මහින්ද තිරුපති ගියේ අගමැතිකමෙන් අයින් වෙන්නද?

මහින්දගේ තිරුපති ගමන ගැන ඉතාම ලස්සන කතාවක් අපට කියන්න තියෙනවා. ඒ වගේම දේශපාලන ගොසිප් එකකුත් කැරකෙනවා මහින්ද රාජපක්ෂ තිරුපති ගිහින් ලංකාවට ඇවිත් අගමැතිකමෙන් අයින්වෙලා බැසිල්ට ඒක බාර දෙයිද කියන එකත්. මේ වෙද්දී මහින්ද දේශපාලනිකව යම්කිසි පසුබෑමකින් ඉන්න බවත් ආරංචියි. ඒකටත් වෙනම හේතු තියෙනවා.

ලස්සන කතාවක්

තිරුපති කීවාට සමහරුන් ‍මේ කෝවිලගැන හරිහැටි තොරතුරු දන්නේත් නෑ. ඒ නිසා අපි මේකේ අතීත කතාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් කියන්නම්. මහින්දගේ ගමනට අදාල කෑලි ටිකක්. මේවා ලස්සනට ලංකාවේ අද ඉරණමටත් සම්බන්ධ වෙනවා.

තිරුපති ශ්‍රී වෙන්කටේෂ්වර කෝවිල ප්‍රධාන වශයෙන් විෂ්ණු දෙවියන්ගේ ආත්මයක් විදියට සලකන ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි වෙනුවෙන් හැදූ කෝවිලක්. ඒත්, දිග අතීත කතාවක් එක්ක මේ කෝවිලේ විෂ්ණු, ශිව, බ්‍රහ්ම, ලක්ෂ්මි ඇතුළු ප්‍රධාන හින්දු දෙවිදේවතාවියන් ගණනාවකගේ ශක්තිය තියෙන බව විශ්වාස කරනවා.

කොහොම වෙතත් මේ වෙන්කටේෂ්වර කෝවිලට අදාල එක ප්‍රධාන දෙයක් තමයි ‘පව් සමා කරගැනීම’ කියන එක. කරපු පව් හෝදලා අරින එක. වඩා නිවැරදිව කීවොත් පව් නැසීම.

වෙන්කටේෂ්වර කියන නම හැදෙන්නේ වෙම්+කට+ඊෂ්වර එකතුවෙලා. ඊෂ්වර කියන්නේ දෙවියන් කියන එකනේ.

පරණ සංස්කෘත ලේඛනවලට අනුව වෙම් කියන්නේ පව්. කට කියන්නේ නැසීම. ‘බාලාජි වෙන්කටේෂ්වර- ලෝඩ් ඔෆ් තිරුමල, තිරුපති’ කියන පොතේ මේ ගැන විස්තර කරලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, වෙන්කටේෂ්වර කෝවිලට අදාල දේව කතා අනුව යම්කිසි හුටපට ටිකකින් පස්සේ ලක්ෂ්මි දේවතාවිය මේ ලෝකෙට ආවාලු. මේ ලෝකෙට කියන්නෙ ඉතිම්, ඒ කතාවලට අනුව මේ ලෝකෙට ඇමෙරිකාව, යුරෝපය වගේ කොහෙවත් අයිති නෑ. කෙළින්ම ඉන්දියා තමයි.

විෂ්ණු දෙවියන් ලක්ෂ්මි දේවියව හොයාගෙන මේ ලෝකයට ඇවිල්ලා ඔය තිරුමල කෝවිල තියෙන කන්දට ගිහින්, හුඹසක යට ඉඳන් ලක්ෂ්මි දෙවියන් හොයමින් ධ්‍යානයකට සමවැදිලාලු හිටියේ. ඔය කියන තැන. මේ ධ්‍යාන සීන් එක නිසා මුළු ලෝකෙම අඳුරු වෙලාලු තිබුණේ.

ලෝකෙ කිව්වේ! ඉන්දියාව වෙන්න ඕනෑ ඈ.

එතකොට ශිව සහ බ්‍රහ්ම දෙවිවරුන් එළදෙනක් සහ වහු පැටියෙකුගේ වේශයෙන් හරක් පට්ටියකට බැඳිලා ඒ කන්දේ හිටියාලු. විෂ්ණුගේ පිපාසය නිවන්න ඒ හුඹසට කිරි වත් කළාලු. හුඹසකට කිරි දාන සීන් එක දැකලා මේ එළදෙන අයිති පට්ටිය පාලනය කරපු ගොපල්ලා කේන්තියෙන් එළදෙනව මරන්න හැදුවාලු.

