අනුරලාගේ උත්සවෙන් හෙළි වූ කරුණු 10ක්

අනුර ජනාධිපතිවරණයෙන් දින්නත් ජනාධිපති වෙන්නේ නෑ! ඔවුන් අනුරට බලය ඉල්ලනවාත් නෙවෙයි.

අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ ඊළඟ අවුරුදු තුනක් වගේ කෙටි කාලයක් ඇතුළේ ලක්ෂ හතරක පහක සීමාවක හිටපු බලවේගයක් රටේ ලක්ෂ හැට හැත්තෑවක ඡන්ද අරගන්න තැනට ලොකු වෙනසක් කරන්න පදනම දාන, ආරම්භක අවස්ථාව ගැන.

සංකල්පීයව ගත්තොත් ඒකනේ වෙන්න ඕනෑ. සැලකිය යුතු පිරිසකට ඕනෑ දැන් ඉන්න ජාතික ජන බලවේගය දහගුණයකටත් වැඩි ගාණකින් පුළුල් කරන්න. ඒත් ඒකට අවශ්‍ය ඒ ආකර්ශණීය, දැවැන්ත වැඩේ මොනාක් හෝටලයේ තිබුණාද? නැත්නම් ඒක හුදෙක් මීට කලින් සුගතදාස ස්ටේඩියම් එකේ කරපු උත්සවයක් සුපිරි හෝටලයක කිරීමක් විතරද?

හෝටලයක් ඇතුළේ මේක කිරීමෙන් ජාතික ජන බලවේගයට තමන්ගේ බලය, ශක්තිය, ආණ්ඩුව ගන්න තරම් තමන් සූදානම් බව පෙන්වන්න පුළුවන් ඇති. ඒත්, එතැනින් එහාට උත්සවය ඇතුළේ තිබුණේ මොකක්ද?

අපිටත් ඔය උත්සවයට යන්න ආරාධනා තිබුණත්, අපි කලින්ම අනුමාන කළා ඔතැන ටී.එම්. ජයරත්න සහ නදීක ගුරුගේ ඇතුළු පිරිසක් සිංදු කියයි. අමරකීර්ති, හරිනි, ලාල් විජේනායක සහ අනුර දිසානායක ඇතුළු අය දේශන පවත්වයි. එතැනට ගිය නළු නිළියන් ඇතුළු සෙට් එකක් ජේවීපී නායකයන් එක්ක ෆොටෝ ගහලා ෆේස්බුක් දමයි වගේ දේවල් කිහිපයක්. ඒ අනුමාන කරපු විදියටම වැඩේ සිද්ධවෙලා තිබුණා.

ඔන්න ඉතින් පිරිසකට කේන්ති යයි මේ ඉන්ට්‍රඩක්ෂන් එකෙන්. ඇත්තටම ඉතින් මොකටද ජාතික ජන බලවේගයේ අඩුපාඩු පෙන්න පෙන්නා, ඒකට හිනාවෙමින් ලබන්න උත්සාහ කරන දේ? ආයෙත් සාම්ප්‍රදායික පක්ෂයක් බලයට ගේන්නද? මේ ආණ්ඩුව පැත්තට අදින්නද? මං අහන්නේ අඩුපාඩු තියෙනවා තමයි. ඒවා හදාගන්න එපැයි. අපි මේකට සපෝට් කරන්න එපැයි.

කෙනෙක් කියාවි.

හරියටම හරි. අපිත් ඒකට සීයට සීයක් එකඟයි. අපිත් කියන්නේ මේ වෙලාවේ අනුරලා දුෂ්ඨයි, වංචා සහගතයි, කපටියි, තේරුමක් නෑ, උං ආවොත් රට තව පහළට වැටෙනවා ආදී විවේචන බොරු. වංකයි. තරාදියකට දාලා හොඳ, නරක කිරලා බැලුවොත් දැන් ලංකාවේ ඉන්න ප්‍රගතිශීලීම බලවේගය ජාතික ජන බලවේගය.

ඒකේ වැඩීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ. අවශ්‍ය සපෝට් එක දෙන්න ඕනෑ. ඒත්, ඒ බලවේගයේ උන්නතිය වෙනුවෙන් ධනාත්මක අරමුණෙන් විවේචනය කරන පිරිසකුත් ඉන්න ඕනෑ.

ඉතින් අපි මේ වීඩියෝවේදී කරන්නේ ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව ගැන අපි දැකපු ධනාත්මක සහ ඍණාත්මක දේවල් ගැන කතා කරන්න. ටිකක් ඍණාත්මක කෑලි වැඩි වේවි. ඒත්, කිසිම තරහක් නිසා නෙවෙයි. මේ බලවේගය පුළුල් වෙනවා දකින්න ආස නිසා.

