උපාලි අබේරත්න අධිකරණයට දුන් පොරොන්දු කඩමින් අධිකරණයට අපහාස කළා… ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන් අධිකරණය හමුවේ දුන් පොරොන්දු නොතකා කටයුතු කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කොට ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අභියාචනාධිකරණය හමුවේ දෙසැම්බර් 22 දින පෙත්සමක් ගොනු කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මගින් අදාල පෙත්සම ගොනු කර ඇති අතර පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස කොමිසමේ සාමාජිකයන් වූ දයා චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් නම් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් සිටියදී තමන් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කළ බව අබේසේකර මහතා තම පෙත්සමෙහි සඳහන් කර ඇත.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලක් සම්බන්ධව සාක්ෂි දීම සඳහා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමෙන් තමන්ට කැඳවීමක් ලැබුණු බවත් ඊට එරෙහිව තමන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු ගොනු කළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම කොමිසමේ කොමසාරිස්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දෙමින් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් නිශ්ශංක සේනාධිපතිගේ පැමිණිල්ල සම්බන්ධයෙන් තමාට එරෙහිව කටයුතු නොකරන බවට සහතික වූ බව අබේසේකර මහතා සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

එස් තිබියදී අදාළ කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් ඇතුළත් වාර්තාව එලි දැක්වූ අතර තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් එහි ඇති බව පෙත්සම්කරු පවසා ඇත. අධිකරණය හමුවේ සහතිකයක් ලබා දී තිබියදී අදාළ නිර්දේශයන් සිදුකිරීමෙන් වගඋත්තරකරුවන් අභියාචනාධිකරණ නියෝග පැහැර හැර තිබෙන බවත් අබේසේකර මහතා පෙත්සමේ සදහන් කර ඇත.

එමගින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ((3 )වගන්තිය ප්‍රකාරව ඔවුන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙසටත් එහිදී ඔවුන් වැරදිකරුවන් බවට තීරණය කර දඬුවම් ලබා දෙන ලෙසටත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.