රණ විරු ගාය ඉවරයි. ගල් බෝරෙනුත් රණ විරුවන්ට කෙළින හැටි මෙන්න.

කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදිමින් සිටියදී රට වෙනුවෙන් දිවිපුදා රණක්ෂයට පත් රණවිරුවන් ගේ පවුල් සඳහා රණවිරු සේවා අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා එක්ව ලබා දුන් ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රණවිරු නිවාස, අසල ගල් වලක ගල් බෝර දැමීම හේතුවෙන් ඉරිතලා පුපුරා අබලන්ව ගොස් ඇති බව රණ විරු පවුල් පවසති.

නිවසක් නොමැතිව විවිධ ස්ථාන වල කුලියට හා නිල නිවස්න තුල සිය දරුවන් ද සමග ජීවත් වු යුද්දයෙන් අතුරුදන් හා මියගිය ත්‍රිවිධ හමුදා පොලිස් රණ විරුවන්ගේ පවුල් සදහා මෙම නිවාස ඉදිකර ලබා දීමට රණවිරු සේවා අධිකාරිය නිවාස සංවර්ධන අධිකාරිය හා එක්ව කටයුතු කර තිබුණි.

රණවිරු සේවා අධිකාරිය හා කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ දී මෙම නිවාස ඉදි කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෙල්ගම ප්‍රදේශයෙන් ඉඩම් වෙන් කරවා ‍ගෙන ඇති අතර 2017 වසරේ දී නිවාස අධිකාරියේ අධීක්ෂණය යටතේ නිවැසියන්ගේ ද මුල්‍ය දායකත්වයෙන් රණවිරු සේවා අධිකාරිය හරහා ලබා ගත් ශ්‍රමයද උපයෝගී කර ගනිමින් මෙම නිවාස ඉදිකර 2019 වසරේ දී නිවැසියන් වෙත භාර දී තිබුණි.

ඉතා හොද තත්වයෙන් ඉදිකල මෙම නිවාස වසර තුනක් යාමටත් පෙර ඒවායේ ඇතුලත හා පිටත බිත්ති ඉරිතලා යාමට පටන් ගත් බවත් ඊට ප්‍රධානම හේතුව වුයේ දෛනිකව අසල ගල් වලක බෝර දැමීම නිසාවෙන් හට ගන්නා අධික දෙදුරුම බව රණවිරු ගම්මානයේ ජනයා පවසති.

මේ පිළිබදව අදහස් පල කල නගර හා කඩවත් රණවිරු සංසදයේ ලේකම් ඒ. ඩබ්ලියු. පී. ප්‍රීතී ලංකා මෙම නිවාස ඉදි කිරීමේ දී කිසිදු ගැටලුවක් පැමිණියේ නැහැ ඒවා හොදම තත්වයෙන් ඉදිකලා තාක්ෂණික නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ තමයි සියල්ල කලේ දැන් මුළු ගෙදරම බිත්ති පුපුරලා කොයි වෙලේ බිමට කඩා වැටේද දන්නෙ නැහැ ඒ තරමටම ඉරිතලා ගිහින් දවසකට පස් හය වතාවක් ගල් බෝර දානවා මේ කලුගල කඩන්න ගල් වලවල් පහක් තියෙනවා ඒ හැම එකකින්ම ගල් බෝර දානකොට අපේ ගෙවල් දෙදරලා යනවා ඒ දෙදුරුමට තමයි බිත්ති ඉරිතලා යන්නේ මේ ගැන දිසාපති තුමා ප්‍රාදේශීය ලේකම් තුමා රණවිරු සේවා අධිකාරියේ පලාත් අධ්‍යක්ෂක තුමා ග්‍රාම නිලධාරිතුමිය හැමෝටම කීවා ගමේ අය අස්සන් කල ලිපියක් සියලු දෙනාටම භාර දුන්නා කාගෙන්වත් විසදුමක් ලැබුණෙ නැහැ යැයි පැවැසුවාය.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව මියගිය රණවිරුවන්ගේ පවුල් සදහා නිවාස ඉදි කිරීමට නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පර්චස් 20 බැගින් ඉඩම් ලබා දී නිවාස සාදා මෙම නිවැසියන් වෙත ප්‍රධානය කර තිබේ. ගල් බෝරවල දෙදුරුම නිසා අසල ග්‍රාම නිලධාරී කාර්යාලයේ මෙන්ම අවට නිවසක ද බිත්ති ඉරිතලා ගොස් ඇති බව ගම්මු පවසයි. ප්‍රාදේශීය ලේකම්වරයා හා නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගිය සතියේ දිනක මෙම පිපිරුම් නිසා ඇතිව පවතින ඉරිතලා යාම් දැක බලා ගෙන ගිය බව ද ඔවුන් පවසයි. එහෙත් කිසිවකුත් තවමත් මේ පීඩාවට විසදුමක් ලබා දී නැති බව ඔවුන් කියයි.

“මගේ සැමියා නැතිවුණේ 1997 වසරේ දි රණවිරු පවුලක් විදිහට දරුවෝ දෙන්නෙක් ඉන්න මට මේ ඉඩම දීලා නිවාස හදලා දුන්නා අපි මෙතැනට එන්න කලින් තමා ගල්වල තිබ්බේ ගල් වල පරණයි එතකොට මේවා කැලේ ගල් බෝර දැම්මා කියලා ප්‍රශ්ණයක් නැහැ. නමුත් දැන් ගල් බෝර දානකොට ගෙදර දෙදරනවා. බිත්ති පුපුරලා යනවා. ඉන්න අමාරුයි. දැනටම පස් හය පොලක් ගෙදර පුපුරලා අපිට මේ ගෙවල් මෙතැන හදලා දෙන්න කලින් නිලධාරීන් හිතන්න ඕන මිනිස්සුන්ට මෙතැන ඉන්න පුළුවන් ද කියලා යැයි රණවිරු බිරිදක් වන වසන්ත රාජා පිල්ලෙ නලිනි පැවැසුවාය.