අපි මේ වීඩියෝවට ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේ සිදු වූ සිදුවීම්, එතැනදී අනුර කුමාර ප්‍රමුඛ නායකයන් පැවැත්වූ කතා වගේම ඔවුන් ඉදිරිපත් කරපු ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ කියන වැඩපිළිවෙල ඇතුළත් පිටු 26ක ලියැවිල්ල පාදක කරගන්නවා. ඒවා බලලා අපි හඳුනාගත් කරුණු මුල් කර ගන්නවා.

ඒ ලියැවිල්ල එන්පීපී ඩොට් එල්කේ වෙබ් අඩවියට ගිහින් හැමෝම කියවලා බලන්න කියන එකත් අපි ඉතාම වුවමනාවෙන් ඉල්ලනවා.

අංක එක- වැඩපිළිවෙල කෝ?

මේ උත්සවයට ආපු යම් පිරිසක් කියපු දෙයක් තියෙනවා. ‘අපි ආවේ වැඩපිළිවෙල බලාගන්න. ඒත්, එහෙම එකක් ලැබුණේ නැහැ. විශ්ව විද්‍යාලයේ වගේ දේශන ටිකක් ඇහුවා විතරයි.’ කියන එක. මේ අඩුව නිර්මාණශීලීව ජයගන්න එන්පීපී එක සමත් වෙන්න ඕනෑ. දැන් මෙතෙක් ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාර කළේ ඕක තමයි. එනවා, නායකයන් කතා පවත්වනවා.

යම් වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යැයි හැඳින්විය හැකි දෙයක් දැම්මා තමයි. එතැනදී කියැවුණා ජාතික ජන බලවේගය ජාතික විධායක සභාවේ ඉඳන් දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමට සංවිධාන යාන්ත්‍රණයක් හදන බව. ඒ හැරුණාම ජාතික ජන බලවේගයේ විධායක කමිටුවට හැත්තෑ ගාණක් පත් වුණා.

මේ ඔක්කොම යහපත් දේවල්. දියුණුවේ අවස්ථා. ඒත්, අඩුපාඩු සහිතයි. උදාහරණයක් විදියට විධායක කමිටුවට ඒ අය පත් කර ගත්තේ කොහොමද? කුමන ක්‍රමවේදයෙන්ද? සාමාන්‍ය පක්ෂවල වාගේම නායනයන් ටික තීන්දු කරපු නම් ලැයිස්තුවක්ද? අපි කතා කරලා විධායක කමිටුවේ ඉන්න අයගෙන් ඇහුවා ඔයාව පත් කරපු ක්‍රමවේදය මොකක්ද? පත් කළේ ඇයි කියලා. ඒත් එයාලාත් හේතුව දන්නේ නෑ.

හැත්තෑ ගණනක ලිස්ට් එකේ කාන්තාවන් හයක් විතර ඉන්නේ. දෙමළ ජාතිකයන් සහ මුස්ලිම් ජාතිකයනුත් ඉතා අඩුයි.

අර අය වැඩපිළිවෙලක් කියලා බලාපොරොත්තු වුණේ ඒ ඒ ප්‍රදේශවල කරන්න තියෙන නිශ්චිත වැඩ ටිකක්. ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉඳන් ආපු ඔබෙන්, මේ මේ ක්‍රියාකාරකම් ටික අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඒ ප්‍රදේශවල අපි මේ විදියේ වැඩසටහන් කරනවා ආදී වශයෙන්.

ඉතින්, මේ කියන උත්සවය සහ ඔය සුපුරුදු ටීඑම් ජයරත්න, සෙල්ෆි සහ දේශන කිහිපය කියන ආකෘතිය එක්ක තමයි ජාතික ජන බලවේගය මේ ලෙවල් එකේ ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත් වුණේ. අපි තේරුම් ගන්න ඕනෑ මෙතෙක් ආණ්ඩු කරපු හවුල් දෙක හැරුණාම බලවත්ම යාන්ත්‍රණය මේකනේ. මේ හරිම බල සම්පන්න යාන්ත්‍රණය හදාගත්තේ ඔය ටික කරලයි. ඒත්, දැන් ඕනෑ එතැනින් එහා ගිය ආණ්ඩු බලය ලබාගැනීමේ යාන්ත්‍රණයකට අවශය අලුත් දේවල් ටිකක්. ඒ වෙනස, මැජික් එක මේ උත්සවයේ පෙනුණේ නෑ.

