මහින්ද යොහානිට ඉඩමක් දීමේ අඳුරු කතාව! මේ පාලකයන් මෙච්චර පරණද? පීඩාකාරී ආණ්ඩුවක් දෙන ඉඩමක් යොහානි ගනීවිද?

අප සියල්ලන්ගේ ආදරය ගෞරවය දිනූ, ලෝකයත් දිනූ පොප් තාරකාවී යොහානි ද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ ඉඩම් කැබල්ලක් දීමට කැබිනට් පත්‍රිකාවක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දෙසැම්බර් 20 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවාලු.

ඔහුගේ යටතේ ඇති සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයිති ඉඩමක්ලු ඒ විදියට දෙන්න ලෑස්ති වෙන්නේ.

මේකෙන් අපට පේන්නේ සංස්කෘතික ඇමතිලා විදියට මහින්දලා කොච්චර පරණද? කොච්චර නිර්මාණශීලීත්වයෙන් තොරද? කියන එක.

සමහරවිට කලාකරුවන් ආණ්ඩුවලට නම්මාගැනීමේ උපක්‍රමයක් විදියට ඒ ඒ අයට පෞද්ගලික මට්ටමේ විවිධ වරදාන ලබා දීම ආණ්ඩු කරනවා. ඒත් ආණ්ඩුවක් කළ යුත්තේ විවිධ කලාකරුවන්ගේ පෞද්ගලික පාවිච්චියට වරදාන ලබා දීම නෙවෙයි. පොදුවේ කලාවේ, සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් දේවල් ලබා දීම.

දැන් ලංකාවේ නාට්‍යකරුවන් පුහුණුවීම් කරපු ටෙලිනාට්‍ය හා සිනමාවට කැමති බොහෝ අය තමන්ගේ නිර්මාණ ගැන කතාබහ කරන්න එකතුවෙච්ච සුදර්ශිය කියන කලාවට වටින ඉඩම් කෑල්ල උදුරාගෙන විකුණා දාන්න දඟලනවා. ඒ අස්සේ යොහානිට පර්චස් දහයක ඉඩමක් දෙන්න කැබිනට් පත්‍රිකා දානවා.

කැබිනට් පත්‍රිකාවට හේතුව විදියට සඳහන් කරන්නේ යොහානි ගීයක් ජාත්‍යන්තරයට ගෙනිහිල්ලා ලබාගත්ත රසික ප්‍රසාදයලු. ඒත් රසවින්දන ව්‍යාපාරයේ නිරත වන්නියක් ලෙස යොහානිට කොහොමත් ලොකු ආදායමක් ලැබෙනවා. ඇයට ඉඩමක් හෝ වෙනත් ‘සහනාධාර’ පන්නයේ දේවල් රජයෙන් දීම අවශ්‍ය නැහැ. අනෙක් අතට ඇය යමක් කමක් ඇති පවුලකින් ආ තරුණියක්. ආධුනික ගායන ශිල්පිනියක් විදියට ජාත්‍යන්තරයට යා හැකි නිර්මාණ කරන්නට ඇයට හැකියාව ලැබුණෙත් මයික්‍රෆෝන්, වීඩියෝ නිෂ්පාදන උපාංග වගේම ඉහළ මධ්‍යම පාන්තික ජීවිතයක් ඇයට කොහොමත්තියෙන හින්දායි.

ඇයට සංස්කෘතික අමාත්‍යාංශයකින් ලැබිය යුතු දේවල් ඇති. ඒ ඒ ඉඩමක් නෙවෙයි. සමහරවිට ඇගේ කටයුතුවලට ආණ්ඩුවෙන් දිය හැකි යම් කිසි සහන, ඇය විවිධ රටවලට ගමන් කරද්දී ගුවන් ගමන්වලට දිය හැකි වට්ටම්, යම්කිසි ගෞරව නාම හෝ විශේෂ පිළිගැනීම්, ඇයව විවිධාකාර සන්නාම තානාපතිකම්වලට පත් කිරීම් ආදී මෙකී නොකී නොයෙකුත් දේ ඇයට දිය හැකියි. ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීම වෙනුවෙන් ඇයට රජයකින් කළ හැකි උදව් බොහොමයි. අපි මෙතැන සඳහන් නොකළ, අපේ සිහියට නොආ ගොඩක් දේවල් ඇති.

ඒත්, ඉඩමක් දීම එවැනි උදව්වක් නෙවෙයි.

හරි නම් සංස්කෘතික අමාත්‍යාංශයක් කළ යුත්තේ යොහානි වැනි දක්ෂයන් ඉන්නවානම්, ඇයට ලැබුණු ධන සම්පත්තිය, වාසනා මහිමය නැති. සරලව කීවොත් සිංදු කියන්න මයික් එකක්, වීඩියෝවක් කරන්න කැමරාවක් නැති. එවැනි අයට පහසුකම් සැලසීම. ගායනා විතරක් නෙවෙයි, වෙනත් නිර්මාණවලින් පවා යූටියුබ් කර්මාන්තය තුළ ලෝකය දිනන්න පුළුවන්කම තියෙන යොහානිලා සිය දහස් ගණනකට මතුවෙන්න අවශ්‍ය පසුබිම සැලසීම. අඩු තරමේ පේපැල්වල ගෙවීම් ලබාගන්නවත් ක්‍රමයක් හැදීම. ඒක සංස්කෘතිය පාවිච්චි කරමින් ලංකාවට විදේශ විනිමය උපයන්නත් චාන්ස් එකක්.

දේශීය සිනමාව, කලාව වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන් බලාපොරොත්තුවෙන දේවල් බොහෝයි. සමහරවිට යොහානි මෙන් ජාත්‍යන්තරයට නොගියත්, කලාකරුවන් වැදගත් දේවල්කරලා ඇති. අනෙක් අතට යොහානි වාගේ මිලියන ගණන් ප්‍රේක්ෂකයන් නැතත් අපේ කලාත්මක සිනමා නිර්මාණකරුවන් ජාත්‍යන්තර සම්මාන උළෙලවල්වල ඇගයීමට පාත්‍ර වෙමින් කලාපයේ ඉහළ පිළිගැනීමට ලක් වූ අය බවට පත්වෙලා ඉන්නවා.