සිය නිවාසයන් හි බිත්ති දිනෙන් දින වේගයෙන් ඉරිතලා යාම සම්බන්ධව පොදුවේ අස්සන් තැබු ලිපියක් රණවිරු සේවා අධිකාරිය හා දිසාපතිවරයා වෙත යොමු කිරිමට තම ගමේ සමිතිය කටයුතු කල බවත් දිසාපතිතුමන් මේ පිළිබදව සොයා බලන්නැයි පවසා භූ විද්‍යා නිලධාරින් වෙත දන්වා යැවීමෙන් පසුව භූ විද්‍යා නිලධාරින් පැමිණ නිවාස වල ඉරිතැලුම් පිළිබදව සොයා බලා ගිය බවයි. වව්නියාවේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මියගිය පොලිස් රණවිරුවකගේ බිරිදක වන විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි කේ. පී සන්ධ්‍යා කාන්ති පැවැසුවාය

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විසින් 2005 මාර්තු මස තුන්වන දින නිකුත් කරනු ලැබු 4/10/චක්‍රලේඛ/2005/03 දරණ චක්‍රලේඛය ප්‍රාකාරව රණවිරු පවුල් සදහා ලබා දුන් මෙම ඉඩම් සදහා වටිනාකමින් සියයට 10 ක් 2015 වසරේ ‍අය කර ගැනීමට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර ඇත්තේ රණවිරු පවුල් සඳහා නිදහස් දීමනා බලපත්‍ර ලබා දීමට යැයි කියමිනි. කෙසේ වෙතත් ගල් බෝර නිසා ඉරිතලා බිමට වැටෙන්නට යන තමන්ගේ නිවාස ගැටලුව මෙන්ම  තමන්ගෙන් අය කරගත් මුදලට අදාල දීමනා පත්‍රය හෝ ලබා දීමට තවමත් කටයුතු කර නැති බව ද මෙම පිරිස කියා සිටින්නේය. 

මගේ පුතා ක්‍රියාන්විතයේ යෙදී සිටියදී මිය ගියා රණවිරු මවක් ලෙස මටත් ගෙයක් ලැබුණා නමුත් සල්ලි බැන්දත් ඔප්පුව නම් ලැබුණෙ නැහැ. අනිත් පැත්තෙන් ගල් බෝර දානකොට ගේ දෙදරලා යනවා. බෝම්බ දානවා වගේ විශාල ශබ්දයක් එන්නෙ මගේ ගෙදර බිත්ති තැන් කිහිපයක් ඉරිතලා ගිහින් තියෙනවා ගල්වල අපි එන්න ඉස්සර ඉදන් තිබ්බා ගල් වෙඩි දානවා නම් වෙනදා දාන වෙඩි බෙහෙත් ප්‍රමාණය අඩු කරලා දාන්න කියලා නිලධාරීන් ගල්වල කරන අයට උපදෙස් දෙනවා නම් මේ දෙදුරුම අඩු කර ගන්න පුළුවන් ඒ වගේම අපිට වෙලා තියෙන හානිය ගැන බලලා සාධාරණයක් ඉටු කරනවා නම් වඩා හොද යැයි නගර හා කඩවත් රණවිරු සංසදයේ සභාපති පී. එම්. සුගුණාවති පැවැසුවාය.

වෙල්ගම් වෙහෙර ගල් වල වසර 20 කට වඩා පැරණිය. එහි කලු ගල කැඩීම සදහා පුද්ගලයන් හත් දෙනෙකු හට නීත්‍යානුකූල බලපත්‍ර හිමිව තිබේ. කළු ගල් කැඩීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්්‍යාංශයෙන් බලපත්‍රයක් ලබා ගන්නෙ නම් මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය හා පුපුරණ ද්‍රව්‍ය පාලක ඇතුළු ආයතන හතක නිර්දේශ හා අනුමැතිය හිමිවිය යුතු වේ. 

එම ආයතන සදහා ගෙවිය යුතු ගාස්තු ගෙවීමෙන් පසුව ගල් කැඩීමට බලපත්‍රය ලබා ගත්තද කියුබ් 1000 ක බලපත්‍රයක් සදහා කියුබ් එකකට රුපියල් 250 ක් රාජ්‍ය භාගය ලෙස ගෙවිය යුතුවේ. ගල් බෝර දැමීම ද හිතුමනාපයට කල නොහැකි බැව් වෙල්ගම් වෙහෙර ගල් වලෙහි බලපත්‍රධාරියෝ කියති. අඩි අටක් දක්වා උපරිමයකට ගල සිදුරු කල හැකි වුවත් ඊට එහා සිදුරු කීරීමට අනුමැතිය හිමි නොවේ. වෙඩි බෙහෙත් අවැසි ප්‍රමාණයට වඩා ලබා දෙන්නේ ද නැත. උදෑසන අටෙහි සිට පස්වරු පහ දක්වා වෙඩි බෙහෙත් යොදා බෝර දැමිය හැකි වේ. වෙල්ගම් වෙහෙර ගල් වල තුල ද මෙම නියමයන් හා කොන්දේසී සියල්ල සපුරා බෝර දැමීම කරනු ලබන බව ගල් වලෙහි බලපත්‍රධාරින් පවසන්නේ රණවිරු ගමෙන් එල්ලන වන චෝදනාවන් ට පිළිතුරක් ලෙසිනි. 

ලක්මාල් බදුගේ – ත්‍රිකුණාමලය – ejournalist.lk