මුරුත්තෙට්ටුවේ සිද්ධිය! බයියෝ සාර්ථකයි ඈ

බයි‍යෝ යම් දුරකට සාර්ථකයි. මේ වෙද්දී රටේ තියෙන වැදගත් ප්‍රශ්න බොහොමයක් අමතක වෙලා, දැන් හැමෝම ලොකු සංවාදෙක. කොහෙවත් යන විශ්වවිද්‍යාලෙක, කොහෙවත් යන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් උපාධි ගන්න තරුණ කොල්ලො සෙට් එකක් පියවර නොගත්ත එක හරිද වැරදිද කියලා ලොකු සංවාදයක්.

මෙතැන අපි බයියෝ කියලා කියන්නේ වත්මන් ආණ්ඩුවට සහයෝගය දක්වපු ජනතාව නෙවෙයි. ඒ අය එක ගොඩකට දාලා ලේබල් අලවනවාට අපි එකඟ නෑ. අපි මේ කියන්නේ මේ ආණ්ඩුවට මුදල් අරමුණෙන් හෝ හුදු භක්තිවන්තකම නිසා දාගෙන කඩේ යන පිරිස ගැන. එහෙම අය මේ රටේ සීයට තුනක් නෙවෙයි, සීයට එකකටත් වඩා සුළුතරයක්.

අපි ඒ සංවාදෙ එක්ක තරහ නෑ. ධනාත්මක අරමුණක් එක්ක, හැමෝම අවංකව එකඟතාවකට එන්න බලාගෙන සංවාදයට එකතු වෙනවා නම්. මොකද, සංස්කෘතිය ඉස්සරහට යන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් ගැන සංවාදවලින් තමයි.

හැබැයි අපේ රටේ අය සංවාද කරන විදිය වැරදියි. මේ සංවාදවලට එන අය හිතං ඉන්නෙ මේ එකම රටේ එකට ඉන්න අපේම අය හතුරෝ කියලා.

සෝෂල් මීඩියාවල ඇල්ගොරිදම් හදලා තියෙන්නෙම ගැටුම් ඇවිලෙන විදියට. එකිනෙකා තව කෙනෙක්ගේ අදහස් මත උංට අපහාස කරමින්, රණ්ඩු වෙමින් වළිවල පැටලෙන සංස්කෘතියක් මේ.

ඒ නිසා දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ වැදගත් සංස්කෘතික මාතෘකාවක් ගැන සාකච්ඡා කරන එක නෙවෙයි. ඒ වෙනුවට අදාල නැති පොඩි විශ්වවිද්‍යාලෙක පොඩි සිද්ධියක් අල්ලගෙන බොරුවට මරාගෙන රටේ ඇත්තම ප්‍රශ්න යටගහන එක.

මුරුත්තෙට්ටුවේ හිමිගේ ඔය සිදුවීම ගැන කෙටියෙන් කීවොත් මිනිස්සු ගැන සංවේදී නිසා අපටත් මාර අපහසුවක් දැනුණා වයසක මනුස්සයෙක් අර වගේ ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක් වෙද්දී. මිනිස්සු කල්ලි ගැහිලා, බහුතරයක් එක්වෙලා ශාරීරිකව හෝ මානසිකව තනි මිනිහෙක්ට පහර දෙන එක දකින්නත්, ඒවා දැකලා හොඳ වැඩේ කියන්නත් තරං අපේ හිත් හයිය නෑ.

ඔතැන තියෙන්නේ බලය පිළිබඳ කාරණයක්. බලවත් ආණ්ඩුවකට විරුද්ධව ලොකු බලයක් නැති පිරිසක් උද්ඝෝෂණය කරන එකයි, විශ්වවිද්‍යාලයක් කියන එයාලාගෙ තැනක එයාලා ඕගනයිස් කරපු උත්සවේකට ආපු තනි මිනිහෙක් දුර්වල වූ අවස්ථාවක් අල්ලගෙන එයාව අපහසුතාවට පත් කරන එකත් එකිනෙකට වෙනස් අවස්ථා දෙකක්.

