හැතත්තෑ ගණන්වලින් පස්සේ ලංකාවේ මුදල් ඇමතිවරුන් විදියට ආර්ථිකය දන්න උදවිය පත් නොවූ බවත්, ඉදිරියේදී ආර්ථිකය ගොඩනැගිමට ආර්ථිකය දන්න පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්න ඕනෑ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර කියා තියෙනවා.
දෙසැම්බර්් 27 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ කියා තිබුණා. ඔහු වැඩිදුරටත් මෙහෙම කීවා.
‘මේ වෙලාවේ ආණ්ඩුවෙන් අයින් වුණා කියලා, විපක්ෂයේ ඉඳගත්තා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. අපට කරන්න තියෙන්නේ ඊට පස්සේ විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට තඩිබාන්න. ආණ්ඩුවේ අයත්, විපක්ෂයේ අයත් එකට එකතුවෙලා ස්ථාවර වැඩපිළිවෙලක් ගැන කතා කරන්න ඕනෑ.
කවුරු ආවත් මේ රට මුදවාගන්න අමාරුයි. මිනිස්සුන්ට සාධාරණත්වයක් කරන්න නම් පක්ෂ සියල්ල එක මතයකට ඇවිල්ලා අවුරුදු විස්සට වැඩපිළිවෙලක් හදන්න ඕනෑ.
මේ රටේ 1977ට පෙර තමයි අපට හිටියේ ආර්ථික විශේෂඥයන් මුදල් ඇමතිවරුන් හැටියට. එතැනින් පස්සේ හැත්තෑහතෙන් පස්සේ මුදල් ඇමති විදියට පත් වුණ රොනී ද මැල්ටත් තිබුණා ආර්ථිකය ගැන හොඳ දැනීමක්. එතැනින් පස්සේ පත් වුණ අය පළවැනි වැරැද්ද තමයි ජනාධිපතිවරුන්ට මුදල් ඇමතිකම දීම. මොකද ඔවුන්ට කිසිම වැඩපිළිවෙලකුත් නෑ. ඔවුන් ආර්ථිකය ගැන කිසිදෙයක් දන්න අය නෙවෙයි. ඊට පස්සේ පත් වුණ අයත් ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති අය.
ඒ වගේම ඒවාට පත් වුණ ලේකම්වරුත් අවුරුදු ගාණක් වගකියන්න ඕනෑ. ආචාර්ය පීබී ජයසුන්දර යටතේ දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ ආර්ථිකය පාලනය කරලා තිබෙනවා. ඉතින් එතුමාගේ ආර්ථික දර්ශනය තමයි මේ රටේ ආර්ථික දර්ශනය බවට පත් වුණේ. ඒක වැරදියි කියලා අප සියලුදෙනාට තේරෙනවානේ. මේ ආර්ථික දර්ශනයන් ගැන කතා කරන්න නම් ආර්ථිකය ගැන දන්න මුදල් ඇමතිවරුන්, ලේකම්වරුන් පත් විය යුතුයි.’