ඇයි තමන්ට කිරි නොදී, හුඹසකට වත්කරන නිසා. ඒක දැකපු විෂ්ණු දෙවියන් කේන්තියෙන් ඒ ගොපල්ලාට ශාප කරලා ගොපල්ලාගේ ජීවිතේ අහවර කළාලු.

කතාවේ ලංකාවට සම්බන්ධ ලස්සන කෑල්ල එන්නේ ඊට පස්සේ. මේක ආරංචි වෙච්ච චෝල රජතුමා ආවලු සිද්ධිය බලන්න. චෝල රජා ගෝඨාභය වගේ පොරක් වෙන්න ඕනෑ. මුළු රටක ප්‍රශ්න තියෙද්දී චුට්ටි චුට්ටි සිද්ධි නිරීක්ෂණය කරන්න ගිහින් පොර ටෝක් දෙන චරිතයක්!

ඒ වෙද්දී විෂ්ණු දෙවියන් හිටියේ තරුණයෙකුගේ වේෂයෙන්ලු. ඉතින්, රටේ පොදු ජනතාවට කිරි නොදී එළදෙන තරුණ කොල්ලෙක්ට කිරි දෙනවා කියලා එළදෙනව විදලා මරන්න හැදුවාලු. ඒ වෙලාවේ විෂ්ණු දෙවියන් ප්‍රාතිහාර්ය පෙන්නලා, චෝල රජුට ශාපයක් කළාලු. ඊළඟ ආත්මයේ දරුණු යක්ෂයෙක් වගේ වෙලා ඉපදෙනවා කියලා.

කෝ බං ලංකාවට සම්බන්ධ ලස්සන කෑල්ල. කොහෙවත් යන හින්දු කතන්දර කියන්න ගත්තේ. ඔබ අහයි දැන්.

අර විෂ්ණු දෙවියන් චෝල රජුට ශාප කළේ රටේ මිනිස්සුන්ට හරියට සලකන්නේ නැහැ, සංවේදී නැහැ, නරක පාලකයෙක් කියන දේවල් එක්ක. ඒ කිව්වේ අපේ රාජපක්ෂ පවුලේ සීවී එක වගේ දේවල් ටිකක් හේතු කරගෙන තමයි චෝල රජාට සාපෙ කළේ.

කොහොමහරි රජතුමා විෂ්ණු දෙවියන්ව අඳුනගෙන තමන්ගේ වැරදි පිළිඅරන් දෙවියන් පාමුල වැඳවැටිලා. ඊට පස්සේ විෂ්ණු දෙවියන් සමාව දීලා. පව් නෂ්ඨ කරලා.

ඕකෙන් පස්සේ දුවෙක් කසාද බඳින සිද්ධියක් ඇතුළු තව බ්ලා බ්ලා ටිකක් සිද්ධවෙලා. ඒවා අපේ මේ වීඩියෝවට වැඩක් නෑ.

හැබැයි ඔය බ්ලා බ්ලා අනුව මේ කෝවිලේ අතීත කතාව කලියුගයටත් යම් දුරකට සම්බන්ධයි. පරණ හින්දු සංකල්ප අනුව යුග හතරක් එනවා. දරුණුම, මිනිස්සුන්ට පීඩාකාරීම යුගය තමයි කලියුගය. ඒ විතරක් නෙවෙයි, විෂ්ණු දෙවියන් කසාදයක් බැඳලා ඒ විවාහය කරන්නට ගත්ත දැවැන්ත ණයක් කලියුග කාලෙ ඉවරවෙනකල් වාරික වශයෙන් පොළී එක්ක ගෙවපු සිද්ධියකුත් මේ කෝවිලේ අතීත කතාවේ තියෙනවා. ලංකාව අද ණය අරන් කලියුගය ඉවරවෙනකල් පොලී එක්ක ගෙවනව වගේ.

ඉතින් හරිම ඩ්‍රැමටික් විදියට ලංකාවේ අද කතාවට සංකේතාත්මකව රාජපක්ෂලාගේ කෝවිල් ගමන සංසන්දනය කරන්න පුළුවන්.

කොහොම නමුත් ඒ චෝල රජතුමා වගේ වෙන්කටේෂ්වර දෙවියන් මුණගැහිලා, එදා චෝල රජා කළා වගේ වැඳවැටිලා තමන්ගේ රටේ මිනිස්සුන්ට කරලා තියෙන පව් නසන්න රාජපක්ෂලා හිතනවා ඇති.

