කබ්රාල්ගේ ඇම්ඩන් ජාතියේ දේශපාලු උත්තර! තවත් කලබල වෙනවා

දෙසැම්බර් 21 වැනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් මාධ්‍යවේදීන් විදේශ සංචිත අර්බුදය සහ ණය වාරික ගෙවීම ගැන ඇහුවා. අහද්දී, ඔහු දීලා දුන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු පන්නයේ උත්තරයක්. දේශපාලන ඇම්ඩන්ලා දෙන ජාතියේ කිසි පැහැදිලි කිරීමක් නැති, කරුණු තොරතුරු නැති දේශපාලු උත්තරයක්.

ලංකාවේ සුපුරුදු දේශපාලු ස්ටයිල් එකෙන්ම උත්සවයක් ඉවරවෙලා මයික් දික් කරන මාධ්‍යවේදීන්ට යන එන ගමන් දුන්න උත්තරයක් ඒ.

‘අජිත් නිවාඩ් කබ්රාල් මහතා – දෙසැම්බර් අවසානයේ අනිවාර්යෙන්ම බිලියන තුනක් තියෙයි.

මාධ්‍යවේදියා – කොහොමද ගේන්නේ ඒක, ප්‍රදානයක්ද ?

අජිත් නිවාඩ් කබ්රාල් මහතා – අපේ සංචිතයන්ට ඒක ඇඩ් වෙනවා. බය වෙන්නේ නැතුව ඉන්න.

මාධ්‍යවේදියා –  ඉදිරි වසරේ ගෙවීම් කොහොමද ? 

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා –  ඔක්කෝම ණය ගෙවනවා කියලා මම කිහිප සැරයක්ම කියලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම කෙරෙනවා.  බිලියන තුනක් අනිවාර්යයෙන්ම තියෙනවා.’

රටක මහ බැංකු අධිපතිවරයෙක් උත්සවයක් ඉවරවෙලා වොයිස්කට් දෙන ගමන් මෙහෙම කතා කිරීමම අපි මේ ඉන්න අර්බුදයේ තරම පෙන්වනවා.

මේ ඇවිල්ලා මහ බැංකුවකට උචිත අන්දමේ කෙනෙක් නෙවෙයි. වෘත්තිය ගරුත්වය තියෙන, විශේෂඥ මූල්‍ය දැනුමක් මත වෘත්තියභාවයෙන් කටයුතු කරන ස්වාධීනත්වයකුත් තියෙන විශේෂඥයෙක් නෙවෙයි. ඒ වෙනුවට ආණ්ඩුව බේරන්න දඟලන තවත් දේශපාලුවෙක්. හිටපු මන්ත්‍රී කෙනෙක්.

ඒ ඇත්ත කණ හරහා පාරක් වගේ වදිනවා මේ සිදුවීම් එක්ක.

අපට තේරෙන විදියට පුටු බදාගෙන හිටියාට ඒ අයවත් මොනවද කරන්නේ, කොහොමද කරන්නේ කියලා දන්නේ නෑ. වැලේ වැල් නෑ. තිරය පිටිපස්සේ ඔළු ගිනිඅරං ඉන්න අතරේ මිනිස්සුන්ව අන්දන්න නොයෙකුත් කතා කියනවා.

අනේ අම්මපා මේවා මහ බැංකු අධිපතිලා කියන කතාද? එක්තරා ඉංග්‍රීසි පුවත්පතක කතෘ තනතුරක් දරන කෙනෙක් කබ්රාල් මහත්තයාගෙන් ඇහුවාලු ඇත්තටම අර ඩොලර් බිලියන 3 එන්නේ කොහෙන්ද? කොහොමද? කියලා. පාරේ කැමරා ගත්ත උංට නොකීවාට ඔය වගේ කෝල් එකකදී රහසින්වත් කියාපන්කො. ඇත්තටම සල්ලි එනවනං.

ඒත්, ඒකට උත්තර විදියට කීවේ ‘ඒක රහසක්’ කියලාලු. ඉතින් කොහෙන්ද අප්පා මේ අපි නොදන්න සල්ලි පාත් වෙන්නේ? ඒවා මැජික්.

