ගිලෙන නැවෙන් ලොකුම මීයා පනී! පීබී ඉල්ලා අස් වේ

ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ජනවාරි 31 වැනිදා ඉඳන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සඳහන් කරමින් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාර දීලාලු.

මේ බව හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබෙනවා.

ගිලෙන නැවෙන් මීයො පැනලා යන කතාවේ හොඳම එක!

හිරු අඩවියේ සඳහන් පුවතේ තියෙන්නේ ජනවාරි 31 වැනිදා ඉඳන් තමන්ව ජනාධිපති ලේකම් ධුරයෙන් ‘නිදහස් කරන’ ලෙස පීබී ජයසුන්දර මහතා ඉල්ලා සිටි බව.

ඇත්තටම ‘නිදහස් වෙන්න’ ඕනෑ ලංකාවේ විනාශ වෙන ආර්ථික අර්බුදයෙන් විය හැකියි.

මේ ලිපිය දීර්ඝ එකක් බවත්, ඔහු ජනාධිපති ලේකම්වරයා ලෙස විඳපු දුෂ්කරතා ඒකේ සඳහන් වෙන බවත් හිරු ප්‍රවෘත්ති වාර්තා කරලා.

පීබී ජයසුන්දර මහතා කටයුතු කළ ආකාරය, ගත් තීන්දු තීරණ කැබිනට් ඇමතිවරුන් මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ පවා විවේචනයට පාත්‍ර වුණා. ප්‍රසිද්ධියේ මෙන්ම තිරය පසුපස ඒ විවේචන එල්ල වුණා.

මීට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස කටයුතු කරද්දී මුදල් අමාත්‍යාංශ ලේකම් වුණේ පීබී ජයසුන්දර මහතා. ඇමෙරිකාවේදී ආචාර්ය උපාධිය ලැබූ ඔහු ශ්‍රී ලංකා මහබැංකුවේ සේවය කරමින් සිට මුදල් අමාත්‍යාංශයේ සේවයට යොමු වූවෙක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයක පාස්කරලිංගම් මහතා මුදල් අමාත්‍යාංශය භාරව සිටියදී එතැනට ගිය ඔහු ඒ එජාප ආණ්ඩුව, ඉන්පසු චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ එජාප ආණ්ඩුව සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යන සියලු ආණ්ඩුවල දේශපාලන නායකන්ගේ විශ්වාසය දිනූවෙක් වුණා. යම් කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද ඔහු සේවය කළා.

මීට අමතරව ඔහු සම්බන්ධ වූ සැකසහිත රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවකට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව නැවත කිසිදා රාජ්‍ය සේවයට එකතු නොවෙන ලෙස අගවිනිසුරුවරයාගේ නියෝගයකටත් ලක් වුණා. ඒත් පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් එම තීන්දුව වෙනස් කරවාගෙන නැවත රාජ්‍ය සේවයට එකතු වුණා.

ඒත් මීට කලිනුත් විවේචන ආපු අවස්ථාවල ඔහු ඉල්ලා අස් වී නැහැ. මෙවර ඉල්ලා අස් වීමට ප්‍රධාන හේතුව රටේ දැන් පවතින ආර්ථික අර්බුදය විය හැකියි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරවමින් රාජපක්ෂවරුන්ගේ ඇතැම් සැකසහිත තීන්දු තීරණවලට පවා අදාලව ලිපිලේඛන සැකසීම් කළේ ඔහු. ඉතිහාසය පුරා රාජ්‍ය ගිණුම්වල අංක එහේ මෙහේ කරමින් ඔහු කටයුතු කළ ආකාරය ගැන සාධක ඕනෑ තරම්. වරක් විගණකාධිපතිවරයාම වාර්තාවල මේ බව පෙන්වා දී තිබුණා.

කෙසේ වෙතත් රටක ආර්ථිකයත් ගොඩදාමින් පාලක පවුල්වල ආර්ථිකයත් ‘ගොඩදාන’ විජ්ජාව කෙතරම් දැනුමක් තියෙන විශේෂඥයෙක්ට වුණත් හරිහැටි සැලසුම් කරන්න බැරි බව පැහැදිලියි.