අපි වැදගත් මාතෘකා කිහිපයක් එක්ක මේකෙදි කතාකරන්න බලාපොරොත්තු වෙනවා. රටේ මුදල් ඇමති වගේම ආණ්ඩු බලය හිමි පොහොට්ටු පක්ෂයේ නිල නොවන නායක බැසිල් රාජපක්ෂව හම්බවෙන්න බෑ කිව්ව නරේන්ද්‍ර මෝඩි, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ව හම්බවෙන්න කැමති වුණේ ඇයි? ඉන්දියාවේ ආණ්ඩුව ලංකාවේ විපක්ෂ නායක සජිත්ට කෝල් කළාම සජිත් කීව දේ මොකක්ද?
ලංකාව ඉන්දියාව පැත්තට හැරෙන එකේ බලපෑම මොකක්ද? ඉන්දියාව දාන කොන්දේසි එක්ක අපට කරන්න පුළුවන් දේවල් මොනවාද?
චීනය උතුරට යෑම අහම්බයක්ද? ඒ ගමනෙන් මොනවගේ බලපෑමක් වේවිද? චීනෙ නැවේ සිද්ධියෙන් පස්සේ චීනය එක්ක ගනුදෙනුව කොහොමද?
මේ වගේ මාතෘකා ගණනාවක් එකට මුහු කරමින් අපි මෙතැන කතා කරනවා.
අපට ඩොලර් බිලියන 1.4ක් දෙන බවට ඉන්දියාව ඉඟි කරලා තියෙනවා. ඒත්, ඒක නිකං රාජපක්ෂලාට උඩින් එල්ලපු මිදි පොකුරක් වගේ.
මේ වෙලාවේ ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් තමයි ඩොලර් බිලියන 7ක් විතර 2022 අවුරුද්ද ඇතුළේ ගෙවන්නට තියෙන, ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන 500ක වාරිකයකින් සාජ්ජය පටන් ගන්න ණය අර්බුදය. ඒක විසඳාගන්නෙ කොහොමද කියන එක ගැන අපට පැති ගණනාවකින් සාකච්ඡා කරන්න තියෙනවා.
එක වැදගත් පැත්තක් තමයි අපි ආරම්භයේදී සඳහන් කරපු ඉන්දියාව-චීනය සහ ලාංකික දෙමළ-සිංහල දේශපාලනය කියන එක.
සම්බන්ධන්ව මෝදි හම්බවෙනවාලු! තාම දිනයක් හොයනවාලු
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ව මුණගැසීමට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි කැමැත්ත දක්වා ඇති බවත්, ඒ වෙනුවෙන් ඒ පැත්තෙන් යෝජනා කරපු දවස් දෙකක්ම ආර්. සම්බන්ධන් මහතාගේ පෞද්ගලික හේතු නිසා කල් ගිය බවත් අනිද්දා පත්තරය කරපු විමසීමකදී කතා කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් කියලා.
මේ සාකච්ඡාවේ මූලික අරමුණ විදියට කියැවෙන්නේ ලංකාවට ඉන්දියාව ආධාර දෙනකොට මෙහේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට අදාල කොන්දේසි ආදිය ගැන සාකච්ඡා කිරීම.
මන්ත්‍රී රාසමාණික්කම් පෞද්ගලික හේතු කියා කීවේ බොහෝ විට සෞඛ්‍ය හේතු වෙන්න ඇති. එහෙම නැත්නම් පොඩි පොඩි පෞද්ගලික කේස්වලට ඉන්දියාවේ අගමැති එක්ක වෙලාවන් කැන්සල් කරන අය ඉන්නවායැ.
කොහොමහරි මේ කතාවේ ලස්සන කෑල්ල මේකයි. අපේ මුදල් ඇමතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පසුපස නායක බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිය වෙලාවේ එහේ අගමැතිවරයා එක්ක සාකච්ඡාවක් ඉල්ලුවත්, වෙලාව නෑ කියලා ඒ සාකච්ඡාව මඟහැරලා තිබුණා.
මේකේ ලස්සන අතුරු කාරණාවක් කියන්නං. බැසිල් රාජපක්ෂ මෝදිගේ ලොකුම ලොකු ෆෑන් කෙනෙක්.
