ආහාර හිඟයක් කියන්නේ කෘෂි-රසායන සමාගම් නියෝජිතයන්! – ඇමති මහින්දානන්ද

ආහාර හිඟයක් ගැන කියන්නේ රසායනික පොහොර සමාගම්වල නියෝජිතයන් කියා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා තියෙනවා.

‘රසායනික පොහොර සමාගම්වල නියෝජිතයන් පවසනවා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. අද දිනයේ මම ලංකාවේ දිස්ත්‍රික්ක 25ම කෘෂි ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග සමාලෝචනයක් කළා. ලක්ෂ 8ක් වගා කරලා තියෙනවා.

නිෂ්පාදනයේ පොඩි අඩුවීමක් වෙයි. නමුත් කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව ඔවුන් ශපථ කළා. එළවළු සඳහා පොහොර අපි ආනයනය කරලා තියෙනවා. ජනවාරි පොහොර ටික එනවා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට වගකීමකින් කියනවා. ලබන වසරේ කිසිදු ආහාර හිඟයක්  ඇති වෙන්නේ නැති බවට.

මීට  කලින් මේ ඇමතිවරුන් ශපථ කර කියූ බොහෝ දේ පසුව වැරදි කියමන් බවට පත් වුණා. සහල් ගේන්නේ නැති බවත්, හාල්වලින් ස්වයංපෝෂිත බවත් කියා මේ පැත්ත හැරෙද්දි හාල් ආනයනය කළා. කාබනික පොහොර ගැන ශපථ කරද්දී, ඒක ආපහු හරවා ගත්තා.

ඉතින්, ආහාර හිඟය ගැන ආණ්ඩුවේ නායකයන්ගේ කටවචනය තවදුරටත් විශ්වාස කිරීම අසීරුයි.