යම් කෙනෙක් ආණ්ඩුවේ අය ඕගනයිස් කරපු යම් සම්මාන හො නම්බුනාම දෙන උත්සවේකට ගිහින්, එයාලාගේ පිරිස මැද එයාලාගේ පිච් එක මැද්දේ ප්‍රතික්ෂේප කරන එක අදීනයි. මොකද ඒ වගේ දෙයක් කරන්න මහා හයියක් හිතේ ගොනු කරගන්න ඕනෑ.

ඒත්, මෙතැන උත්සවය ඕගනයිස් කරපු අය, විශ්වවිද්‍යාල පරිපාලනය ඇතුළු හැමෝම අර පිටින් ආපු කෙනාට විරුද්ධයි. ඒ නිසා මෙතැන ඇත්තටම උපාධිය අහවලාගේ අතෙන් ගත්තේ නෑ කීම මහා අදීන දෙයක් නෙවෙයි. ඔය වැඩේ කරන්නට මහා ශක්තියක් හිත ඇතුළේ ගොනු කරගන්න ඕනෑත් නෑ.

ඒ නිසා මුරුත්තෙට්ටුවේ හිමිව අසරණ කරපු එකෙන් නැගුණ චිත්‍රය, සමස්ත ඉමේජ් එක ගැන අපි අවුල්. ඒත්, අනෙක් පැත්තෙන් ඒකට පසුබිම හැදුණේත් ඉබේම නෙවෙයි.

මේ තරුණ සහෝදර සහෝදරියන් මහා නපුරන් නෙවෙයි. ඔවුන් එක්ක තරහක් අපට නෑ.

ඔය විරෝධය පෑමට පසුබිම් වෙච්ච සමාජ, දේශපාලන කේන්තියකුත් ඇති. අනෙක් පැත්තෙන් ඇකඩමික් උද්දච්චකමකුත් ඇති. කෙනෙක්ට අහන්න පුළුවන් පාදඩ දේශපාලනඥයන්ට ඔය කට්ටිය නැවෙන එකක් නැද්ද කියලා. කවුද දන්නේ. සමහරවිට ඔය තරුණයන් ජීවිතේට දේශපාලනඥයන්ට පාත් වෙන එකකුත් නෑ. සමහරවිට පාත් වෙයි.

ඒවා වෙනම කතා. මේ අලුත් යුගයක්. මේ ඇවිල්ලා අනූ ගණන්වල අග ඉපදුණ මිලෙනියල්ස්ලා.

හැබැයි ඔය ඔක්කොම මැද්දේ ‘සිවුරට ගරු කරන්න තිබුණා.’ වගේ බයිලාත් වැඩක් නෑ. අපේ මතය ගොඩනැගෙන්නේ මේක සිවුර පිළිබඳ කාරණයක් විදියට සලකලා නෙවෙයි. වියපත් මනුස්සයෙක් අනුන්ගේ සභාවකට ගියාම ඒ සභාවම එකතුවෙලා ඒ මනුස්සයාව අසරණ කිරීම ගැන.

ඒත් අපට ඊටත් වඩා දුක හිතුණේ ඒක නිසා නෙවෙයි.

ඕක දැකලා අපි මුරුත්තෙට්ටුවේ හිමි කියන වයසක මනුස්සයා ගැන ටිකක් මානුෂීයව හිතුවාට, ඔය පත්වීම දුන්න ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් ඕවායින් මානුෂීයව සංවේදී වෙන්නේ නැති බව හොඳටම දන්න නිසා.

ඒ නිසයි අපි කිව්වේ. මේ උපාධි ප්‍රතික්ෂේප කිරීම ගැන සංවාදයෙන් අන්තිමේ කිසි ප්‍රායෝජනවත් දෙයක් වෙන්නේ නෑ. රටේ තියෙන බරපතල ප්‍රශ්න අමතක කෙරෙනවා මිසක්.