බැසිල් කාලෙක ඉඳන් කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයෙන් සහ චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ආභාසය අරන් හදනවා කියලා. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හෙවත් බීජේපීය එක්ක සමීප සම්බන්ධතා හදාගන්න පොහොට්ටුවට ලොකු වුවමනාවක් තිබුණා.
හේතු තුනක් නිසා.
එක තමයි මෝදි කියන තනි චරිතය උස්සලා, ඒක වටේට බීජේපී එක ගොඩනගලා. ඒක බොහෝදුරට රාජපක්ෂලා වටේට පොහොට්ටුව හදන්න උත්සාහ කරනවා වගේ.
දෙක තමයි බීජේපීයේ දේශපාලනය හින්දු අය උතුම්ය කියන හැඟීම මත පදනම් වෙලා, මුස්ලිම් විරෝධයක් සහ පාකිස්ථාන විරෝධයක් එක්ක ගොඩනැගුණ එකක්. එයාලා ඒ මුස්ලිම්-හින්දු ප්‍රශ්නය වවාගෙන ඒක මැනේජ් කරමින් රට කරන විදිය බැසිල්ලාට වැදගත් පාඩම් බවට පත් වේවි.
තුන තමයි ඉන්දියාවේ බීජේපී සහ කොංග්‍රස් දෙපැත්තම කාලාන්තරයක් තිස්සේ හැදුවේ සභාග ආණ්ඩු. ඒ කියන්නේ ආණ්ඩුව තනි පක්ෂයක් නොවී, විවිධ මතවාද තියෙන තවත් පක්ෂ එක්ක වැඩ කරන්න සිද්ධවුණා. වෙන අයට ඇමතිකම් දෙන්න සිද්ධවුණා. ආණ්ඩුවේ ඉඳගෙනත් ඒ වෙනත් පක්ෂවල විවේචනයට ලක් වෙන්න ප්‍රධාන පක්ෂයට සිද්ධවුණා. ඒ ඉතිහාසය වෙනස් කරලා බීජේපීයට අතිබහුතරයක් සහිත සභාග පක්ෂවල මතවාද දුර්වල කරලා දාපු ආණ්ඩුවක් මෝදි හැදුවා. බැසිල්ගේ හීනයත් සමසමාජ, කොමියුනිස්ට්, විමල්, වාසු, ගම්මන්පිළ හෝ වෙනත් කවුරුත් බලවත් නොවිච්ච තනි පක්ෂෙක ආධිපත්‍යය තියෙන ආණ්ඩුවක්.
ඉතින් ඔය විදියට මෝදිගේ ෆෑන්බෝයි කෙනෙක් වෙච්ච බැසිල් රාජපක්ෂ මහතා ඉස්සර බණ්ඩාරණායක සහ නේරු පවුල ළගින් හිටියා වගේ මෝදි එක්ක රාජපක්ෂලාව ළං කරන්න ආස ඇති. දෙපැත්තේ කොමන් ෆැක්ටර් එක විදියට මුස්ලිම් විරෝධය පාවිච්චි කරන්නත් ආස ඇති.
ඒත්, මෝදිලාටත් ඉන්දියාවටත් රාජපක්ෂලාට ළංවෙන්න බැරි ලොකුම අවුල් දෙකක් තියෙනවා. එකක් තමයි රටක් විදියට තමන්ට හතුරු චීනය එක්ක රාජපක්ෂලා ළං වීම. අනෙක් පැත්තෙන් මෝදිලාට ලොකුම අභියෝගයක් වෙච්ච තමිල්නාඩුව. ඒ ප්‍රාන්තය රාජපක්ෂලා සහ ලංකාවේ දෙමළ ජනතාව අතර සම්බන්ධය දිහා තියුණු විදියට බලනවා. රාජපක්ෂලාට ළං වෙන ආණ්ඩුවකට තමිල්නාඩුවේ සහයෝගය නෑ.
ඒත්, අනෙක් පැත්තෙන් ආර්ථික වශයෙන් ලොකු අමාරුවක් වැටුණ ලංකාවට මුදල් ආධාර දෙන අතරේ, ඒකට කොන්දේසි විදියට පළාත් සභා මැතිවරණය පැවැත්වීමත්, බලය බෙදීම ගැන එකඟතාවයකට පැමිණීමත් කරන්න මෝදි සමත් වුණොත්, එයාට තාමත් හරියට ටැකල් නොවිච්ච තමිල්නාඩුවේ හිත දිනාගන්න ඒක හේතුවක් වේවි.