අංක ලංකාවේ ප්‍රශ්නය කියවාගත් පූර්විකාවක්-

දැන් ආණ්ඩුවයි, ප්‍රධාන විපක්ෂයයි දෙකම පිළිගන්නවා මිනිස්සුන්ට දේශපාලනඥයා තිත්ත වෙලා තියෙන්නේ කියන එක. ඒ වගේම ලංකාව ආපු දේශපාලන ගමනත් වැරදි බව පිළිගන්නවා. ඒත්, කවුරුත් ඒකට හේතු හරියට සමුච්චනය කරලා නෑ. සාපේක්ෂව ජාතික ජන බලවේගයේ පූර්විකාවේ ලංකාවේ අර්බුදය ලංකාවේ අනෙක් හැම බලවේගයටම වඩා දියුණු තැනකින් කියවාගෙන තියෙනවා.

දූෂිත දේශපාලනය, අධ්‍යාපනයේ අවුල, ආහාර ඇතුළු කෑම්බීම් මිල ඉහළ යෑම, මුදල් ගෙවන්න සිද්ධවෙච්ච සෞඛ්‍යය, පාරිසරික සංහාරය ඇතුළු දේවල් පූර්විකාවේ ටිකක් නිශ්චිතව සඳහන් වෙනවා. වෙන කිසිම දේශපාලන බලවේගයක් නොකියන තරම් තියුණු සහ විධිමත් විදියට.

අංක තුන- අනුරලා සැහෙන දියුණුයි, විවෘතයි

ඔබ දන්නවා පුද්ගලයන් වටේ කේන්ද්‍ර වෙච්ච, තනි පුද්ගලයන් වන්දනාමාන කරන එක නුසුදුසු වුණත්, යම් බලවේගයක නායකයා කවුද කියන එකටත් වැදගත්කමක් තියෙනවා. අනුර කුමාර දිසානායක ගැන සමහරුන් කියන්නේ ‘අපට එයාව පේන්න බෑ’, ‘එයා පණ්ඩිතයි’ වගේ කතා. අපටත් ඒ සමහර අදහස් කලින් තිබුණා. ඒත්, සෑහෙන දුරකට ගත්තොත් අනුර සෑහෙන ස්මාර්ට් කෙනෙක්. තමන්ගේ මොළය ඇතුළේ මේ රටේ හැම ක්ෂේත්‍රයක්ම ගැන ඉතා පැහැදිලි චිත්‍රයක් ඇඳගෙන ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, අලුත් යුගයට ගැලපෙන විදියට වෙනස් වෙමින්, තමන්ගේම පක්ෂයේ සමහර පරණ දේවල් හැඩගස්වාගන්න තරම් ස්මාර්ට් කෙනෙක්. අපේ පෞද්ගලික මතය අනුව ඊළඟ ජනාධිපති විදියට විවිධ අය කියන නම් අතරේ ඒකට සුදුසුම කෙනා සාපේක්ෂව අනුර තමයි.

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය අවුරුදු විස්සක් තිස්සේ දරපු මතවාද, කරපු කතා, කරපු මැදිහත්වීම් බැලුවාම ඔවුන් සෑහෙන දුරට පරිවර්තනයකට ලක් වෙලා තියෙන බවත් පේනවා. ජාතික ජන බලවේගයේ අලුත්ම ප්‍රතිපත්ති සලකද්දී, එයාලා තවදුරටත් එදා හිටපු ජේවීපීය නොවන බවත් ඊට එහා ගිය එක්ක බවත් පැහැදිලියි. විශේෂයෙන් බලය ලබාගන්න අවශ්‍ය වෙනස්කම් ගණනාවක් ඔවුන් ප්‍රතිපත්තිවල කරගෙන තියෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් මට්ටමට ප්‍රතිපත්ති වෙනස් කරගෙන තියෙනවා.

ඒ කියන්නේ ආකස්මිකව ඇවිත්, උඩින් සමාජවාදය පාත් කරලා මිනිස්සු ජීවත්වෙච්ච විදිය, කාපු බීපු විදිය, සමාජය හැඩගැසුණ විදිය දවසින් වෙනස් කරලා, ආර්ථිකය උඩුයටිකුරු කරලා රටක් වෙනස් කරන්න බෑ. දැන් තියෙන ආර්ථිකය පිළිඅරන් ඒක ඇතුළෙන් හෙමීට තමයි වෙනස්කම් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ඒ බව තේරුම් අරන් තියෙන බව පේනවා.

අංක හතර – ඒත් එයාලාගේ විසඳුම් විස්තරාත්මක නෑ.

ඔවුන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල පොඩි ලස්සන, වෛවර්ණ තේමා කිහිපයක් යටතේ ගොනු කරලා තියෙනවා. ආර්ථිකය, ණය අර්බුදය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, සංස්කෘතිය ආදී තේමා ගණනාවක්.

