පුංචි බොරුල්ල සංඝමිත්තේ පිරිතක් කියලා..මුදල් එකතු කරලා..

දෙසැම්බර් 24 වන දින රාත්‍රියේ පුංචි බොරැල්ල සංඝමිත්ත බාලිකා විද්‍යාලය භුමියේ පිරිතක් පවත්වා, පසුදින උදෑසන (දෙසැම්බර් 25) උදෑසන 6.30ට දානයක් පවත්වා ඇත.

අදාල පිරිතට සහ දානයට හිමිවරු 50 ක් සහභාගි වී ඇත.

දෙසැම්බර් 24 දින රාත්‍රි 10 දක්වා අදාල පිරිත් සජ්ජායනය සිදු කර ඇති අතර කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්. සිල්වා මහතා අදාල පිරිතට සහභාගී වී ඇත.

අදාල පිරිතට සහ දානයට පාසලේ එක් පංතියකින් රුපියල් 10,000 ක මුදලක් එකතු කර ඇති බව එම පාසලේ සිසුන්ගේ මාපියන් ‘සටහන්’ වෙත පැවසීය.

එම මුදලට අමතරව සුදු උරයක් සහිත ආර්ෆිකෝ කොට්ට 3ක්, ආර්ෆික් බෝතල් ( 700ml ) 8ක්, හෑන්ඩ් වොෂ් (200ml) බෝතල් 5ක්, ලයිෆ් බෝයි සබන් කැට 5ක්, රෙදි පාපිසි 1ක්, කොස්සක්, ඉදලක්, K95 මුඛ ආවරණ පෙට්ටි 4ක්, විෂබිජ නාශක දියර බෝතලයක්, ලොකු ඕඩිකොලොන් බෝතලයක්, ලොකු දන්තාලේප පැකට් 4ක්, ඩෙටෝල් බෝතල් 4ක්, සොළොස් පිරිකර 16ක්, බෙහෙත් වට්ටියක් සහ පළතුරු වට්ටියක් සෑම පංතියකින්ම එකතු කර ඇත.

‘සටහන්’ වෙත අදහස් දක්වමින් අදාල විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුගේ මාපියන් පැවසූවේ වසංගතක් හමුවේ, ආහාර සදහා පවා මුදල් නොමැති පසුබිමක සෑම පංතියකින්ම මුදල්ද එකතු කර පිරිකර ලෙස භාණ්ඩ ලබා දෙන ලෙස ඉල්ලීමෙන් තමන් අපහසුතාවට පත් වූ බවය.

අප මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්. සිල්වා මහතාට දූරකථනයෙන් ඇමතූ නමුත් ඒ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.