රට හදන්න අමාරු නැහැ – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ 2021 දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුෙවේදී කළ කතාව.

අපි ජාතික ජන බලවේගය පුළුල් කරමින් ඉන්නේ දැවැන්ත මහජන බලවේගයක් බවට පත්කිරීම වෙනුවෙන්. අපි ජාතික විධායක සභාව පත්කර ගත්තා. මේ ආරම්භයක් පමණයි.

මේ ජාතික සභාව මීළඟට දිස්ත්‍රික් සභා පිහිටුවීමට මැදිහත් වෙනවා. මේ රටේ හැම ප්‍රාදේශීය සභා, නගර සභා කොට්ඨාසයක්ම, ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා හදනවා. විශ්වාසවන්ත අවංක හොඳ මිනිසුන්ගේ සංචිත බවට මේ සභා පත්කරනවා. අපි මේ රටේ ජනතාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබනවා. මේ ජනතාව තමයි මේ රට ගොඩනඟන්න අපිට තිබෙන ප්‍රධානම සම්පත. මේ මානව සම්පත පාවිච්චි කිරීම තමයි ආණ්ඩු බලය ලබා ගන්නා ඕනෑම දේශපාලන කණ්ඩායමකට තිබෙන අභියෝගය. අපි විශ්වාස කරනවා මේ රට ගොඩනඟන්න එතරම් අපහසු වන්නේ නැහැ කියලා. 

2019දී සහ 2020දී ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව විශ්වාස කරලා. නමුත් ඉතාමත් කෙටි කාලයකින් මෙම විශ්වාසය බරපතළ ලෙස සිඳී යමින් තිබෙනවා.

පසුගිය වසරකුත් මාස 08ක කාලය ගතවුණේ මේ රටේ සියලු දෙනාම බරපතළ ආකාරයේ ආර්ථික, සමාජීය හා දේශපාලනික ප්‍රශ්න ගණනාවකට මැදිකරමිනුයි. මැතිවරණ වෙලාවේදී ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ සහෝදර ජනතාවට පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ යන්නේ මිරිඟුවක් පසුපස බවයි. ජනතාවගේ බලාපොරොත්තු ඉක්මනින් කඩවෙන බවයි.

මේ නිසා අපත් සමග එකතු වෙන්න කියලා ජනතාවට ඒ වෙලාවේ කිව්වා. නමුත් බොහෝ දෙනෙක් ඒ මොහොතේ ඒ ඉල්ලීමට එතරම් කන් දුන්නේ නැහැ. එතන විවිධ ජන කොටස් හිටියා. උගත්කමක් සහිත රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරමින් අවංකවම මේ රට ගොඩනඟන්න බලාපොරොත්තු වුණු විශාල පිරිසක් හිටියා. 

සමහරු රැකියා අතහැරලා දේශපාලනය කළා. විද්වතුන් ඉතාමත් බලාපොරොත්තු සහගතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට එකතු වුණා. බොහෝ දෙනා විශ්වාස කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට අලුතින් පැමිණි කෙනෙක් නිසා, පරණ පුරුදු දූෂණ ක්‍රියාවලට තිත තියලා මේ රට ගොඩනඟන්න මැදිහත් වෙයි කියලා. 

හැබැයි ඒ පසුපස ගිය බොහෝ දෙනා දැන් අතරමං වී සිටිනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ජාතික ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගය පත්කරන්න.

අපි ඒ අයට බලාපොරොත්තුවක් ලබාදෙනවා. ඔවුන් අප වෙත දිනාගෙන ඔවුන්ට මේ රට වෙනස් කරන වගකීම සහ පාර්ශ්වකකරුවන් වීමේ වගකීම පවරන්න ඕනෑ. අවංක, විශ්වාසවන්ත බහුජන නායකත්වයක් ගොඩනඟාගෙන අපි ඔවුන්ට මේ රට ගොඩනැඟීමේ මහඟු කාර්යයට සම්බන්ධ වන්නට අවස්ථාව ලබාදිය යුතුයි. සියලු අවංක, දූෂිත නොවන, රටට ආදරය කරන හැමදෙනාටම ආරාධනා කරනවා. මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජීවත්වෙන ජනතාවට ආරාධනා කරනවා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා. මේ රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය හැර ඔබට වෙන මාවතක් නැහැ. ජාතික ජන බලවේගය ලෙස දැනට එකතු වී සිටින අපට පමණක් කළ හැකි කාර්යයක් නොවෙයි. මේ ඔබේත් රටයි. මේ අප සියලු දෙනාගේ රටයි. රටේ දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කළ යුතුයි. මේ රට ගොඩනැඟිය යුතුයි. ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා හොඳ පරිසරයක් ඇති කළ යුතුයි. අපට නොයෙක් කැපකිරීම් කරන්න වෙයි. ඒ සඳහා ඔබේ ශක්ති ප්‍රමාණයෙන් දායක වෙන්නැයි ආරාධනා කරනවා.