ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය ලියනගේ අමරකීර්ති 2021 දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුවේදී කළ කතාව.
මනුෂ්‍ය ආරක්ෂාව යන තේමාව යටතේ මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජීවිතය පිළිබඳව බයෙන් අපේ මුහුණුවලින් අඩක් වැසී තිබෙන කාලයක අපේ ගෙවල්වලට පුපුරන ගෑස් එන කාලේ, අපේ ගෙවල්වල දරුවෝ ඉගෙන ගන්න ගස් උඩ, වහලවල් උඩ, කඳු උඩ නගින කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් මිලට ගන්න බැරි තරම් මිල ඉහළ ගොස් තිබෙන කාලයේ මනුෂ්‍ය ආරක්ෂාව කියන්නේ මොකක්ද කියන එක ගැන හිතන එක ඉතාම වැදගත්.
ජාතික ජන බලවේගයේ අපි ඒ විශේෂ මාතෘකාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ රටේ පාලකයෝ ආරක්ෂාව ගැන නිතර කතා කරනවා. හැබැයි ඔවුන් ආරක්ෂාව යනුවෙන් කතා කරන්නේ ආණ්ඩුවේ ආරක්ෂාව පමණක් බව ජනතාව දවසින් දවස විඳින දුක්ගැහැටවලින් අපට පේනවා. අපට මනුෂ්‍ය ආරක්ෂාව අවශ්‍යයි. මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක්, රකින රටක් හදන ගමන තමයි අපි ආරම්භ කර තිබෙන්නේ.
නූතන සමාජයේ ආරක්ෂා ප්‍රභේද කිහිපයක් තිබෙනවා. එකක් ජාතික ආරක්ෂාව. විදේශීය අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීමෙන් අපේ රට ආරක්ෂා කර ගන්න එක වැදගත් දෙයක්. එය හුදෙක් හමුදා ගොඩනැඟීමෙන් විතරක් නොවෙයි. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රඥාව ඔස්සේ ඇතිකර ගත යුතු දෙයක්. රජයේ ආරක්ෂාව ගත්තොත් එය වැදගත් දෙයක්. අප ජීවත්වන රාජ්‍ය ව්‍යුහය ආරක්ෂා කර ගැනීම වැදගත් දෙයක්. එය මනුෂ්‍ය ආරක්ෂාවට ගැලපෙන ලෙස විකාශනය වෙමින් සකස් විය යුතුයි.
නමුත් මේ සියල්ල තිබුණත් මනුෂ්‍ය ආරක්ෂාව නොමැති නම් ඒ රට දියුණු රටක් ලෙස කියන්න බැහැ. අපේ රටේ මිනිසුන් සිටින්නේ සතුටින්, ප්‍රීතියෙන් නොවෙයි නම් එහි ඵලක් නැහැ. මනුෂ්‍ය ආරක්ෂාව වඩා හොඳින් දිදුලන තැන තමයි මනුෂ්‍ය ජීවිතය. අපි ජාතික ජන බලවේගයේ විදිහට කරන්නට සැලසුම් කරන්නේ ආහාරවලින් ආරක්ෂිත, අධ්‍යාපනයෙන් ආරක්ෂිත, සෞඛ්‍යයෙන් ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි.
භාවමය වශයෙන් සුරක්ෂිත, කායික වශයෙන් සුරක්ෂිත රටක්. අන්න එහෙම රටක් තමයි මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක් කියලා කියන්නේ. එවැනි රටක මිනිස්සු ගැඹුරු මනුෂ්‍ය වටිනාකම් සිත්වල දරාගෙන සිටිනවා. එවැනි රටක මිනිසුන් මානව හැඟීම්වලින් බැඳී සිටිනවා. එවැනි රටක මිනිසුන් එකිනෙකා වෙත මානව ගෞරුත්වයෙන් ජීවත්වෙනවා. එවැනි රටක මිනිස්සු එවැනි ගැඹුරු සිතිවිලි සිතනවා. නිර්මාණාත්මක පරිකල්පනයක යෙදෙනවා. අර්ථවත් කලාව රස විඳිනවා. අර්ථවත් විවේක ජීවිතයක් ගෙවනවා. පරිසරය සතා සීපාවා සමග සහජීවනයෙන් ජීවත් වෙන්න නිරන්තර අරගලයක යෙදෙනවා. එවැනි රටක පිරිමි පමණක් නොව කාන්තාවත් ආරක්ෂිතයි.