මිනිසුන්ගේ දුක

මේ වෙද්දී බඩගින්නේ ටීවී කැමරා ඉස්සරහා අම්මලා අඬාවැටෙන හැටි අපි දකිනවා. මාස කිහිපයකට කලින් තාත්තා කෙනෙක්ට පහරදීලා, නිරුවත් කරලා, තමන්ගේ දියණියන් ඉස්සරහා ලැජ්ජාවට පත් වෙන තැනට ඇදලා දාලා තිබුණා. ඒ පොල් ගෙඩියක් ඇහින්දා කියලා. පොල් ගෙඩියක් හොරකම් කරපු චෝදනාවට. කුරුසියක වගේ අත් දෙක දෙපැත්තට දාලා ගැටගහලා, නිරුවතින් පාරේ ඇවිද්දවපු මේ මනුස්සයා පහුගිය සතියේ මාධ්‍යවලට කතා කරලා තමන්ට වෙච්ච වේදනාව ගැන දුකෙන් කතා කරලා තිබුණා. ජනාධිපතිතුමාටත් ලීවාලු මේ ගැන.

ඒත්, ඒ ඔක්කොම මැද මේ රටේ මිනිසුන්ගේ සල්ලි මහා පරිමාණයෙන් හොරකම් කළා කියලා චෝදනා කරපු මිනිස්සු පව් නසන්න කියලා ඉන්දියාවේ කෝවිල්වල ගිහින් පූජා පවත්වනවා. පවුල් පිටින්. දෙවිවරුත් ඉතින් අනේ අම්මපා ලොකු මිනිස්සු කියන ඒවටනෙ ඇහුම්කන් දෙන්නේ. ගොපල්ලව ක්ෂණයෙන් මැරුවා. රජාට සමාව දුන්නා.

කෝවිලේදී මොකද වුණේ?

කොහොම නමුත් පව් නසන්න බලාගෙන ඉන්දියාවේ ගියපු මහින්ද රාජපක්ෂව පිළිඅරන් තිබුණේ තිරුමල තිරුපති දේවස්තානම්හි සම- ප්‍රධාන විධායක නිලධාරී සහ ගෝපිනාත් ජට්ටි කියන ආරක්ෂක නිලධාරියා ඇතුණු පිරිසක්.

මුලින්ම දේවදර්ශනයට ගියාලු. ඊට පස්සේ සාමිලා ශිව දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලන පූජාවක් කළාලු. රන්ගනායකුල මණ්ඩපම් කියන තැන.

ඊට අමතරව කෝවිලට මුදල් ප්‍රධානය කිරීමත් කරලා තියෙනවා. ලොකු ධනවතුන් ඇවිත් මේ කෝවිලට මහා පරිමාණයෙන් මුදල් පරිත්‍යාග කිරීම සාමාන්‍ය තත්වයක්. සරලව කීවොත් දෙවියන්ව සල්ලිවලට ගන්න උත්සාහ කිරීමක්.

අපි හින්දු ආගමට අපහාසයක් වෙන විදියට කතා කළා කියලා හිතන්න එපා. මේ වෙද්දී ඉන්දියාවේ පවා හින්දු ආගමේ සමහර වතාවත් ගැන විචාරශීලී සංවාද ඇතිවෙලා තියෙනවා. ඒ තේමා මත ෆිල්ම් පවා හැදිලා තියෙනවානේ.

කොහොමහරි මෙදා පාර මහින්දව මුණගැහෙන්න නාරායන ස්වාමි කියන ආන්ද්‍රා ප්‍රදේශ්වල නියෝජ්‍ය මහඇමතිත් ඇවිල්ලා හිටියාලු.

මහින්දගේ කළකිරීම

මේ කතාවේ අනෙක් කොටස තමයි දේශපාලන කතාව. ලබන අවුරුද්ද මුලදී ආණ්ඩුවේ ප්‍රධාන පුටු කිහිපයක ප්‍රබල වෙනස්කම් කිහිපයක් කරන්න බලධාරීන්ගේඅවධානය යොමු වෙලාලු. ඒ අනුව අගමැති දුරයත් ඇතුළුව ප්‍රබල ඇමතිකම් කිහිපයක  වෙනස්කම් කරනවාලු. ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙක් ඇමති මණ්ඩලයෙන් ඉවත් කරන්නටත් ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවාලු.