අනෙක් පැත්තෙන් තමන්ගේ නාහෙ ඉස්සරහා චීනෙට ළං වෙවී හිටපු ශ්‍රී ලංකාව එක්ක ඒ වගේ ගනුදෙනුවක් කළොත් මුළු ඉන්දියාවේම ජාතිකවාදීන් පිනවන්න මෝදිට පුළුවන් වේවි.
කොහොමහරි දැනටමත් ඉන්දියාවේ ආණ්ඩුව ශ්‍රී ලංකාවට දෙන්න යන ඩොලර් බිලියන 1.4ක මුදල එක්ක කොන්දේසි ගණනාවක් එන්න නියමිත බව කියනවා.
ඉන්දියාව බැසිල්ට කොහොමත් කියා තියෙනවා සමස්තයක් විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. ඒ එක්කම ලංකාවට අවශ්‍ය ආර්ථික සහයෝගය ඉන්දියාව දෙන්නම් කියලාත්. මොකද ඇමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් එක්ක ඉන්දියාව සැලකිය යුතු තරම් මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරනවා චීන විරෝධය එක්ක.
හැබැයි තවත් එක ප්‍රධාන දෙයක් තමයි අපි කලින් සඳහන් කරපු පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ලංකාවේ අතුරුදන්වූවන් ගැන ප්‍රශ්න සහ අනෙකුත් දේවල් ගැන විධිමත් පියවර ගැනීම සහ බලය බෙදාහැරීම සඳහා කටයුතු සැකසීම ආදී කාරණා එයාලාගේ කොන්දේසි අතර තියෙනවාලු.
කොහොමත් මාර්තු මාසයවත් වෙද්දී පළාත් සභා ඡන්දය තියන්න බැසිල්ලා උත්සාහ කරනවා.
කොහොම නමුත් රාජපක්ෂලාගේ ස්වභාවයත් ඉන්දියාව නොදන්නවා නෙවෙයි. මේ වෙලාවේ ලංකාවේ හැම පාර්ශ්වය එක්කම සම්බන්ධතා හදාගන්න ඉන්දියාවට ඕනෑ. සමහර ගොසිප් ආරංචි අනුව ඉන්දියාවේ ඉහළ නිලධාරීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් කතා කරලා මේ මුදල් ලබා දීම ගැන ඇහුවාලු. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව යම් රටක ආණ්ඩුවක් ජනතා අපකීර්තියට ලක් වුණාම ඊළඟ ආණ්ඩුව විදියට දකින්නේ ප්‍රධාන විපක්ෂය. ඊළඟට රටේ නායකයා විදියට දකින්නේ ඒ පක්ෂෙ නායක.
ලංකාවේ නං මොන වගේ පෙරළියක් වේවිද? අනුර කුමාරලාගේ රැල්ල හෝ චම්පිකලාගේ බලවේග ශක්තිමත් වේවිද කියන්න දැනට කල් වැඩියි. ඒක අපේ රට ඇතුළේ වෙනම දේශපාලන සංවාදයක්නේ. දැනට රටේ විකල්ප නායක ලෙවල් එක තියෙන්නේ සජිත්ටනේ.
ඒ නිසා මේ ගොසිප් එක ඉන්ටරෙස්ටින්.
හැබැයි සජිත්ගේ පැත්තෙන් කියන්නේ ඒකට උත්තර විදියට සජිත් කියා තිබුණේ මේ ආණ්ඩුව වැරදි ප්‍රතිපත්ති අනුගමනය කළාට, එකඟ වෙන්න බැරි තැන් තිබුණාට සමස්තයක් විදියට රට ආර්ථික අර්බුදයක ඉන්න නිසා හැකි තරම් රටට උදව් කරන්න කියලාලු. ඒකේ ඇත්ත නැත්ත අපි දන්නෑ. ඉන්දියාව ණය නොදීම සජිත්ට පොලිටිකලි බව අමතක කරන්නත් බෑ. අපි ඔය ගොසිප් ප්‍රවෘත්තිය අල්ලගෙන සජිත්ගේ බටර් නොගා ඉමු.