ඒත්, ඒ කිසි එකක් විස්තර සහිත ඒවා නෙවෙයි. කියවලා බැලුවොත් ඔබට වැටහේවි. ප්‍රවාහනය වෙනස් කරනවා කියනවා.  ඒකට අදාල වාක්‍යයත් තියෙනවා. සාධාරණ, මානුෂීය ආදී වචන තියෙනවා.

ඒත්, සාධාරණ ක්‍රමයක් කියලා කීවාට ඒක සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ගැන විවිධ මිනිස්සු කල්පනා කරන්නේ විවිධ විදියට. ඒ නිසා ජාතික ජන බලවේගය හදන්න ඕනෑ නිශ්චිත, ඍජු වාක්‍ය සහිත ප්‍රතිපත්ති මාලාවක්. මේක එහෙම එකක් නෙවෙයි.

තව කෙටි එකක් කිවොත් ලංකාවේ නිෂ්පාදනය කරන දේවල් පිටරටින් ගෙන්වීම අධෛර්යමත් කරනවා කියන එක ගමු. ඒක සෑහෙන අපේ මිනිසුන්ට අල්ලලා යන යෝජනාවක්. ඒත්, දැන් ටයිල් ආනයනය නවත්තලා, කහ ආනයනය නවත්තලා ආණ්ඩුව කරන්නේ ඒක නෙවෙයිද? විශේෂයෙන් ටයිල් ආනයනය නැවැත්වීමෙන් වාසිය ලැබුණේ මේ ආණ්ඩුවට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන්ට. අනෙක් පැත්තෙන් පිටරටින් එන භාණ්ඩය එක්ක ප්‍රමිතිය අතිනුත්, අඩු මිල අතිනුත් තරග කරන්න බැරි නම් අපේ නිෂ්පාදකයාගෙන් වැඩක් තියෙනවාද? එතකොට පිටරටින් එන්නේ නැති වුණාම, ලංකාවේ නිෂ්පාදකයන්ට ලොකුම ලොකු ඒකාධිකරයක් එනවා. ලංකාවේ මිනිස්සුන්ට සිද්ධවෙනවා ලංකාවේ හදන උංගෙන් විතරක් ගන්න. ඒකේ කොලිටිය කොච්චර අඩු වුණත්. ගාණ කොච්චර වැඩි වුණත්. එතකොට පාරිභෝගිකයා කියන්නෙත් ලංකාවේ නෙවෙයිද? ලංකාවේ පාරිභෝගිකයා කියන්නෙත් පොඩි මිනිහා. එයා පීඩාවට පත් වෙන්නේ නැද්ද?

නිෂ්පාදනයේ ඵලය සාධාරණව බෙදනවා කියන්නේ මොකක්ද? එතකොට නිෂ්පාදකයා මහන්සි වෙලා නිෂ්පාදනය කරන දෙයකින්, ඔවුන් ලබන ලාභය සාධාරණත්වය වෙනුවෙන් කියා වැඩ නොකරන මිනිහාටත් දෙනවාද? නැත්නම් මේ කියන්නේ සාධාරණ කම්කරු නීති හදනවා කියලාද? ඒ වාක්‍යයේ තේරුම මොකක්ද?

ප්‍රවාහනය සීයට 80ක් පොදු ප්‍රවාහනයට යොමු කරන්නේ කොහොමද? ප්‍රයිවෙට් වාහන පාවිච්චි කරන්නට ඉඩ නොදීමෙන්ද? නැත්නම් ලොකු මුදලක් නාස්ති කරමින් පොදු ප්‍රවාහනයට වැඩි වැඩියෙන් මුදල් යට කිරීමෙන්ද? වාහනයක් තියෙන මනුස්සයා ඒක අතෑරලා පොදු ප්‍රවාහනයට යයිද?

එතැනින් එහාට ගිහින් විවිධ දේවල් ගැන ධනාත්මක දේවලුත් තියෙනවා ඉතින්. කෘෂිකර්මය නවීකරණයේ ඉඳන්, හරිත බැඳුම්කර නිකුත් කිරීමේ ඉඳන් විවිධාකාර අලුත් සහ පරණ දේවල් මේකේ සඳහන්. ලංකාව නාවික මධ්‍යස්ථානයක් කිරීම, තාක්ෂණ ක්ෂේත්‍රය ඉහළ නැංවී වගේ දේවල් මේකේ තියෙනවා.

