ඩොලර් අර්බුදය කතා කරන්න කබ්රාල්ලා ඊළඟ කැබිනෙට්ටුවට එනවාලු! එදාට කවුරු නැතිවේවිද?

ලංකාවේ ඩොලර් අර්බුදය ගැන කතා කරන්න ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ පිරිස ගෙන්වන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියලා.

ඒත්, ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීම තියෙන්නේ තව සති දෙකකින්ලු. ජනවාරි පළවැනි සතියේ සඳුදාලු.

ඒකට හේතුව කැබිනට් මණ්ඩලය නත්තලට නිවාඩු ගැනීමලු.

මීට කලින් සතියේ දෙසැම්බර් 13 වැනිදා තිබුණ කැබිනට් රැස්වීමට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල එන්න නියමිතව හිටියා. ඒත්, ජනාධිපතිවරයා ‘පෞද්ගලික හේතුවක්’ නිසා විදේශගත වූ නිසා ඒක කල් ගියා. මේ සතියේ මුදල් ඇමතිවරයා ‘පෞද්ගලික සංචාරයක’ට විදේශගත වූ නිසා නැවතත් කල් ගියා.

ඒ හේතුවෙන් ඩොලර් අර්බුදය ජනවාරි 18 ණය වාරිකය ගෙවන අවස්ථාව වෙනතුරුම හරිහැටි කතා නොකර කල් ඇදීමට කටයුතු සැලසෙනු ඇති. රජයේ නිලධාරීන් වාගේ එයාලාගේ නිවාඩු අරගෙන, තමන්ගේ පාඩුවේ එයාලාගෙ කාලය අරන් විසඳනු ඇති. මොකෝ ඉතින්? එයාලාගේ ප්‍රශ්නයක්යෑ?

කොහොම නමුත් දෙසැම්බර් 20 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදීත් ඩොලර් අර්බුදය ගැන සාකච්ඡා කෙරුණු බවත්, අයිඑම්එෆ් යෑම නොයෑම ගැන කතා කරපු බවත් කියැවෙනවා. බැසිල් රාජපක්ෂට අමතරව අයිඑම්එෆ් ගැන දැඩි විරෝධයක් පළ කරමින් අයිඑම්එෆ් ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වෙන බව පවා කී අමාත්‍ය වාසුදේව නානායක්කාරත් මේ කියන දවසේ කැබිනට් රැස්වීමට ඇවිල්ලා නෑ. ඒ නිසා මේ කියන දවසේ අයිඑම්එෆ් යෑමට පක්ෂ අයගේ අදහස් ශක්තිමත්ලු.