හැබැයි අපි කලිනුත් මතක් කළා වගේ ඉන්දියාව මේ ඔක්කොම අපට උඩින් මිදි පොකුර වගේ එල්ලලා කියන්නේ, උඹලා අපේ කොන්දේසි එකින් එක ඉටු කරද්දී ඒවාට එක මිදි ගෙඩිය ගාණේ දෙන බව.
කෙනෙක් හිතයි ණය ගනිද්දී කොන්දේසිවලට යටත් වෙන එකෙන් අපේ ස්වෛරීත්වය යට වෙනවා කියන එක.
ඒත් ඉතින් ආර්ථිකව වැටිච්ච පරාදීන රටකට ස්වෛරීත්වය කියා එකක් නෑ. ඒ හෙළවෙන මනස.
සාමාන්‍යයෙන් මේ වගේ වැලේ වැල් නැති වෙලාවල රටවල් අතර ණය හුවමාරුවක් වෙද්දී නිර්නාමිකව හෝ නාමිකව කොන්දේසි තියෙනවා. ඇමෙරිකාව වගේ රටවල් බොහෝ විට දැම්මේ මානව හිමිකම් රකින්න වගේ කොන්දේසි. ඒත්, චීනය බොහෝවිට දැම්මේ ණය ගත්තොත් අපේ බඩු ගන්න ඕනෑ. නැත්නම් ණයක් අරන් කරන ප්‍රොජෙක්ට් එකක් නම් අපේ රටටම ඒ කොන්ත්‍රාත්තුව දෙන්න ඕනෑ වගේ කොන්දේසි.
අඩු තරමේ චීනය වගේ රටවල් දාන අවලං කොන්දේසිවලට වඩා බටහිර රටවල්වල මානව හිමිකම් රැකපං වගේ කොන්දේසිත්, ඉන්දියාව දාන ලංකාවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දියං වගේ කොන්දේසි ටිකක් හොඳයි. චූට්ටක් බර වචනයක් දැම්මොත්, ‘සාධනීයයි’.
ඒ අතරේ අපි චීනයේ ප්‍රතිචාර පැත්තට හැරෙමු.
මේ ආණ්ඩුව බලයට එද්දී චීනයෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වූ බව පැහැදිලියි. කැමති වුණත්, අකමැති වුණත් ලංකාවට ඉතා වාසිදායක වූ ජිනීවාවල සම යෝජනාවෙන් ලංකාව අයින් වීමෙන් පෙනුණේත් ඒක. චීන ලෝක බලවතෙක් විදියට ඔය එක්සත් ජාතීන්ගේ සීන්වලදී ලංකාව වෙනුවෙන් ලොබි කරලා, රටවල් පෙළගස්වලා අපේ රට බේරලා දෙයි කියලා රාජපක්ෂලා හිතන්න ඇති. ඒකනේ බලයට ආපු ගමන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය එක්ක ලොකු ලෙඩක් දාගත්තේත්.
අනෙක් පැත්තෙන් බටහිර රටවල් එක්ක සම්බන්ධතා දුර්වල වෙන්න හැරලා ආණ්ඩුව හිටියේ. ඒත්, අපි ආර්ථික අභියෝගවලට මුහුණදෙනකොට චීනයෙන් හිතූ සපෝට් එක ලැබුණේ නෑ. අනෙක් පැත්තෙන් පෝට් සිටි වගේ චීන සපෝට් එක සහිත ව්‍යාපෘතිවලිනුත් තාම හිතූ ලාභය නෑ.
ඊටත් වඩා චීනය අපේ පොහොර නැවේ ප්‍රශ්නයේදී ලංකාවේ බෙල්ලම හිර කරලා. බෙල්ල හිර කරලා හුස්ම හිරවෙනතුරු අල්ලාගෙන හිටියේ ලංකාව පරාජය පිළිඅරන් ටැප්අවුට් කරනකල්.
මෑතකදී ආණ්ඩුවේ බලවතෙක් සහ රාජපක්ෂලාගේ හිතවතෙක් වන ජොන්ස්ටන් කීවේත්, තව ගොඩක් ආණ්ඩුවේ අය කීවේත් පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන එක රටවල් අතර ප්‍රශ්න ඇති නොවීම පිණිස කරපු දෙයක් කියලා. ඒත් එයාලා හංගපු දේ තමයි මේක රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් නෙවෙයි. රටක් සහ කම්පැණියක් අතර ප්‍රශ්නයක් බව.