එවැනි රටක අම්මලා පමණක් නොවෙයි දුවලා ආරක්ෂිතයි. එවැනි රටක දරුවා ආරක්ෂිතයි. ජනවාර්ගික බහුතරය පමණක් නොව සුළු ජන කණ්ඩායම් ආරක්ෂිතයි. එවැනි රටක එක සංස්කෘතියක් පමණක් නොව සියලු සංස්කෘතීන් ආරක්ෂිතයි. සියලු සංස්කෘතීන් සමග එකිනෙකා සමග සංවාදයක යෙදී සිටිනවා. මනුෂ්‍ය ආරක්ෂාව සැබැවින්ම තිබෙන රටක තත්වය මෙයයි. මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක සියලු දෙනාට සාපේක්ෂ වශයෙන් සමාන ආර්ථික ශක්තියක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. එවැනි රටක් අපිට පිටරටින් ගේන්න බැහැ. හැබැයි අපේ රට එවැනි රටක් බවට පරිවර්තනය කළ හැකි බව අපි දන්නවා. එය පරිවර්තනය සාමූහික උද්යෝගයකින් කළ යුතු පරිවර්තනයක් විය යුතුයි. ඒ වෙනුවෙන් තමයි ඔබ සියලු දෙනා මෙහි මුළුදී සිටින්නේ. ඒ වැඩේට තමයි අපි ලබන මාසයේ සිට ජනතාව අතරට යන්න බලාපොරොත්තු වන්නේ.
මනුෂ්‍ය ආරක්ෂාව සහිත රට අපට තනියම හදන්න බැහැ. රටේ ජනතාව ජරාජීර්ණ දේශපාලන පක්ෂවල අයහපත් භාවයේ අන්ධකාරයෙන් එළියට ඇවිල්ලා අලුත් හුස්මක් ගත යුතුව තිබෙනවා. අපි ජාතික ජන බලවේගය හදමින් තිබෙන්නේ අලුත් හුස්ම තිබෙන තැන විදිහටයි. සහෝදරත්වයේ මේසය වටා සමානයන් ලෙස වාඩිවෙලා ආහාර ගනිමින් අපි කතා කරමු. මතවාදී බෙදීම්වල අගාධයන් උඩින් සහෝදරත්වයේ උණුසුම් අත්වලින් අපි එකිනෙකා වෙත බැඳෙමු. මේ කාලය පැමිණ තිබෙන්නේ එයටයි. ලෙඩ ඇඳට වැටුණු රටක් ගොඩගත හැක්කේ රටේ වැසියන්ගේ සහෝදරත්වයේ බලයෙන් පමණයි. මේ එයට කාලයයි. මා මේ කතා කරන වචනවල තිබෙන්නේ අපේක්ෂාවයි. අපේක්ෂාවක් කියල කියන්නේ දරාගන්න බැරි යථාර්ථයකට එරෙහිව අපේ අභ්‍යන්තරයෙන් එන පැනනැගීමක්. ඒ අපේක්ෂාව අප තුළ තනි තනිව නොව සාමූහිකව නැගුණු දවසක මේ රට පරිවර්තනය කරන එක කිසිවෙකුටත් නතර කළ නොහැකියි. ඒ නිසා තමයි අපි ජාතික ජන බලවේගය හදමින් ඉන්නේ. අපි ආර්ථික අර්බුදයකට වැටී තිබෙනවා.
ඒ විතරක් නොවෙයි, අපි රටක් ලෙස දරුණු ආධ්‍යාත්මික අර්බුදයකට වැටී තිබෙනවා. මේ ආධ්‍යාත්මික අර්බුදය ඛේදජනක ලෙස ප්‍රකාශයට පත්වෙන තැන තමයි මේ රට මෙච්චර වැටිලා තියෙද්දීත් තනි තනිව දියුණු වෙන්න, සාර්ථක වෙන්න පුළුවන් කියන ආත්මාර්ථකාමී හැඟීම. ජාතික ජන බලවේගය කියන්නේ මෙවැනි පුද්ගලවාදී ආකල්ප තිබෙන මේ රටේ සියලු මනුෂ්‍යයන්ගේ යහපත් හදවත්වල යහපත් ස්නායුවලට ආමන්ත්‍රණය කරන බලවේගයක්. මේ රටේ යහපත පතන මිනිසුන්ගේ හදවත්වල යහපත් සිතිවිලි සැඟවී තිබෙන තැන් විවර කරන්නයි, අපි ජාතික ජන බලවේගය ගොඩනඟමින් සිටින්නේ. යුක්තිය, සාධාරණය, ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදය කියන දේවල දේශීය මානයක් තිබෙනවා. අපි එය දේශීය වශයෙන් ජයගත යුතුයි. අපට එවිට තමයි පුළුවන් වෙන්නේ, අධ්‍යාපනය අතින්, සෞඛ්‍ය අතින්, සැනසිල්ල අතින් මනුෂ්‍ය ආරක්ෂාව සහිත රටක් බිහිකරන්න. ඒත් විසිඑක්වන සියවසේ අපි අපේ රට තුළ මනුෂ්‍ය ආරක්ෂාව ලෙස දකින්නේ ලෝකයේ තවත් වෙනත් රටවල සිටින ප්‍රගතිශීලී මනුෂ්‍යයන්ගේ ආශීර්වාදය, සහෝදරත්වය ඇතිව ගොඩනඟා ගත හැකි, ගොඩනඟා ගත යුතු ආරක්ෂාවක් හැටියටයි. අවට ලෝකය සමග යුක්තියේ සාධාරණත්වය පදනමින් සම්බන්ධතා පවත්වන්න අපි සූදානම්. අපේ අභිමානය නොනැසෙන ආකාරයෙන් සම්බන්ධතා පවත්වන්න අපි සූදානම්.