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා අවුරුදු පහක් ඇතුළේ ගෙවන්න සැලසුම් හදන බව, විදේශගත ලාංකිකයන්ව ලංකාවේ ආයෝජනයට ගෙන්වාගන්න සැලසුම් කරන බවත් මේ සැලසුමේ සඳහන්. මේවා ඔවුන්ට ආවේණික ප්‍රතිපත්ති. ඒවා නම් හොඳයි.

එතැනින් එහාට ගිහින් දැඩි දූෂණ විරෝධී ක්‍රියාවලියක් ඔවුන් යෝජනා කරනවා. හැබැයි එතැනින් එහාට ගිහින් අනාගතයේ දූෂණය නැති මූල්‍ය විනය රකින්න තාක්ෂණය හඳුන්වාදෙනවා කියලාත් තියෙනවා.

අංක පහ – ජේවීපීය පෞද්ගලික අංශයට කෙළින්නේ නෑ

අපි කලින් කීවානේ, උඩින් ඇවිත් රටක සම්පූර්ණ ආර්ථික, සමාජ, සංස්කෘතික දේවල් සීරුවට නැතිව එකපාර කඩා බිඳලා අලුත් විදියට හදන්න උත්සාහ කළොත් ඒකෙන් වෙන්නේ විකෘතියක්. මිනිස්සු පීඩාවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන් ජේවීපීය ඇවිත් පෞද්ගලික අංශය වෙනස් කරන්න උත්සාහ කරලා වැඩේ අනයි කියලාත් සමහරුන් අනුමාන කළා.

කොහොම නමුත් දැන් හෙළි වෙනවා ඒක එහෙම නැති බව.

අධ්‍යාපනය පිළිබඳ එයාලාගේ ප්‍රතිපත්ති සැලකුවොත්, පෞද්ගලික විශ්වවිද්‍යාල වහනවා වගේ එකක් මේකේ නැහැ. ඒ වෙනුවට පෞද්ගලික අධ්‍යාපනය ගුණාත්මක වෙන විදියට නියාමනය කරන බවත්, ගාස්තු සාධාරණීකරනය කරන බවත් තමයි තියෙන්නේ.

සෞඛ්‍යයත් එහෙමයි. පෞද්ගලික සෞඛ්‍ය අහෝසි කරනවා වගේ එකක් නෑ. ඒ වෙනුවට හැම පවුලක්ම ප්‍රයිවෙට් තැන්වලින් බෙහෙත් ගන්නට කරන වියදම උපක්‍රමශීලීව අඩු කරනවා කියලයි කියන්නේ.

අධ්‍යාපනයට සීයට 6ක් සහ සෞඛ්‍යයට සීයට 5ක් ආදී වශයෙන් වෙන් කරන බව සඳහන් වුණත්, දැනට තියෙන ප්‍රයිවෙට් සෙක්ටර් එක කඩා දාලා උඩු යටිකුරු කරන්න උත්සාහ කරන බවක් නැහැ.

ව්‍යාපාර ගැන කතා කරද්දීත්, පෞද්ගලික ව්‍යවසායකයන්ට කෙළවන කතා වෙනුවට, එයාලා එක්ක ගනුදෙනු කරන විදිය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ප්‍රවාහනයත් එහෙමයි. පොදු ප්‍රවාහනය වැඩි කරනවාලු, සීයට 80ක් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන තැනට තල්ලු කරනවාලු. ඒත්, එතැනින් එහාට ප්‍රයිවෙට් ප්‍රවාහනයට කෙළින කතා නෑ.

අංක හය – ස්ත්‍රීන්, ලිංගික ප්‍රජාවන්, වැඩිහිටියන්, තරුණයන්, ළමයින්, වෙනස් වූ හැකියාවන් සහිත අය ගැන යෝජනා

මේ වැඩසටහනේ ඉතාම තීරණත්මක දෙයක් තමයි ස්ත්‍රීන් ගැන ඉදිරිපත් කරලා තියෙන යෝජනා. මහින්දලා කාන්තාව දකින්නේ කොච්චර පටු විදියටද කියන එක මීට කලින් වීඩියෝවක අපි විස්තර කළා. තිස්සකුට්ටි සිද්ධිය එක්ක මහින්ද රාජපක්ෂ ගෑණු ගැන කීව කැත කතා පෙන්වාදෙමින් අපි කතා කළා. එවැනි පසුබිමක ජාතික ජන බලවේගය ඉතාම ගරුසරු ඇතිව කාන්තාව ගැන කොටසක් එකතු කරනවා.

