චීනය රාජපක්ෂලාගෙන් ඈත් වෙයි?

චීනය රාජපක්ෂවරුන් එක්ක දේශපාලන සම්බන්ධතාවෙන් ඈත් වීමට උත්සාහ කරන බවත්, ඒකට හේතුව ඔවුන් ශ්‍රී ලංකාවට යම් කණ්ඩායමක් එවා කරන ලද පර්යේෂණයක් බවත් ‘මව්රට’ පුවත්පත වාර්තා කරලා.

එම පුවත්පතේ මාධ්‍යවේදී කපිල පුංචිමාන්නගේ ලියූ වාර්තාවක මෙසේ සඳහන් වෙලා තිබුණා.

‘පසුගිය කාලසීමාවේදී මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය කුමක්ද, ඒ හරහා චීනයට ලැබී ඇති ප්‍රතිඵල මොනවාද යන්න සොයා බැලීම සඳහා චීනයේ බීජිං නුවරින් විශේෂ කණ්ඩායමක් ලංකාවට එවීමට පියවර ගෙන තිබුණි. ලංකාවට පැමිණි මෙම කණ්ඩායම ඉතා රහසිගතව මුළු ලංකාවට ආවරණය වන පරිදි රාජ්‍යතාන්ත්‍රික ආකාරයේ මත විමසුමක් සිදු කිරීමට පියවර ගත් අතර එය අදටත් කිසිවකුත් නොදත් රහසක් බවට පත්ව තිබීම විශේෂිතය. ඒ අනුව මෙම රහසිගත මත විමසුම පිළිබඳ පළමු වරට ලංකාවට අනාවරණ කරන්නේද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය.

එසේ ලංකාවට පැමිණි චීන කණ්ඩායම 2010 වසරේ සිට චීන රජය ලංකාව තුළ ගෙන ගිය ප්‍රතිපත්තිය කුමක්ද, එය නිවැරදිව ක්‍රියාත්මක වූවාද, එහි වැරදුණු තැන් මොනවාද, එම වැරදි නිවැරදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් ලංකාවම ආවරය වන පරිදි සිදු කිරීමට පියවර ගත්තේය. වැඩබලන තානාපතිවරයෙකු ලංකාවේ කටයුතු කළ සමයේ සිදුකරනු ලැබූ මෙම මත විමසුමේදී ලංකාවේ චීන සබඳතා බොහෝ දුරට බිඳ වැටී ඇති බවත්, එය ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බවත්, එයට හේතුව මෙරට තනතුරු දැරූ චීන තානාපතිවරුන්ගේ ක්‍රියාකලාපයට වඩා රාජපක්ෂ හිතවාදී ක්‍රියාකලාපයක් අනුගමනය කිරීම බවත්අනාවරණ කරගැනීමට ඔවුනට හැකියාව ලැබී තිබිණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව බීජිං වෙත යැවීමෙන් අනතුරුව සියුම්ව විමර්ශනය කිරීමටද චීනය පියවර ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් බරපතළ තීන්දු කිහිපයක්ම මේ වන විට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ.’