දගේ ගමන ගැනත් දත්ත මේකේ සඳහන්.
දෙසැම්බර් 23 වැනිදා රත්මලානෙන් පිටත් වූ මේ යානය තිරුපතිවලලට ගොඩබැස්සා. තිරුපතිවල ඉඳන් දෙසැම්බර් 24 වැනිදා ආපහු ලංකාවට ආවා. ඒත් ඊට පස්සේ එදාම ඉන්දියාවේ දිල්ලිවල ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළට මේ ප්‍රයිවෙට් ජෙට් එක ගියා.
මේ යානයේ අයිතිකාරයා ජාත්‍යන්තර වෙබ් අඩවිවල සඳහන් වෙන විදියට කවුද කියා දන්නේ නෑ. ‘අන්(ක්)නෝ(ව්)න්’ හිමිකරුවෙක්. කෙසේ වෙතත් රත්මලාන ගුවන් තොටුපළේ ෆේස්බුක් පිටුවේ තොරතුරු අනුව මේක බුක් කරන්න පුළුවන් විදියේ අධි-සුඛෝපභෝගි ප්‍රයිවෙට් ජෙට් එකක්.
මේ යානය විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් ගුවන් යානා අඳුනගන්නේ ටේල් නම්බර්වලින්. මේකේ ටේල් නම්බර් එක ටි7-ජීඑස්ජී. අපට කලින් අබමල් රේණුවක දැනුමක් තිබුණේ නැතත් මේ වැඩේට අවශ්‍ය නිසා අපි ප්‍රයිවෙට් ජෙට් ටේල් නම්බර් ලියාපදිංචිය ගැනත් ඉගෙනගත්තා.
මේ ටි7 කියන ටේල් නම්බර් ලියාපදිංචියෙන් කොහේ ලියාපදිංචි කරපු එකක්ද කියා අඳුනගන්න පුළුවන්. ටී7 කියන්නේ රිපබ්ලික් ඔෆ් සැන් මැරිනෝ කියන ඉතාලිය ආසන්න රටේ ලියාපදිංචි වූ එකක්. මෑතකදී ඉතාලි ගිය මහින්ද මහත්තයා සැන් මැරීනෝ ගියාද දන්නේ නෑ.
සැන් මැරීනෝ ඉතාලියේ දැවැන්තම ධනවතුන් යන්න කැමති බදුවලින් බේරුණ ඕෆ්ෂෝ රජදහනක්.
මේක එම්බ්‍රයර් ලෙගසි 600 කියන මොඩල් එකට අයිති යානයක්. එම්බ්‍රයර් කම්පැණියෙන් හැදූවක්. සාමාන්‍යයෙන් මේ වගේ යානයක් ඩොලර් මිලියන 13ක් විතර වේවි. ඒ කියන්නේ රුපියල් මිලියන 2600කට වැඩි ගාණක්. කෝටි දෙසිය ගාණක්. අපි මේකත් එක්ක යානයේ ඡායාරූප ආදියත් පළ කරනවා.
අපි අනුමාන කරමු මේ ප්‍රයිවෙට් ජෙට් එක මහින්දට අයිති නෑ කියලා. ඒ්ක හයර් කළා කියලා.
මොකද 24 වැනිදා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට දාපු නිවේදනයක සඳහන් වුණා මේ සංචාරය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වියදමෙන් කරපු එකක් බව.
ඒ අනුව අපි ආයෙ ආයෙත් මහජන මුදල් නාස්ති කරපු කතා කියන්න ඕනෑ නැහැනේ. ඒක ක්ලියර්.
දැන් ප්‍රශ්නය එන්න ඕනෑ මේ යානය බුක් කරන්න සල්ලි කොහෙන්ද කියන එක.
සාමාන්‍යයෙන් මේ වගේ යානයක් හයර් කරනවා නම්, පැයට ඩොලර් 6,700ක් පමණ වන බව පැරමවුන්ට් බිස්නස් ජෙට්ස් වෙබ් අඩවියේ සඳහන් වෙනවා. පැයක් වෙනුවෙන් වැය වෙන මුදල අපේ මාසික පඩියට වැඩියි. ඒ කියන්නේ රුපියල් මිලියන 1.3ක් විතර. ඒ අනුව මහින්දට පැය 24ක් සඳහා මේක වෙන් කරගන්න පෞද්ගලිකව සල්ලි වියදම් කළා නම් ඩොලර් 160,800ක් කොහෙන්ද? ඒ කියන්නේ රුපියල් මිලියන 32.6ක් විතර කොයින්ද?
අනෙක් පැත්තෙන් ඉතා පැහැදිලි සිංහලෙන් ‘පෞද්ගලික සංචාරයක්’ කියා කියපු මේ ගමන යන්නට මහජන මුදල් නාස්ති කළාද? මහජන බදු මුදලින් ප්‍රයිවට් ආතල් එකක් ගත්තාද?