ස්ත්‍රීවාදය කියන වචනවලට මිනිස්සු බයයි. ඒත්, සෑහෙන ස්ත්‍රීවාදී ප්‍රතිපත්ති මාලාවක් මේක. කාන්තාවන්ට අඩු පඩි ලැබෙන තත්වයන්, වැඩ කරන තැන අසාධාරණ හිංසාවන්ට ලක් වෙන එකේ ඉඳන් ගෑණු අයට අඩු වැටුප් ලැබීම දක්වා සියලු තත්වයන් ප්‍රතික්ෂේප කරලා, ඒවාට විසඳුම් දෙන බව මේ යෝජනාවලියේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපනයෙන්, ආගමෙන්, මීඩියාවලින් ගැහැණු ගැන හදපු ඒකාකෘති හෙවත් ස්ටීරියෝටයිප්වලට විරුද්ධ මතවාද ගොඩනැගීම ගැන තියෙනවා. මේක ඉතාම දියුණු යෝජනාවක්. බිරිඳ සැමියා අතින් තේ බිව්වත් අපායේ යන්න වෙනවා වගේ බයිලා කතා හාමුදුරුවරුන් බණට කියන කාලෙක මේක සෑහෙන නිර්භීත යෝජනාවක්.

වැඩිහිටියන් වගේම ආබාධිත ප්‍රජාව ගැනත් කෙටියෙන් හෝ වෙනම සඳහන් කිරීමෙන් ඔවුන් ලාංකික සමාජයේ විවිධ ප්‍රජාවන් ගැන කියනවා. ඒ විතරක් නෙවෙයි එල්ජීබීටීකියු ප්‍රජාවට කරන හිංසාවන් ප්‍රතික්ෂේප කරන බවත් තියෙනවා. එයාලාට හිංසාවෙන් තොරව ජීවත් වෙන්න සමාජයක් හදන බව කියනවා. ඒකෙන් හැඟවෙන්නේ ඍජුව නොකීවාට ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ එල්ජීබීටීකියු අයට එරෙහිව තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ඉවත් කරන්න හැකි වේවි කියා.

අංක හත- ඒත් ජාතික ප්‍රශ්නය නෑ

ජනවාර්ගික ප්‍රශ්නය හෝ ජාතික ප්‍රශ්නය කියන්නේ මොකක්ද කියලා කෙනෙක් අහයි. ඒකට උත්තර දෙන්න මේ වීඩියෝවවත්, කමෙන්ට් එකක ඇහුවොත් වචන සීයක කමෙන්ට් එකක්වත් ප්‍රමාණවත් නෑ. එහෙම අහන කෙනෙක්ට නිර්මාල් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය වගේ පොතක් හෝ රාජන් හූල්, රාජනී තිරාණගම ඇතුළු අයගේ බිඳුණු තල් රුක වගේ පොතක් රෙකමන්ඩ් කරන්න පුළුවන්.

ඒවා නැතත් ලංකාවේ මෑතකාලීන හැම මැතිවරණයකදීම ජනවාර්ගිකත්වය ප්‍රධාන සාධකයක් වීමෙන්ම ජාතික ප්‍රශ්නය කියා එකක් තියෙන බව හිතා ගන්න පුළුවන්. තව පැත්තකින් ජාතික ප්‍රශ්නය කියන්නේ සිංහල අය විතරක් එහෙම ප්‍රශ්නයක් නැහැ කියන අතරේ දෙමළ සහ මුස්ලිම් බහුතරය එවැන්නක් තියෙන බව ප්‍රකාශ කිරීම වෙන්නත් පුළුවන්.

2006 දී කේන්ද්‍රීය සාකච්ඡාවක තිබුණේ යුද්ධය ගැන, ඒ වගේම කොටි සංවිධානය දෙමළ ජනතාවට ඡන්දය දෙන්නට ඉඩ නොදීම සඳහා පිටිපස්සේ ඩීල් එකක් තිබුණාද, මහින්ද දිනන්න ඒක හේතු වුණාද කියන ප්‍රශ්නය ඇති වුණා. 2010 දී ෆොන්සේකා-සම්බන්ධන් හොර ගිවිසුමක් ගැන කතාවකින් ලොකු බලපෑමක් ඇති වුණා. 2019 දී බෝම්බ ප්‍රහාරයක් තිබුණා.