ඇත්තටම මහින්ද තිරුපති යන්න කලින් නුවරඑළියේ නිවාඩු ගත කරමින්ලු හිටියේ. දැන් කියන විදියට මහින්ද රාජපක්ෂ ඉන්නේ ලොකු කළකිරීමකින්. ආණ්ඩුව ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ. ආණ්ඩුව ඇතුළේ කාටවත් ඉවසීමක් නෑ ඒ අර්බුදයට එකට මුහුණදෙන්න. මහින්දට තවදුරටත් ඒක මැනේජ් කරන්න හයියකුත් නෑ. කිසි වැඩක් සිද්ධ වෙන්නේත් නෑ. කවුරුත් කියන දෙයක් අහන්නේත් නෑ.

පොහොර ආනයනය සීමා කරපු වෙලාවේ ඉඳන් මහින්ද විරුද්ධ වුණාලු. ඇහුවේ නැහැලු. පීබී අයින් කරන්න කියලා මහින්ද මෑතක ඉල්ලුවාම ඇහුවේ නැහැලු. තව ගොඩක් දේශපාලන කාරණා ගැන මහින්දගේ කතාව ගෝඨා-බැසිල් ඇතුළු ආණ්ඩුවේ අනෙක් පාර්ශ්ව හරියට ඇහුවේ නැහැලු.

සාපේක්ෂව මහින්ද කියන්නේ පොලිටිකල් නායකයෙක්. රටක් ගෙනියන්න යම් දුරකට දැනගෙන හිටපු කෙනෙක්. මතක තියාගන්න. අපි මේ කතා කරන්නේ සාපේක්ෂව ඈ. නිරපේක්ෂව ගත්තොත් මහින්ද රටක් ගෙනියන්න තියා කිසි මගුලක් දන්න කෙනෙක් නෙවෙයි. එහෙනං ලංකාව අද මෙතැන නෑනෙ. ඒත් අයවැයක් කියවගන්න බැරි අය, හොඳට හිටපු ගොවීන් තරහ කරගත්ත අය එක්ක බැලුවාම මහින්ද චුට්ටක් ඉදිරියෙන්.

ඩිංගිත්තයි හොඳේ!

කොහොමහරි මහින්ද නුවරඑළි ගියේ රට ලොකු ආර්ථික අර්බුදයක තියෙද්දී. එහෙම නුවරඑළියේ හිටපු මහින්ද තමන්ට ආපු ෆෝන් කෝල් ආන්සර්  කළේවත් නැහැලු. ඊට පස්සේ කොළඹ ඇවිත්, කැබිනට් රැස්වීමට ඉඳලා, ඊට පස්සේ බදාදා ඉන්දියාවේ ගියාලු.

ප්‍රශ්නය අතෑරලා

ඇත්තටම අපේ මිනිස්සු ඉස්සර හිතුවා රට අර්බුදයකට එද්දී ඒක දැකලා, තේරුම් අරන්, මොකක්හරි විසඳුමක් යෝජනා කරන්න පාලකයන් කටයුතු කරනවා ඇති කියලා. ඒත් පුතේ! ඇත්ත ඊට වෙනස්. මේ යක්කුන්ට කිසි ලබ්බක අවබෝධයක් නැහැ අර්බුදයේ තරම ගැන. ඒ වගේම මෙලෝ සංසාරයක් දන්නේ නෑ ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන.

ඔබ දන්නවා මේ වෙද්දී ලංකාව ඩොලර් බිලියන එකහමාරක විතර සංචිතයක් තියාගෙන, ඒ අඩුව පුරවගන්න නිසි ක්‍රමයක් ගැන හරිහැටි නොදැන මාර අමාරුවක ඉන්නේ. අපි නොදන්න රහසිගත මැජික් ක්‍රමයකින් ඩොලර් ගේනවා කියලා අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා කීවා තමයි. ඒත්, මහබැංකු අධිපතිවරයෙක් කියන්නේ නිශ්චිතව අහවල් ක්‍රමවේදයෙන් අහවල් විදියට සල්ලි එනවා කියලා පෙන්වාදෙන ගෞරවණීය සහ වගකීම් සහගත තනතුරක්. මෙලෝ අවබෝධයක් නැතිව කටට එන ඕනෑ මගුලක් කියලා, කෙළවෙච්ච මිනිස්සුන්ට තාවකාලික සැනසීමක් දීලා ආතල් සපයන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හෝ බංදු සමරසිංහ වගේ කෙනෙකුට ඒ තනතුර ගැලපෙන්නේ නැහැ.

කොහොම නමුත් බැසිල් වගේම මහින්ද රාජපක්ෂ පවා ඩොලර් අර්බුදය විසඳන විදිය ගැන මහබැංකු අධිපති එක්කවත් හරිහැටි සාකච්ඡා කරලා තිබුණේ නෑ. ඔවුන් ඉන්නේ මේ ප්‍රශ්නය අත්හැරලා දාලා වගේ.

