ගම්මන්පිළ CPSTL සභාපතිට යන්න බලපෑම් කළේ චීන සමාගමක ගනුදෙනුවක් නිසාද? ‘පට්ටපල් බොරු’- ගම්මන්පිළ

ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයාව සිටි මොහොමඩ් උවයිස් ඉවත් වීමට හේතුව වුණේ කොළඹ වරායේ සිට කෙළොන්නාව දක්වා දිවෙන තෙල් ගෙනයන නළ පද්ධතිය එළීමට අදාළ කොන්ත‍්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමේ සිද්ධියකට අදාළව අනුමැතිය ලබාදීමට විරෝධය පළ කිරීමේ සිද්ධියක් මත බව දිවයින වාර්තා කරලා. ‍

කෙසේ වෙතත් අමාත්‍ය උදය ගම්මන්පිළ එම චෝදනාව ‘පට්ටපල් බොරුවක්’ බවත් කියා තියෙනවා. ඔහු ඉතා පැහැදිලිව කියන්නේ උවයිස් මහතා තමන්ගේ රාජකාරිය කිරීමට අසමත් නිසා ඉල්ලා අස් වෙන ලෙස දැනුම් දුන් බව.

මේ වෙද්දී ශ්‍රී ලංකාවේ කටයුතු කරන චයිනා ඉංජිනියරින් කෝපරේෂන් කියන සමාගමට නළ පද්ධතිය එළීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමට ගිවිසුමක් අත්සන් කරන්න නියමිතව තිබුණු නමුත්, සභාපතිවරයා ඒකට අත්සන් නොකිරීම නිසා ප්‍රශ්නය දික්ගැස්සුණු බව තමයි ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ.

ඒ නළ එළීම අපේ තෙල් සංස්ථාවේ සේවකයන් සාර්ථකව කරමින් සිටියදී වෙනත් රටකට ඒ වැඩේ බාර දෙන්න උත්සාහ කළා කියා තමයි චෝදනාව එල්ල කරන්නේ.

එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් දිවයින පුවත්පත ඒ බව වාර්තා කරලා තියෙනවා.

දෙසැම්බර් 22 වැනිදා උවයිස් මහතා ඉල්ලා අස් වුණා. ඊට කලින් අමාත්‍ය උදය ගම්මන්පිළ කියා තිබුණේ මොහොමඩ් උවයිස් මහතාට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දුන් බව. කැබිනට් මණ්ඩලයේදීත් මේ ගැන කතා කරපු බව ආරංචිමාර්ග පවසනවා.