කොහොම නමුත් ස්ත්‍රිය, වැඩිහිටියා මෙන්ම වෙනස් වූ හැකියාවන් සහිත අයගේ අයිතිවාසිකම් කතා කරපු මේ ප්‍රකාශනයේ නිශ්චිතව දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණදෙන කාරණා ගැන සඳහනක් නෑ. මේ රාජ්‍යය මුස්ලිම් මිනිහාගෙන් පළි ගන්න පොඩි ළමයාගේ සිරුර පවා පුච්චපු රාජ්‍යයක්. මුස්ලිම් වූ නිසාම ඩොක්ටර් කෙනෙක්ගේ පවුලකටම අවුරුදු දෙකක් වධ දුන් රාජ්‍යයක්. මුස්ලිම් මන්ත්‍රීවරුන් හිරේ දාලා දිග කාලයක් තියලා හරියට චෝදනාවක්වත් ගොනු නොකර එළියට දන්න පුළුවන් රාජ්‍යයක්. දෙමළ දේශපාලනඥයන් දෙමළ වූ නිසාම ‘ජාතිවාදීයි’ කියලා ලේබල් කරන, ඒත් සිංහල ජාතිවාදය අවුස්සන අයට ජනාධිපති කාර්යසාධක බලකායන්හි ඉඩ ලබාදෙන රාජ්‍යයක්.

අනුරගේ කතාවේදී වගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදීත් පැහැදිලිව පේන්න තියෙන විදියට නිදහසෙන් පස්සේ ලංකාවේ කඩාවැටීමට හේතු වෙච්ච ප්‍රධාන හේතු විදියට සඳහන් වෙන්නේ විවිධ ආණ්ඩු අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති, ඒකත් එක්ක ගැටගැහිච්ච සමාජ, දේශපාලන උපායමාර්ග සහ දූෂිත දේශපාලනය කියන ඒවා.

එතැනදී ලංකාවේ ජනවාර්ගික වශයෙන් හැදිච්ච ගැටුම් සහ ඒක නිසා ආපු මහා හිංසනයයි සිවිල් යුද්ධයයි පොඩ්ඩක් එහේ මෙහේ කරන්න ජාතික ජන බලවේගය කටයුතු කරනවා. හැබැයි කෙනෙක් ඇහුවොත් කියයි වැරදි ආර්ථික ප්‍රතිපත්ති එක්ක හැදුණ සමාජ, දේශපාලන උපායමාර්ගයි දූෂිත දේශපාලනයයි ඇතුළේ තමයි ජනවාර්ගික ප්‍රශ්නයත් ආවේ කියලා. ඒකේ සෑහෙන දුරට සාධාරණත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ යුද්ධයට එක ප්‍රධාන හේතුවක් වුණේ දූෂිත දේශපාලනය ජාතිවාදය අවුස්සපු විදිය. ඒ නිසා ෆෙයා ඉනෆ් කියා කියමු. ඒත්, ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය අදටත් රටට බලපාන එකක්.

ඒත් ඔවුන් බලය විමධ්‍යගත කරන බවක් කීවාට, අනෙකුත් ජාතීන් එක්ක ‘ශ්‍රී ලාංකික ජාතිය’ හදන බව කීවාට අපේ රටේ ජාතික ප්‍රශ්නයේ සංවේදී තැන් හරියට ටච් කරන්නේ නැතිව ලිස්සා යනවා.

අංක අට – විප්ලවකාරී දේවල් මදි

ලංකාවේ අවුල දූෂණය, දේශපාලනයේ අවුල, ලිබරල් ආර්ථිකය ඇතුළු තේමා කිහිපයකට පටු වෙන්න බෑ. එතැනින් එහාට නිශ්චිත, නිර්භය තැන්වලින් අර්බුදය ගැන කතා කරන්න ඕනෑ. ආගමයි, රාජ්‍යයි අතර සම්බන්ධය මිට වඩා නිශ්චයව කියන්න ඕනෑ වෙලාවක් මේ. සංස්කෘතිය වෙනස් වෙන විදිය ගැන නිශ්චිතව කියන්න ඕනෑ වෙලාවක් මේ. සංස්කෘතිය ගැන ඉතා කෙටි පරිච්ඡේදයක් තිබුණාට, විස්තරාත්මකව සංස්කෘතිය ගැන එතැන කතා කරලා නැති බව පේන්නේ. හැබැයි ලංකාවට කෙළවපු ප්‍රධාන තැනක් තමයි අපේ රටේ කල්චර් එක. අම්මෝ! ඒ ඇයිද කියලා පැහැදිලි කරන්න මෙතැන වෙලාව පවා මදි.

අපි අහන්නේ සංස්කෘතිය වෙන්න පුළුවන්, වෙනත් විෂයන් වෙන්න පුළුවන්, කෝ ඒවායේ විප්ලවකාරී බව? කෝ අරගලකාරී බව? කෝ නිශ්චිත වෙනස්කම්. කෝ කඩාගෙන ගිහින් මේ සමාජය වෙනසකට යොමු කරන ගති ලක්ෂණ.

ඇල්මැරුණු හැම පැත්තම බැලන්ස් කරන වගන්ති තමයි තියෙන්නේ.

