ලංකාවේ සාමූහිකත්වය වැනසූ හැටි, ලාංකිකයන් හුදු නරඹන්නන් කළ හැටි ආචාර්ය හරිනි කියාදෙයි!

ජාතික ජන බලවේගයේ විධායක සභික, ආචාර්ය හරිනි අමරසූරිය 2021 දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුවේදී කළ කතාව.

ජාතික ජන බලවේගය දෙදහස් දහනවයේ දී ආරම්භ කළ ගමනේ තීරණාත්මක සහ වැදගත් සන්ධිස්ථානයකට අද පැමිණ සිටිනවා. කොවිඩ් බාධක මැද අපි කළ වැඩවල ප්‍රතිඵලයක් හැටියට අපේ නායකත්වයත්, විධායක සභාවත් හඳුන්වා දෙන්න අපට පුළුවන් වුණා. අප අතර තිබුණු සංවාද, ප්‍රතිපත්ති සකස් කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම මගින් මෙතැනට ඇවිත් සිටිනවා. අපව ප්‍රශ්න කළ අය, අපව විවේචනය කළ අය බොහොමයක් අද මෙතැන ඉන්නවා. තවත් බොහෝ පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අප හා එක් වී සිටින බව මම දන්නවා. 

ජාතික ජන බලවේගය කියන්නේ, සංවාද හරහා නොනැවැතෙන ක්‍රියාවලියක් තුළ ඉදිරියට යන සංවිධානයක්. අද වාගේ දවසක ජාතික ජන බලවේගය ගොඩනැඟීමට ප්‍රධාන හේතුව අපේ රට සහ අපේ ජීවිත මෙයට වඩා හොඳ ලස්සන, පහසු තැනක තැබීමටයි. එකිනෙකා පීඩනයට පත් කරනවා වෙනුවට එකිනෙකා රැකබලා ගන්නා, ස්වභාවධර්මය විනාශ කරනවා වෙනුවට පෝෂණය කරන, සංස්කෘතිකව දියුණු මානුෂීය සමාජයක් අපට හිමි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම ලෝකයක් හදන්න වැඩපිළිවෙළක්, කැප වීමක්, දේශපාලන නායකත්වයක් සහ භාවිතාවක් අපට තියෙනවා. මේ වාගේම ගොඩක් පුද්ගලයන් සහ සංවිධාන තිබෙන බවත් අපි දන්නවා. ඒ හැමටම එකතු වෙන්න වේදිකාවක් තමයි, අපි ගොඩනඟා තිබෙන්නේ. 

අද අපේ රට තිබෙන තැනට ඇදදැමූ ප්‍රධාන හේතුව අප අතර තිබිය යුතු බැඳීම්, සහයෝගය, සාමුහිකත්වය විනාශ කළ එකයි. එය ඉබේ සිදු වුණේ නැහැ. විනාශ කළා. සමාජයක් නැති බව ඉගැන්නුවා. තරගකාරිත්වයෙන් පිරුණු ආත්මාර්ථකාමී පුද්ගලවාදියෙක් සමාජයට හඳුන්වා දුන්නා. අප මුහුණ දෙන අර්බුද සාමාන්‍ය හෝ ස්වාභාවික බව අපට ඒත්තු ගැන්වූවා. මේ නිසා මේ තත්වයන් වෙනස් කරන්න බැරි බව අපට කීවා. එසේත් නැත්නම්, අප මුහුණ දෙන ගැටලු පුද්ගල දුර්වලතා හැටියට කිව්වා. ඒ නිසා තනි තනිව විසඳා ගන්නා හැටියට අපට බල කර දේශපාලනයෙන් අපව ඈත් කළා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ අප හුදෙක් නරඹන්නන් බවට පත් කළා. බලාපොරොත්තුව සහ සහකම්පනය වෙනුවට වෛරය සහ උදාසීන බව ඇති කළා. 

අපට අන්තිමට සිදු වුණේ, පාලකයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් පොහොසත් වී අප හැම අතින්ම දුප්පත් වීමයි. මෙය වෙනස් කළ යුතුයි. සාමුහිකත්වය සහ පොදු බව කියන්නේ, පුද්ගල නිදහස සහ අනන්‍යතා දිය කිරීම නොවෙයි. පුද්ගල නිදහස රැකගනිමින්, සාමුහිකත්වය අගය කරන සමාජයක් හදන්න පුළුවන්. නමුත්, අද තියෙන්නේ, සමාජයත්, පුද්ගලයාත් අතර තුලනතාවක් නොවෙයි. අද තිබෙන වටිනාකම් සහ භාවිතාවලින් අපට කියන්නේ, පුද්ගල අරමුණු සහ තනි ගමනක් තිබෙන බවයි. එයින් විනාශ වෙලා තියෙන්නේ, අපේ බැඳීම්, සම්බන්ධතා සහ අපේ පවුල් මෙන්ම පොදු යහපත. එයින් යට කර තිබෙන්නේ, සෑම මිනිසකුම සොයන අන්තර් සම්බන්ධතායි. පොදු යහපත වෙනුවෙන් තිබෙන කැප කිරීම, සේවය කිරීමට තිබෙන උනන්දුව විනාශ කරලා තියෙනවා. තරගකාරිත්වය වාගේම මානුෂීය ගුණාංග අතර තුලනයක් අවශ්‍යයි. එම තුලනය නැති වීම නිසා ප්‍රශ්නවලට විසැඳුම් සොයන්න පුද්ගලයන් ලෙස පොළඹවා තිබෙනවා. නමුත්, අප අද මුහුණ දෙන්නේ පොදු සහ ව්‍යුහාත්මක ප්‍රශ්නවලටයි. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය මේ සියලු දේ තුළම තිබෙන්නේ ව්‍යුහාත්මක පොදු ප්‍රශ්න. මේ නිසා මේ තත්වයන් වෙනස් කිරීමට ව්‍යුහාත්මක පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය කර ගත හැක්කේ, සාමුහිකව මිස තනි තනිව නොවෙයි. අපව හිර කර තිබෙන මිථ්‍යාවන්, ආකල්ප, අවිද්‍යාත්මක අදහස් දැන් ප්‍රතික්‍ෂේප කරමින් යන්නේ. 

මුළු ලෝකයමත් අලුත් මාවතක් සොයනවා. අලුත් මාවතක් විවෘතයි. කොවිඩ් අර්බුදයෙන් පරිවර්තනය පිළිබඳ පාඩම් කිහිපයක් අපට ඉගැන්වූවා. ලෝකයම දැන් ඒ පරිවර්තනය වෙනුවෙන් පෙළැඹී සිටිනවා. ඒ අලුත් ලෝකය අප අභියස ඉදි වෙමින් තිබෙනවා කියන සුබ ආරංචිය අද උදේ අහන්න ලැබුණා. චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය අනුව ශිෂ්‍ය නායකයෙක් වෙලා සිටි ගේබි්‍රයෙල් වොරිඩ් ජයග්‍රහණය කර ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටිනවා. වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට එය විශාල සංඥාවක් කියලා මම හිතනවා. අපට මේ ලෝකය පරිවර්තනය කරන්න පුළුවන් කියන විශ්වාසය මතයි, ජාතික ජන බලවේගය ගොඩනැඟුවේ.

එන්න ! අපි වැඩ කරමු; වැඩ භාර ගනිමු; අපි කැප වෙමු; අලුත් ලෝකයක්, අදට වඩා ලස්සන ලෝකයක් හදන්න එකතු වෙමු; එය ගොඩනඟමු.