ශ්‍රී ලංකාවේ දැන් පවතින ඩොලර් අර්බුදය නිසා විදේශීය ගුවන් සමාගම් ලංකාවට ගමන් කිරීම අඩු කිරීමෙන් සංචාරක කර්මාන්තයත් දුර්වල වීමේ අවදානමක් තියෙනවා.
ඒ කියන්නේ ඩොලර් හිඟය අපේ රටට ඩොලර් ගෙනෙන මාර්ගයක් වන සංචාරක කර්මාන්තයටත් කෙළවෙන තැනට තල්ලු වෙලාලු. සංචාරක කර්මාන්තය නැවත නැගී සිටීමටත් ඩොලර් අර්බුදය බලපාන්න ඉඩ තියෙනවාලු.
මෙයට හේතුව වන්නේ විදේශීය ගුවන් සමාගම්වල ටිකට්පත් අලෙවි කරන මෙරට නියෝජිතයන් සහ දේශීය ගුවන් සමාගම් කාර්යාලවල අය, ඒ ඒ සමාගම්වලට ඩොලර්වලින් ගෙවන්න ඕනෑ මුදල් මාස ගණන් තිස්සේ කල් පහු කරලා තියෙන නිසා.
ඒ කියන්නේ විදේශීය සමාගම්වලට ලංකාවෙන් ලැබෙන්න ඕනෑ ඩොලර් හරිහැටි නොලැබෙන නිසා, ඒ ඒ සමාගම් ලංකාවට කරන ගුවන් ගමන් සීමා කරන්නට ඉඩ තියෙනවාලු.
ලංකාවට ගුවන් යානා එන එක සීමා වූ පසුබිමක සංචාරකයන් එන්නට තියෙන ඉඩකඩත් සීමා වෙනවා.
මේ ප්‍රශ්නය මාස හතරක් හෝ පහක් තිස්සේ ටිකෙන් ටික වර්ධනය වූ ප්‍රශ්නයක් බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා තියෙනවා. මේ විදියට ඩොලර්වලින් විදෙස් සමාගම්වලට තියෙන ගෙවීම් ටික කිරීම සඳහා බලධාරීන් එක්ක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවත්, විසඳුම් ලැබුණේ නැති බව ඔවුන් කියනවා.
මේ විදියට ගෙවන්න තියෙන මුදල් අතර ටිකට්පත් විකිණීමෙන් ලැබෙන මුදලින් ටිකට්පත් අලෙවි කරන කෙනාගේ කොමිෂන් එක හැර ඉතිරි කොටස, භාණ්ඩ ප්‍රවාහනය සඳහා අය කරන ගාස්තු ආදිය ඇතුළත් වෙනවාලු. ඒ හැරුණාම ජාත්‍යන්තර සමාගම්වල මෙරට නියෝජිත ආයතන තමන්ගේ ලාංකික කාර්යාලයේ බිල්පත්, සේවක පඩිනඩි ආදිය වියදම් කිරීමෙන් පස්සේ ඉතිරිවන ලාභය මව් සමාගම පිහිටි රට වෙත ජාත්‍යන්තර බැංකු හරහා යවන අවස්ථාවලදීත් ඩොලර් අර්බුදය බලපානවාලු. මාස කිහිපයක් තිස්සේ එවැනි සමාගම්වල ලාභය යවන්න බැරි තත්වයක් තියෙනවාලු. මෙවැනි මුදල් මීට පෙර ක්ෂණිකව අදාල සමාගම්වලට ඒ ඒ විදේශ මුදල් ඒකකවලින් යොමු කළාලු.
‘අපි ටිකට්පත් අලෙවි කරද්දී අපේ කොමිෂන් එක හැර ඉතිරි කොටස ඩොලර්වලින් යවන්න ඕනෑ. ඒත්, දැන් අපට එහෙම යවන්න ඩොලර් ගන්න නම් පෝළිමේ ඉන්න වෙනවා. මේ අවදානම නිසා ලංකාවට විදේශීය ප්‍රවාහන සමාගම් එන එක වැඩි වෙන්නේ නම් නැහැ.’
සරලව කීවොත් දැන් තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර වශයෙන් භාණ්ඩ සහ පුද්ගලයන් ප්‍රවාහනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සමාගම් ලංකාව ඇතුළේ වැඩ කරන්න පසුබට වීම. ඒ ලංකාව ඇතුළේ විදේශ සංචිත නැති වීම. සල්ලි නැත්නම් ගෙවන්නේ මොකෙන්ද?
මේ වෙද්දී මෙර්ස්ක් නම් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සපයන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා තියෙන්නේ දැන් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඒ සමාගමේ සේවා ලබා ගන්නා ලාංකිකයන් ඩොලර්වලින් ගෙවීම් කළ යුතු බව. දැන් වෙළඳපොළේ ඩොලර් නොමැති නිසා රුපියල්වලින් ඔවුන් අය කරන මුදල් ඩොලර්වලට පරිවර්තනය කරගැනීමට අසීරු වීම එලෙස නිවේදනය කිරීමට හේතුව වී තිබෙනවා. එම සමාගම භාණ්ඩ ප්‍රවාහනයට ඉඩකඩ පහසුකම් සපයා ඒ වෙනුවෙන් මුදල් අය කරන ආයතනයක්.
මේ වෙද්දී ආණ්ඩුව සංචාරක කර්මාන්තය සහ අපනයන ප්‍රමාණය වැඩි කරලා ඩොලර් හොයන එක ගැන සෑහෙන කතා කියනවා. ඒත්, ඒ කර්මාන්ත වර්ධනය කරන්න නම් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන සේවාවන්ගේ සහයෝගය ලැබෙන්න ඕනෑ.
ඒත් දැන් කියන විදියට ඇතැම් ගුවන් සමාගම් ඉස්සර සතියට ලංකාවට ගුවන් ගමන් 12ක් තිබූ ප්‍රමාණය 3ක් දක්වා අඩු කරලා. ඇතැම් සමාගම් ලංකාවට පැමිණීම නැවැත්වීමේ අවදානමකුත් තියෙනවාලු.
මේ ජාත්‍යන්තර ප්‍රවාහනය පැත්තේ අතරමැදියන් කියන්නේ ආණ්ඩුව තමන් වැනි අයගේ ඩොලර් අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ බව. ඒ මෙරටට ඩොලර් ගෙන එන්නේ ඔවුන් වන නිසා.