මේවා මහ බැංකු අධිපතිලා කියන කතාද? ජොන්ස්ටන් ප්‍රනාන්දු හෝ මහින්දානන්ද අලුත්ගමගේ වගේ අය නම් කට තියෙන පළියට වගකීම් විරහිත ප්‍රකාශ කරනවා.  ඒවාත් අවුල්. ඒත්, ඒවට අපි හුරු වෙලා වගේ. ජොන්ස්ටන් අවුලක් නෑ ඕනෑ තරම් සල්ලි තියෙනවා වගේ කතා කියලා මාසයක් යද්දී සල්ලි නෑ කියලා හෙළිවෙනවා. කෘෂි ඇමති රසායනික පොහොර ගැන එකක් කියනවා, සතියක් යද්දී තව එකක් වෙනවා. විදුලිබල ඇමති ලයිට් කපන්නෑ කියලා පැයක් යද්දී ලයිට් කැපෙනවා.

ඒවට අපි පුරුදු වෙලා වගේ. ඒත්, මහ බැංකු අධිපතිගේ වචනයත් විශ්වාස කරන්න බැරි වුණාම, එයාලාත් කිසි පැහැදිලි කිරීම් නැතිව මේ වගේ කතා කළාම අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.

ඒ මදිවට කලබල වෙන්න එපාලු. කලබල වෙන අය කරන්නේ රටට හානියක්ලු.

යකෝ! සල්ලි එනවා ඒක රහසක් කියලා කීවාම අපි තවත් කලබල වෙනවානේ.

ඒ විතරක් නෙවෙයි, අනේ මහත්තයෝ! ගරුසරු ඇතිව අහන්නේ! අපි කලබල වෙන්නැතිව බලුකිස්ථානෙ උංට කලබල වෙන්න කියලද කියන්නේ. මේක අපේ රටේ අර්බුදයක් මිසක් ටර්ක්මෙකිස්ථානෙ අර්බුදයක් නෙවෙයිනෙ. අනෙක මේක අන්තිමේ බලපාන්නෙ මිනිස්සුන්ටනෙ. එයාලනං රට බංකොළොත් කියලා ප්‍රකාශ කරලා ඔය රට රටවල්වලට යයි. කබ්රාල් මහත්තයාට කොහොමත් පඩි දෙකකුත් තියෙනවානෙ.

මේ ආණ්ඩුව මුල ඉඳලා හැම අර්බුදයකදීම කළේ මහජනතාව විශ්වාස නොකරන එක. මහජනතාව අඳුරේ තියන එක. යම් තීරණාත්මක මොහොතක හැමෝම එක්ක විවෘතව කතා කරලා, හැමෝම ළිං කටෙන් ගොඩ එන්න උත්සාහ කළේ නෑ. ඒ වෙනුවට මිනිස්සුන්ට එකක් කිය කියා එයාලා තව එකක් කළා.

බඩු මිල ආදිය වැඩි වෙද්දී, ඒ වැඩි වීම ගැන කලින් මිනිසුන් දැනුවත් කරලා සූදානම් කරන්න ඔවුන්ට බෑ. විදේශ සංචිත ගැන සැබෑ තත්වය පිළිඅරන්, මිනිසුන් සූදානම් කරන්න ඔවුන් ලෑස්ති නෑ.

ඒ වෙනුවට ආදර බස්, සැර වදන් වගේම කෙවිට පාවිච්චි කරලා හරක් රැලක් වගේ ජනතාව දක්කන්න තමයි ඔවුන් ආස.

අනෙක් පැත්තෙන් මිනිස්සුත් මේ අයව විශ්වාස කරන්නේ නෑ. මේ අය වෙනුවෙන් දවසක් බඩගින්නේ ඉඳලා ආර්ථිකය වෙනුවෙන් කැප කිරීමකට යොමු වෙන්න මිනිස්සු ලෑස්තිත් නෑ. මොකද, එයාලා කවදාවත් කැපකිරීම් කරලාත් නෑ. එයාලාගේ හොරකම් ගැන මිනිසුන්ට වෛරයකුත් තියෙනවා.