චීනය නම් දැවැන්ත රටේ හැටියට ඔය කම්පැණියද, තමන්ට සමීප ශ්‍රී ලංකාව නම් වූ රටද යන දෙකෙන් චීනය තෝරගත්තේ තමන්ගෙ කම්පැණිය.
ලංකාවේ ධන සම්පත්, වරාය ආදී සම්පත්, රටේ ආධිපත්‍යය අරගෙන මේ රට හූරාකලා, නවීන පන්නයේ යටත් විජිතකරණයකටත් ගැති තත්වයකටත් ලංකාව පත් කිරීම තමයි චීනෙ අරමුණ. එතැනින් එහාට ලංකාව ස්ථාවරව සහ ශක්තිමත්ව නැගී හිටිනවා බලන්නවත්, ඒ සඳහා අවශ්‍ය උදව් සපයන්නවත් චීනය හිතන්නේ නෑ. චීනය විශ්වාස කරපු උතුරු කොරියාව, මියන්මාරය හෝ තව රටවල් ගොඩකට ඒ උදව් චීනෙන් සපයලාත් නෑ. චීනෙට අපි ගැන සතපහක කැක්කුමක් දැන් නෑ. අනුකම්පාවක් දැන් නෑ.
නැත්නම් තමන්ට හිතවත් රට ඩොලර් අර්බුදයක ඉන්න වෙලාවේ තමන්ගේ කම්පැණියක් එක්ක ගනුදෙනුවක පැටලෙද්දී, ඒ හිතවත් රටේ ආයතනයක් තමන්ගේ රටේ කම්පැණිය වෙළඳ කොන්දේසි කඩපු බව කියද්දී අඩු තරමේ මැදිහත් නොවී කම්පැණියයි රටයි ප්‍රශ්නෙ බේරගන්න කියලා ඉන්න තිබුණානේ. ඒ වෙනුවට තානාපති කාර්යාලය දාගෙන දැඩි මැදිහත්වීමක් කරලා ලංකාව අමාරුවේ දාලා සල්ලි ගෙවන තැනට චීන ආණ්ඩුව මැදිහත් වුණා.
ඉතින් රාජපක්ෂලා ඒක තේරුම් ගන්න අස්සේ තමයි ඉන්දියාව පැත්තට හැරෙන්නේ.
මේ වෙලාවේ චීනය උත්සාහ කරන්නේ මේ වෙනස්කම් අස්සේ වුණත් ලංකාවේ බලය තමන් සතු බව සංකේතාත්මකව පෙන්වන්න. ඒ නිසා තමයි චීන තානාපති කාර්යාලයට සම්බන්ධ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් උතුරට යන්නේ.
ලංකාවේ ඉන්දියාවට සමීප ප්‍රදේශය වන නිසාත්, ඉන්දියාවට භාෂාමය සහ ජනවාර්ගිකමය බැඳීමක් තියෙන දෙමළ ජනතාව ඉන්න ප්‍රදේශය වන නිසාත් මේ වෙලාවේ ඔය උතුරට යෑම පැහැදිලිව දේශපාලන ප්‍රකාශයක්. විශේෂයෙන් මේ නියෝජිත පිරිස අතර චීන මිලිටරි නිලධාරියෙකුත් හිටියා.
මේක දවස් තුනක සංචාරයක්. මේ සංචාරයේ අරමුණක් විදියට ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට සහයෝගය දීමක් ගැනත් සඳහන් වෙලා තිබුණා. නැවත කීවොත් ධීවර කර්මාන්තය කියන්නේ ලංකාව-ඉන්දියාව අතර මුහුදට සම්බන්ධ බිස්නස් එකක්. මේ නියෝජිත පිරිස වේස්ටි එහෙම ඇඳගෙන හිටියා. නල්ලූර් කෝවිලට ගිහින් තිබුණා.
මේකේ පණිවිඩය අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැමෝටම තේරෙනවානේ.
