විදේශ ආයෝජන කෙසේ වෙතත්, ලංකාවේ සමාගම් පවා රට හැරලා යන අවදානමක් – ආයෝජන මණ්ඩලය

ලංකාවේ ඩොලර් අර්බුදය හේතුවෙන් බොහෝ දේශීය සමාගම් ලංකාව අත්හැරලා වෙනත් රටවලට යෑමට තීරණය කරන්න ඉඩ තියෙන බව ලංකා වාණිජ මණ්ඩලය අනතුරු හැඟවීමක් කරලා.

මේක ලංකාව වැඩි වශයෙන් විදේශ සමාගම් ලංකාවට ගෙන්වාගෙන ආයෝජනය කරවාගන්න දඟලන කාලයක්. එහෙම කාලෙක ලංකාවේ සමාගම් පවා රට අත්හරින අවදානමකට පත් වීම අමුතුම ජාතියේ සෞභාග්‍යයක්.

‘ව්‍යාපාර කිරීමේ පහසුවව සඳහා තීරණාත්මක වන මෙම තත්වයන් වැඩිදියුණු නොවන්නේ නම්, බොහෝ දේශීය සමාගම් තම ව්‍යාපාරික කටයුතු විදේශයන්හි ස්ථානගත කිරීමට කටයුතු කරනු ඇතැයි අපි කණස්සල්ලට පත්ව සිටිමු.

එය ඍජු විදේශ ආයෝජන රට තුළට ආකර්ෂණය කර ගැනීමේ අපගේ හැකියාවද බරපතළ ලෙස සීමා කරනු ඇත. එබැවින් ඍණාත්මක ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගගන්නා ලෙසත්, අපේක්ෂා කළ පරිදි සෞභාග්‍යය වෙත ලඟා වීම වෙනුවෙන් ශක්තිමත් පශ්චාත් වසංගත ප්‍රකෘතියක් සඳහා වන මාර්ගයකට ශ්‍රී ලංකාව නැවත ගෙන යන ලෙසත් අපි රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.’ යනුවෙන් වාණිජ මණ්ඩලය සහ ඒකට අනුද්ධ මණ්ඩල 10ක් 23 වැනිදා නිකුත් කරපු නිවේදනයක සඳහන් කරලා.

2021 නොවැම්බර් ඉවර වෙනකොට ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා අඩු වීමෙන් පස්සේ ව්‍යාපාරිකකයන් දැවැන්ත විදේශ විනිමය හිඟයකට මුහුණ දීලා ඉන්නවාලු. අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් පවා විදේශ මුදල් ලබා ගනිද්දී ආයෝජන මණ්ඩලය එක්ක ඉන්න සමාගම් සහ පෞද්ගලික අංශය විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් ඒ නිවේදනයේ වැඩිදුරටත් තියෙනවා.