අංක නවය – අනුර ජනාධිපති වෙන්නේ නෑ

මේ යෝජනාවලියේ ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් තමයි ව්‍යවස්ථා සංශෝධන ගැන ඔවුන් යම් දුරකට කරුණු කියා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉඳන් බලය විමධ්‍යගත කරපු ව්‍යවස්ථාවක් ගැන. ඇත්තටම ජවිපෙ 13 වැනි සංශෝධනයට විරුද්ධව එදා හිටපු තැනේ හැටියට බලය විමධ්‍යගත කිරීම ගැන කෙළින් කියා තිබීමත් ඉතාම ලොකු වෙනසක්.

මේ විදියට එයාලා හදන ව්‍යවස්ථාව අනුව අනුර කුමාර ජනාධිපතිවරණය ජයගත්තත් කෙටි කාලයක් ඇතුළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇති. මෙතෙක් ඔය පොරොන්දුව දුන් හැමෝටම වඩා අපට විශ්වාස කරන්න පුළුවන් ඔහු බලයට කෑදර වෙලා පුටුව බදාගෙන ඉන්න එකක් නෑ කියලා.

අංක දහය – මෙකී නොකී අඩුපාඩු තිබුණත් අපි සපෝට්

අපි මීට කලිනුත් කියා තියෙනවා අහවල් පක්ෂෙට හෝ අහවලාට ඡන්දය දෙන්න කියලා කවදාවත් මේ චැනල් එකේදී අපි කියන්නේ නෑ. ඒ වගේම අහවල් බලවේගය වෙනුවෙන් පෙනී ඉන්නවා, මෙයාලා තමයි රට හදන බඩු කියලා චරිත සහතික දෙන්නේත් නෑ.

ඒත් උං ඔක්කොම එකයි, එක සමානයි වගේ තැනකින් අපි කතා කරන්නේත් නෑ. යම් පාර්ශ්වයක් වඩාත් ප්‍රගතිශීලී නම් අපි ඒ වෙනුවෙන් පක්ෂපාතී අදහස් දැක්වීමක් යම් දුරකට කරනවා. ඉතින්, ජාතික ජන බලවේගය ගැන අපි කීව නොකීව විවේචන එක්ක ධනාත්මක සපෝට් එකක් අපි දෙනවා. අදහස් වශයෙන්, ඔවුන්ගේ විවිධාකාර සංවිධානවලට අපේ සහයෝගයක් දෙමින්, දන්න කියන අයට කෝල් කරලා හොඳ නරක ගැන යෝජනා ආදිය ඉදිරිපත් කරමින් ඔවුන් දේශපාලනිකව ශක්තිමත් වීම ගැන පොසිටිව් සපෝට් එකක් අපි කරනවා. විවේචනාත්මක පදනමක ඉඳගෙනම.

අපි ලංකාවේ ඉතිහාසය පුරා පුරවැසියන් කරපු දරුණුම වැරැද්දක් පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ. නැත්නම් රට වෙනස් කරන්න බෑ. ජාතික ජන බලවේගය තියා කිසිම බලවේගයක් පර්ෆෙක්ට් නෑ. එහෙම වෙලා හිටියේත් නෑ. ලෙනින්ලාගේ විප්ලවයවත්, චේ ගෙවාරාගේ විප්ලවයවත්, ගාන්ධිවත්, මැන්ඩෙලාවත්, මාටින් ලූතර් කිංවත් සීයට සීයක් පර්ෆෙක්ට් නෑ.

ඒත්, අපේ ඉතිහාසය පුරා මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ යම් යම් බලවේග මතුවෙද්දී ඒ අය රට බේරාගන්න ආපු පරිපූර්ණ, අසමසම දෙවිවරුන් විදියට සලකලා වන්දනාමාන කරන්න. අපි දැක්කා ගෝඨාභයට ඒක කළා. දැන් ජාතික ජන බලවේගයට ඒක කරනවා.

ඒත්, ඇත්තටම අපි කරන්න ඕනෑ නෙගටිව් සහ පොසිටිව් සලකා බලමින් ඒවා ගැන කතා කිරීම.

අපි එහෙම කීවාට පිළිගන්න බැරිනම්, අනුර කුමාර දිසානායක කියන එකට ඇහුම්කන් දෙන්න. ඔහුම කියා තිබුණා මේ බලවේගයවත්, ඒකේ ප්‍රතිපත්තිවත් සම්පූර්ණ නැති බව. ඒක සම්පූර්ණ වෙන්න එකතු වෙන්න කියලා ඔහු ඉල්ලා තිබුණා. ඉතින්, ඕනෑ කෙනෙකුට ඒ පොසිටිව් සහයෝගය දෙන්න පුළුවන්.