දූෂිතයන් හැම රටේම ඉන්නවා. ඒ වගේම දූෂිතයන්ට එරෙහි මහජන පැන නැග්මක් හැම රටේම තිබෙනවා. අන්න එහෙම තම තම රටවල යුක්තිය ඉල්ලන ජනතාව අපේ ගමන් සගයින්. ඒ නිසා අපි ලෝකය අමතලා කියන්නේ අපට උදව් කරන්න. අපිත් එක්ක මේ පරිවර්තනය කරන්න එන්න කියලා. අපේ පුංචි ගම්මිරිස් ඇටවලට ගෙවන මිල, අපේ ගම්වල දුප්පත් පැල්පත්වලට ගිහිල්ලා ඒ ගෙවල්වල ඉන්න දරුවෝ පාසල් අරගෙන යනවා කියලා, ලෝකෙට කියන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. ඒක තමයි අපි ගොඩනගමින් ඉන්නේ. අපේ තේවලට ඔබ ගෙවන මිල, අපේ ගම්වලට ගිහිල්ලා පැල්පත්වල දරුවෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරනව කියලා ලෝකෙට කියන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. ජාතික ජන බලවේගය ඒ ව්‍යාපාරය බවට පත්වෙනවා කියන විශ්වාසය අපට තිබෙනවා. තේ ටික, ගම්මිරිස් ඇට පමණක් නොවෙයි, ගම්මිරිස් ඇටයක් තරම් පුංචි කොමිපියුටර් චිප්ස් හදන්න පුළුවන් ජනතාවක් අපට ඉන්නවා. ඒ ජනතාව ගොඩනඟන්න අපිට උදව් කරන්න කියලා අපට ලෝකෙට කියන්න පුළුවන් පාලනයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තමයි අපි ගොඩනඟමින් ඉන්නේ.
ලෝකයේ බලවත් රටවල දේශපාලන හෘදසාක්ෂිය ඒ තරම් පහසුවෙන් උණු නොවන බව අපි දන්නවා. ඒ වුනත් ලෝකය පුරා යුක්තිය, සාධාරණත්වය අගයන ප්‍රගතිශීලී පුරවැසි පිරිසක් විසිර සිටිනවා. ලෝකයේ බොහෝ ජනයා දුප්පත්කමින් මිදෙනවා දකින්න ආසා කරන ගෝලීය පිරිසක් සහෝදරත්වයෙන් අමතන්න පුළුවන් පිරිසක් අත මේ රටේ පාලනය තිබිය යුතුයි. අපට ඩීල් එපා. අපිට කොමිස් එපා.
අපට මේ රට ගොඩනඟන්න උදව් කරන්න කියලා අවංක ඉල්ලීම කරන්න පුළුවන් පාලනයක් අපට අවශ්‍යයි. අපේ සාමූහික හෘදසාක්ෂිය මිය ගිහිල්ලා නම් ගෝලීය ප්‍රගතිශීලීන්ගේ හෘදසාක්ෂිය උණුවෙන විලාසයෙන් අපට ඒ කතාව කියන්න බැහැ. අපි එහෙම හෘදසාක්ෂිය මිය ගිය ජනතාවක් නොවෙයි. මීට වඩා යහපත් රටක්, මීට වඩා යහපත් ලෝකයක් පිළිබඳව සිහින මිය ගිහින් නම්, බුද්ධිමය වශයෙන් භාවමය වශයෙන් මිය ගිය ජනතාවක් නොවෙයි අපි. ජාතික ජන බලවේගය මතුවී තිබෙන්නේ ඔබේ හදවතේ තවමත් තිබෙන අවංකත්වයේ යුක්තියේ සහෝදරත්වයේ ප්‍රාණයට ආමන්ත්‍රණය කරන්නයි. ජාතික ජන බලවේගයේ අපිට මේ වසංගත සමයක පවා මෙහි පැමිණ, සවන් දෙන ඔබ දකින අපට ඒ අලුත් ලෝකයේ පණ ගැහෙන හඬ ඇහෙනවා. තවදුරටත් අපව අපේ ඒකපුද්ගල සිහිනවල සිරකරලා, අපිට අපේ වැඩක් බලාගන්න කියන නොයෙක් දේශපාලන ව්‍යාපාර, පාලකයො ඉන්නවා. ඔවුන් මේ රට විනාශ කරන තුරු අපට බලන් ඉන්න බැහැ. අපි රොද බැඳ පැමිණ මේ සභාවේ අද ඉන්නවා වගේ මේ සිහිනය සැබෑවක් කරන්නට රොද බඳිමු.