ජාතික ජන බලවේගයේ විධායක සභික, අධිනීතිඥ ලාල් විජේනායක 2021 දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුවේදී කළ කතාව.
මෙය අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතික වශයෙන් හැම පැත්තෙන්ම බිඳවැටී තිබෙන අවස්ථාවක්. නිදහස ලැබිලා අවුරුදු හැත්තෑතුනක් තුළ රට පාලනය කළ පාලකයන් මෙම කලාපයේ රටවල් අතුරින් ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්වයට බිඳවට්ටා තිබෙනවා. රට ඒ තත්වයට පත් කළ දේශපාලනය පරාජයට පත් කළ යුතුයි. අප පරාජය කළ යුත්තේ, පුද්ගලයන් පමණක් නොවෙයි. ඔවුන්ගේ දේශපාලනයත් පරාජය කළ යුතුයි. ආර්ථික වශයෙන් අපේ රට වැටී තිබෙන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒ වාගේම අපේ සමාජය බිඳවැටුණු සමාජයක්. රටේ සිටින නොයෙකුත් ජන කොටස් ඒකරාශී කර ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ගොඩනඟන්න අසමත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව දිහා බැලුවාම මොන වාගේ පාලකයන් පිරිසක්ද පත් කර සිටින්නේ කියලා පැහැදිලි වෙනවා.
රට කොතෙක් දුරට බිඳවැටිලා ද කීවොත්, තරුණ පරම්පරාවේ හැම කෙනකුම අපේක්‍ෂා කරන්නේ රට දාලා යන්නයි. ඒ වෙනුවෙන් නොයෙකුත් මාර්ග සොයමින් ඉන්නවා. රට ගැන ඔවුන්ගේ සම්පූර්ණ විශ්වාසය බිඳවැටිලා. අනාගතයක් තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඉතාමත්ම භයානකම තත්ත්වය මෙයයි.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් වාමාංශික කොටස් එකතු වී ජාතික ජන බලවේගය පිහිටෙව්වා. අද මේ සමුළුව පවත්වන්නේ විකල්ප දේශපාලනයක් රටට හඳුන්වා දෙන්න. ඒ වාගේම විකල්ප වැඩපිළිවෙළක් සහ විකල්ප නායකයෙක් හඳුන්වා දෙන්න. ඒ වාගේම හැත්තෑපස් දෙනකුගෙන් සමන්විත විධායක සභාවක් හඳුන්වා දෙන්න. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව රට පුරාම ගෙනියලා ජනතාව සමඟ සාකච්ඡාවක් ඇති කිරීමට ක්‍රියා කරනවා.
ඒ ප්‍රතිපත්ති තුළ යම් යම් වෙනස්කම් ඇති කිරීමට අවශ්‍ය නම්, ඊටත් ඉඩ තිබෙනවා. අපේ අපේක්‍ෂාව කඩාවැටුණු මේ රට නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය ආණ්ඩුවක් පිහිටුවන්න ක්‍රියා කිරීමයි. දිස්ත්‍රික් මට්ටමේ සම්මේලන ඉදිරියේ දී පවත්වා ජනතාවගේ අපේක්‍ෂා ඉටු කරන ආකාරයට ක්‍රියා කරමින්, බිඳවැටුණු රට නැවත ගොඩනැඟීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාටම ආරාධනා කරනවා. ජාතික ජන බලවේගය පක්‍ෂ හෝ කණ්ඩායම් කිහිපයකට සීමා කර නැහැ. විකල්ප දේශපාලනයක් තුළින් බිඳවැටුණු රට ගොඩනැඟීමට එකතු වන සියලු දෙනාට පොදු මධ්‍යස්ථානයක් ලෙස මෙය ගොඩනඟනවා. අපි ජනතාවටත් මේ වටා ඒකරාශී වන ලෙස ආයාචනා කරනවා.