බඩුමිල ඉහළ යාම ගැන අපි කණගාටු වෙනවා! ඒත් අපිට කරන්න දෙයක් නෑ – කෘෂිකර්ම ලේකම් කියයි

බඩුමිල සහ එළවලු මිල ජනතාවට දරාගත නොහැකි අන්දමින් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස තමන් දැඩි කණගාටුවට පත්වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මාධ්‍ය වෙත පවසා ඇත.

මිල මෙසේ ඉහළ යෑම පාලනය කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බව ඒ මහතා පවසා ඇත.

එළවලු මිල ඉහළ යනවිට මැද්දට පැන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත්, වෙළඳපොල හැසිරෙන තත්වය අනුව බඩුමිල ඉහළ යාම සාමාන්‍ය තත්වයක් බවත් ඒ මහතා පවසා ඇත.

එළවලු මිල මේ ආකාරයෙන් ඉහළ යාම සඳහා පසුගිය කාලයේදී බලපැවැත්වූ කාලගුණ තත්වයද හේතු වූ බවත් එවැනි සාධක පාලනය කිරීමට නොහැකි බවත් ඔහු පවසා ඇත.

එළවලු මිල ඉහළ යන්නේ යම් මාෆියාවක මැදිහත්වීම මත නම්, මිල ඉහළ යද්දි එළවලු ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් එවැනි අවස්ථාවලදී අනිවාර්යෙන්ම අමාත්‍යංශය මැදිහත් වන බවද ඔහු පවසා ඇත.

පවතින පොහොර ගැටලුව කඩිනමින් විසඳා ගොවීන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේදී එළවලු මිල යම් ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බවත් ජයසිංහ මහතා පවසා ඇත.