යුද්ධෙන් පස්සේ උතුර යළි ගොඩනගන්න කරපු ව්‍යාපෘතිවලදී පවා බැසිල්ලා වැඩිපුර උත්සාහ කළේ ඉන්දියාවට ඒ පැත්තේ වැඩ බාරදෙන්න. උදාහරණයක් විදියට උතුරු දුම්රිය මාර්ගය හැදුවේ ඉන්දියානු ණයක් මත ඉන්දියානු කම්පැණියක්. චීනය අපේ වරායවල්, ගුවන්තොටුපළවල්, පාරවල් ආදිය හදන්න ණය දුන්නා, කම්පැණි ගෙන්නුවා තමයි. ඒත් පලෙයි ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය, ත්‍රිකුණාමල වරාය ආදී බොහොමයක් කළේ ඉන්දියාව. ඒ හැරුණාම උතුරේ වැඩවලට ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ සාපේක්ෂව නියුට්‍රල් ආයතනවල උදව් ගත්තේ.
චීන ව්‍යාපෘති බාරදෙනකොට බොහෝදුරට හම්බන්තොට වගේ ලංකාවේ දකුණු කෙළවරට වැඩි අවධානයක් යොමු කළේ.
ඒකෙන් ඉන්දියාවේ හිත හැදෙන්නේ නැතත්, ඕනෑවට වඩා ඉන්දියාවේ මූණට චීන කෝටුවෙන් අනින්න කටයුතු කළේ නෑ. කොහොමත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නොලියැවුණු එකඟතාවක් තමයි උතුරු-නැගෙනහිර ව්‍යාපෘතිවලදී ඉන්දියාවට ප්‍රමුඛතාව දෙනවා කියන එක.
මෑතකාලීනව තමයි ඕක වෙනස් වුණේ. චීනය යාපනය නගරයේ පාරක් හදන්න මැදිහත් වුණා. සමහර චීන කම්පැණිවල කාර්යාල උතුරු-නැගෙනහිර දැම්මා. ඒ මදිවාට මෑතකාලීනව උතුරේ දූපත්වල කරන්න ලෑස්තිවෙච්ච පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් චීනයට දෙන්න හැදුවා. පෙබරවාරි මාසයේ විතර ඒ ව්‍යාපෘතියට ඉන්දියාව දැඩිව විරෝධය දැක්වුවා. ඒ ආරක්ෂක ප්‍රශ්න ගැන කියමින්. අන්තිමට චීනයෙන් අයින් කරලා, ඒ ව්‍යාපෘති ඉන්දියාවට දෙන්න අපේ ආණ්ඩුව එකඟ වුණා. ඒත්, ඊටත් පස්සේ මෑත දවසක චීනයේ සොඅර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි කියලා චීන කම්පැණියකුත්, ආසියානු සංවර්ධන බැංකුවත්, මාලදිවයිනේ රජයත් ගිවිසුමක් අත්සන් කළා ඒ රටේ දූපත්වල බලශක්ති ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ ප්‍රොජෙක්ට් එකට අදාල මාධ්‍ය නිවේදනයේ තිබුණාලු, ශ්‍රී ලංකාවේ කරන්න හදපු ව්‍යාපෘතියට තවත් රටක් විරෝධය දැක්වූ නිසා මේක මාලදිවයින එක්ක කරන්න සිද්ධ වුණ බව.
මෙවැනි සම්බන්ධතා මැද තමයි චීනය උතුර ගියේ. මේකෙන් පේන්නේ ණය අර්බුදයක හිර වූ ලංකාවේ කර උඩ නැගගෙන රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉන්දියාව සහ චීනය ගැටුමකට යන්න ඉඩ තියෙන බව.
එවැන්නක් මැද අපි විශේෂයෙන් කියන්න ඕනෑ ඔය රටවල් දෙකම එකයි කියලා අපි හිතන්නේ නෑ. චීනය අකාරුණික, දරුණු රටක් බව. ඒ වගේම ලෝකයේ ආර්ථික, සංස්කෘතික, ශ්‍රම, තාක්ෂණික වෙළඳපොළවල්වල වේගයෙන්ම නැගී එන ආර්ථිකය ඉන්දියාව බවත්, අනාගතයේ ඉනදියාව චීනය පහුකරනු ඇති බවත්, ඇමෙරිකාව ආදී අනෙක් බලවතුන් එක්ක හිතවත්කම තියෙන්නේ ඉන්දියාවට බවත්, ඉන්දියානු ශ්‍රී ලාංකික ඓතිහාසික බැඳීමක් තියෙන බවත්, අපි අනාගතවාදී වුණොත් ඉන්දියාව එක්ක හිත හොඳින් සිටීම වැදගත් බවත් මතක් කරන්නම ඕනෑ.