ඇමරිකාව ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට සම්බාධක පැනවූයේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඇතුළුව රටවල් කිහිපයක ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන් දොළොස්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට පසුගිය දා පියවර ගත්තේ ය. 

මෙය සිදු කෙරුණේ 2021 මානව හිමිකම් දිනය අළලා ය.

එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පුද්ගලයින් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කළබව හෝ සැලකිය යුතු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බවට ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව යි.

කවුද මේ නිලධාරීන්? 

රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අදාල සම්බාධකවලට යටත්කර ඇති ශ්‍රී ලාංකිකයින් වන්නේ චන්දන හෙට්ටිආරච්චි සහ සුනිල් රත්නායක යන දෙදෙනා ය. 

චන්දන හෙට්ටිආරච්චි

චන්දන හෙට්ටිආරච්චි නාවික බුද්ධි නිලධාරියෙකි. එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව 2008 වසරේ සිට 2009 දක්වා කාලය තුළ පැහැරගෙන ගිය තරුණයින් එකොළොස්දෙනා අතරින් අවම වශයෙන් අටදෙනෙකුගේ “නිදහස සඳහා ඇති අයිතිය බරපතල ලෙස අහිමි කිරීම” යන මානව හිමිකම් උල්ලංඝනය සඳහා සම්බන්ධවීම හේතුවෙන් ඔහුට එරෙහිව සම්බාධක පනවා ඇත. 

සුනිල් රත්නායක

සුනිල් රත්නායක ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන්වරයෙකි. 2000 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී දෙමළ ගම්වාසීන් අවම වශයෙන් අටදෙනෙකු “අධිකරණ නඩු විභාගයකට ලක්නොකර ඝාතනයකර දැමීම” යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සඳහා ඔහුගේ සම්බන්ධය හේතුවෙන් ඔහු සම්බාධකවලට යටත්කළ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දරුවන් තිදෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙන් මරණ දණ්ඩනයට යටත් කර සිටි සුනිල් රත්නායක හමුදා සැරයන්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව යටතේ පසුව නිදහස් කරනු ලැබීය.

සුනිල් රත්නායක සම්බන්ධයෙන් පැවති නඩු විභාගය දශක ගණනාවක් පුරා පැවති ගැටුම්වලට අදාළ මානව හිමිකම් නඩුකර අතරින් දණ්ඩ විනිශ්චය ලබා දුන් දුලභ අවස්ථාවක් ලෙස හැඳින්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, ඔහුට ජනාධිපති සමාව ලබා දීම තුළින් වින්දිතයන් අවමානයට ලක් කර ඇති බවට පැවසිය.

එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම්

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති විදේශ නිලධාරීන් දොළොස්දෙනෙකු එක්සත් ජනපදය විසින් 2021 වසර සඳහා මෙසේ නම්කෙරුණේ, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ මෙහෙයුම් සහ සම්බන්ධිත වැඩසටහන් පනතේ ප්‍රතිපාදනවලට අනුව ය. 

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාල පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් වන බව යි.

“මානව හිමිකම් තම විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රයකොට ගෙන කටයුතු කිරීමට අධිෂ්ඨානකර ගෙන සිටින බව” එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ. බ්ලින්කන් කියා සිටියේ ය.

“මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, වගවීම හා යහපාලනය ප්‍රවර්ධනය කිරීමටත්, අපගේ මිත්‍ර පාර්ශව හා හවුල්කරුවන් මෙන්ම සිවිල් සාමාජය සමගින් තම හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අමෙරිකාව බලාපොරොත්තු වන බව” ද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.

සම්බාධකවලට යටත් වන සෙසු නිලධාරීන් කවුද?

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කළ පරිදි සම්බාධකවලට යටත් වන සෙසු පුද්ගලයින් මෙසේ ය: 

  • අබෙල් කන්ඩිහෝ – උගන්ඩා මහජන ආරක්ෂක බලකායේ මේජර් ජෙනරාල්වරයෙකු සහ හමුදා බුද්ධි ප්‍රධානියා වෙයි. බරපතල මානව හිමිකම් උල්ලංඝනයක්, විශේෂයෙන්ම වධහිංසා පැමිණවීම, සඳහා ඔහුගේ ඇති සම්බන්ධතාවය හේතුවෙන් ඔහුට සම්බාධක පනවා තිබේ 
  • ෂෝරට් සාකීර්, අර්කන් තුනියාස්, හු ලියාන්හේ, සහ චෙන් මින්ගුඕ – චීනයේ ෂින්ජියැන්ග්හි චීන මහජන පොලීසියේ වත්මන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය. බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ප්‍රධානකොටම ෂින්ජියැන්ග්හි උයිගර් මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළුතර ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, සම්බන්ධයෙන් ඔවුන්ට සම්බාධක පනවා තිබේ.
  • ඉහාර් කෙන්යුක් සහ යෝහේනි ෂපෙට්ස්කා – බෙලාරුස්හි මින්ස්ක් නුවර කුප්‍රකට අක්‍රෙස්ට්සිනා රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන් වේ. බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම, විශේෂයෙන්ම 2020 අගෝස්තු 9 වැනිදා පැවති වංචනික ජනාධිපතිවරණයෙන් පසු රැඳවියන්ට වධහිංසා පැමිණවීම හෝ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම්වලට ලක් කිරීම මත ඔවුන් වෙත සම්බාධක පැනවී ඇත.
  • බෙනාසීර් අහමඩ්, සහ මිෆ්තා උද්දීන් අහමඩ් – බංගලාදේශ පොලිසියේ වත්මන් පොලිස්පති සහ බංග්ලාදේශයේ හදිසි ක්‍රියාකාරී බලඇණියේ (RAB) හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා, සහ හත්වන RAB ඒකකයේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ය. බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම, විස්තර වශයෙන් සඳහන් කළහොත් 2018 මැයි මාසයේ දී බංගලාදේශයේ කොක්ස් බසාර් දිස්ත්‍රික්කයේ ටෙක්නාෆ්හි, ටෙක්නාෆ් නාගරික මන්ත්‍රී එක්රමුල් හක් නීතිවිරෝධී ලෙස ඝාතනයකර දැමීම, සම්බන්ධයෙන් ඔවුන් මෙම ලැයිස්තුවට ඇතුළත්කර ඇත.
  • මාරියෝ ප්ලුටාර්කෝ මාරින් ටොරෙස් – මෙක්සිකෝවේ පුඑබ්ලෝහි හිටපු ආණ්ඩුකාරවරයෙකි. බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම, විශේෂයෙන් 2005 දී මාධ්‍යවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ලිඩියා කචෝ අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම, යන චෝදනා මත මානව හිමිකම් උල්ලංඝනයකරන්නෙකු ලෙස නම්කර තිබේ.

මීට අමතරව, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යයාලය රටවල් කිහිපයක් පුරා බරපතල මානව හිමිකම් උල්ලංඝනය සහ මර්දන භූමිකාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන් පහළොස් දෙනෙකුට සහ ආයතන දහයකට එරෙහිව ද සම්බාධක පනවා ඇතැ යි එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

චන්දන හෙට්ටිආරච්චි

BBC සිංහල