කැබිනට් සංශෝධනයක්

බැසිල් රාජපක්ෂ ලංකාවෙන් යද්දී කැබිනට් සංශෝධනයක් කරන්න ඕනෑ බව දැඩිව කියලා ගිය බව අපිට ආරංචි වුණ කාරණය. ඒ වගේම විමල්, වාසු, ගම්මන්පිළ වගේ අය එක්කෝ කැබිනට් එකෙන් අයින් කරන්න, නැත්නම් ඔවුන්ගේ ඇමතිකම් අයින් කරලා නොවැදගත් විෂයන් ටිකක් දෙන්න ඕනෑ බව තමයි බැසිල්ගේ පැත්තෙන් කියා තිබුණේ.

මොකද මින් ඉදිරියට පවා ලංකාවේ ඩොලර් අර්බුදය විසඳන්න නම් නිව් ෆෝට්‍රස් වැනි ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා කියලා තමයි බැසිල් රාජපක්ෂලා විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ලංකාවට ගෑස්, විදුලිය ආදී නොයෙකුත් සේවා සැපයීම්, ඊට අමතරව හෝටල්, නිවාස සංකීර්ණ ආදී ඉදිකිරීම්, ලංකාවේ වරායවල්, ගුවන්තොටුපොළවල් ආදී ආයතන පවත්වාගෙන යෑම් සහ ලංකාවේ තියෙන ඉඩකඩම්වල ඉඳන් ස්වාභාවික සම්පත් දක්වා නොයෙකුත් දේ විකිණීමෙන් සල්ලි ඉපයීම තමයි ඔවුන් මේ වෙලාවේ දන්න ප්‍රධානම දේ.

අපි පෞද්ගලික අංශය විවිධ ක්ෂේත්‍රවලට ඇවිත් ආයෝජනය කරනවාට විරුද්ධ නෑ. ඒත්, මේ පාලකයන් ඒවා කරන්නේ විනිවිදභාවයක් නැති තිරෙන් පිටිපස්සේ කෙළිවලින්. හැංගි හැංගී. ඒ හැම ගනුදෙනුවක්ම ආණ්ඩුව ඇතුළේ ඉඳන් බලාගෙන ඉඳලා දේශපාලන වාසියට පාවිච්චි කරන්න විමල් පිළ කටයුතු කරයි කියන හැඟීම බැසිල්ලාට තියෙනවා. ඉතින්, මින් ඉදිරියට වුණත් ඔවුන්ව තියාගැනීම වැරදි බව තමයි බැසිල් මැතිතුමා වගේ අය කියන්නේ.

කොහොම වුණත් පොයින්ට් එක මේකයි. බැසිල් ආපු ගමන් කැබිනට් වෙනසක් කරන්න වගේම, සමහරවිට මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වෙලා බැසිල්ව අගමැති කරන්න පවා දේශපාලන සංවාදයක්, කසුකුසුවක් මේ වෙලාවේ ආණ්ඩුව ඇතුළේ තියෙනවාලු.

ඒ කියන හැටියට මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නවලට බැණුම් නොඅසා මහින්ද නිකම් මන්ත්‍රීධුරයක් තියාගෙන ඉන්නවලු. නාමල්ට පවා මේ කාලයේ තිරය පිටිපස්සේ ඉන්න කියලා මහින්දගෙන් උපදෙස් ලැබුණාලු.

බලාගෙන හිටියා වගේ කීවාට මේවා ගොසිප් හොඳේ! අපි කලිනුත් කියා තියෙනවා වගේ දේශපාලන ගොසිප් කියන ඒවා සමහර සීරියස් විග්‍රහවලට වඩා දේශපාලනය තේරුම් ගන්නට වැදගත් නිසයි මේවා ගෙනාවේ.

ඉතින්……..! මහින්ද තිරුපති ගියේ අගමැතිකම අත්හරින්න බලාගෙන වෙන්නත් පුළුවන්.

තිරුපති වැඳලා ලංකාවට එන මහින්ද රාජපක්ෂ ආයෙමත් ඊළඟ සතියේ ඩුබායි සංචාරයකට යන බවත් වාර්තා තියෙනවා. ජනවාරි 03 වැනිදා ‘පෞද්ගලික සංචාරයක්’ විදියට ඩුබායි යන බවත් තවත් ප්‍රවෘත්තිමය ආරංචියක් විදියට කියලා තියන්න ඕනෑ.