‘ශ්‍රීලනිපයට ඕනෑ නම් ජන බලවේගයට එන්න’ – ලාල් කාන්ත ‘එපා’ – ටිල්වින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම සන්ධානගත වෙන්නේ නැති නමුත්, ශ්‍රීලනිපයට ඕනෑ නම් ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ගත හැකි බව ජවිපෙ  දේශපාලන මණ්ඩල සභික අරුණ පත්තරය කරපු විමසීමකදී කියා තියෙනවා.

කෙසේ වෙතත් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා කියා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන පක්ෂ දෙකේ කිසිම කෙනෙක් එක්ක සන්ධානගත නොවෙන බව. ඒ පක්ෂවලට ගෑවුණු අයවත් සම්බන්ධ කර නොගන්නා බව ටිල්වින් කියා තිබුණා.

“ආණ්ඩුවේ ඉන්න සමහර අය ආණ්ඩුව අමාරුවේ වැටුණහම ගැලවෙන්න ක්‍රම හොයනවා. ගිලෙන නැව අතහරින අයට අපි ඉඩ දෙන්නේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ ඉඳලා රට විනාශ කරන්න දායක වුණ අය එක්ක ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැහැ.” ටිල්වින් කියා තිබුණේ එහෙම.

අපි කරපු විමසීමකදී මේ තත්වය පැහැදිලි කරමින් තවත් ජවිපෙ නායකයෙකු කීවේ වෙනත් පක්ෂවලින් එන පුද්ගලයන් ජාතික ජන බලවේගයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ විවිධාකාරයේ අදහස් තිබෙන බව. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය දැන් යන ගමන අත්හැර, වෙනත් සන්ධානයක කොටස්කාරයෙක් වීම නම් කිසිසේත් සිද්ධ වෙන්නේ නැති බව ඔහු කියා තිබුණා.

මේ සාකච්ඡාවට පසුබිම වී තිබුණේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ජවිපෙ වැනි පිරිසිදු පක්ෂයකට ශ්‍රීලනිපය වැනි ‘පිරිසිදු පක්ෂයක්’ එක්ක එකතු වෙන්න පුළුවන් කියා කරපු ප්‍රකාශයක්.

අපිත් එක්ක කතා කරපු ජවිපෙ නායකයා පැහැදිලි කළා, මේ වෙද්දී ජනතාව පෙළගැහී ඉන්නේ ප්‍රධාන පක්ෂ එක්ක සම්බන්ධතා ගොඩනගා, සන්ධාන තැනීමෙන් බලයක් ලැබෙන කාලයක නොවන විත්තිය. ජාතික ජන බලවේගයට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය වැනි විපක්ෂයේ දේශපාලන එක්කත්, ශ්‍රීලනිපය වැනි ආණ්ඩුවේ දේශපාලන බලවේග එක්කත් සන්ධානගතවීමේ අවශ්‍යතාවක් නොමැති බව ඒ නායකයා කියනවා.

මේ වෙද්දී ජනතාවගේ කළකිරීම එවැනි පක්ෂවලට එරෙහිව හැදුණු එකක් බවත්, ඒ පක්ෂ සියල්ල එක පැත්තක තිබියදී එයට ප්‍රතිවිරුද්ධ බලවේගයකට ජනතා සහයෝගය ලබාගැනීමේ අවකාශයක් තියෙන බවත් ඒ ජවිපෙ නායකයා අපි එක්ක කීවා.