මෙරට තේ ඉරානයට වැඩි වශයෙන් අපනයනය කිරිමේ සහ එයින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට දිගුකාලිනව ගෙවීමට ඇති ණය පියවිමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සහිත අවබෝධතා ගිවිසුමක් ඉරානය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා අස්සන් කළා.
මේ වෙද්දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 250ක් ඉරාන තෙල් සමාගමට ගෙවන්න ඕනෑ. ඒ සල්ලි රුපියල්වලින් ගෙවන්නට ඉඩක් මේ ගිවිසුමෙන් නිර්මාණය වෙන බවත්, ඒ මුදල්වලින් ශ්‍රී ලංකාවේ තේ අපනයන සඳහා ගෙවීම් කටයුතු කිරීමට පහසුකම් සැලසීමත් ගිවිසුමේ අරමුණ. ඒ අනුව ආණ්ඩුව මෑත කාලයේ ‘රුපියල්වලින් ගෙවීම් බාර ගන්නා’ තෙල් අපනයනකරුවන් සෙවීමේ අරමුණ යම් ආකාරයකට සාර්ථක වීමක් මේ ගිවිසුමෙන් හඳුනාගත හැකියි.
අපේ වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණත්, ඉරානයේ කර්මාන්ත නියෝජ්‍ය ඇමති ඇලිරිසා පැමන්පැක් මහතාත් මේ ගිවිසුමට අත්සන් කරලා තියෙනවා.
ඒත්, ලොකුම ප්‍රශ්නයක් වන්නේ ඉරානය ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරීම අඩු වී තිබීම. 2013 දී ඉරානයට යැවූ තේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 38.42ක්. 2020 දී ඒක මිලියන 14.73 දක්වා අඩු වෙලා. 2016 දී ලංකාවේ තේ ඉරාන වෙළඳපොළේ සීයට 47ක් අල්ලාගෙ හිටියාලු. දැන් ඒක සීයට 25 දක්වා වැටිලාලු. මේකට ප්‍රධාන හේතුවක් වී තිබුණේ ඇමරිකාව ඉරානයට සම්බාධක පැනවීම නිසා ඉරානයට ජාත්‍යන්තර බැංකු පද්ධති හරහා මුදල් ගෙවීමට තිබුණු අසීරුව. ඒ වගේම ඉරානයේ රියාල් නම් වූ ප්‍රධාන මුදල් ඒකකය කඩා වැටීම.
ශ්‍රී ලංකාවෙන් කාලාන්තරයක් තිස්සේ තේ ගෙන්වාගත්ත ලෝකයේ රටවල් අතරින් මුල් 10 අතර ඉරානය ඉන්නවා.
මේ ගිවිසුමෙන් උත්සාහ කරන්නේ අපේ ඉන්ධන අර්බුදය සහ ඉරානයේ අර්බුදය අතර කළමණාකරණයක් කරමින්, දෙරට අතර භාණ්ඩ හුවමාරුව සඳහා විකල්ප ක්‍රමයක් හොයාගන්න.
මේ විදියට මාසෙකට ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුත් රුපියල් ප්‍රමාණයක් බැගින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය මාසිකව ලංකා තේ මණ්ඩලයට දෙනවාලු. ඒ කලින් කී ඩොලර් මිලියන 250ක් වටිනා ණය ප්‍රමාණයට හිලව් වෙමින්. ඒ මුදල්වලින් ඉරානයට තේ අපනයනය කරන්නන්ගේ මුදල් පියවනවාලු.
ඒ කියන්නේ අපි ඩොලර් මිලියන 5ක් වටිනා තේ ප්‍රමාණයක් මාසෙන් මාසෙට ඉරානෙට යවන්න ඕනෑ. ඒත්, කිසිම ජාත්‍යන්තර මූල්‍ය හුවමාරුවක් සිදු නොවී.
මේ වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පනවා තිබුණත්, ඒ සම්බාධක කඩකිරීමක් විදියට මේ ගනුදෙනුව සැලකිය නොහැකියි. ඒකට හේතුව තේ ඇතුළත් වන්නේ ආහාර ගණයට වීමත්, ජාත්‍යන්තර මානුෂීය නීති අනුව සම්බාධක පැනවූ රටකට වුණත් ආහාර අපනයනය කිරීම වරදක් නොවීමත්.
හැබැයි මේකෙන් සිද්ධවෙන අනෙක් බලපෑම තමයි ශ්‍රී ලාංකික තේ අපනයනකරුවන්ට මාසෙන් මාසෙට අපේ රටට ගේන ඩොලර් ප්‍රමාණය මේ ගනුදෙනුව නිසා අහිමි වීම. අවුරුද්දක් ගත්තොත් ඩොලර් මිලියන 60ක් අපට උපයන්න බැරි වේවි. ඒ වෙනුවට රුපියල්වලින් ඒ සල්ලි උපයන්න වේවි.
කෙසේ වෙතත් දැඩි මුස්ලිම් විරෝධයක් පදනම් කරගෙන බලයට ආපු රටක් වන ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු මොහොතක දැවැන්ත ණය ප්‍රමාණයක් ගෙවනවා වෙනුවට මේ වගේ එකඟතාවකට එන්න මුස්ලිම් රටක් එකඟ වීම ගැන හැමෝම සිහිතබාගත යුතුයි.