විමල්ගේ පක්ෂයේ ස්‍ත්‍රීවාදය – චින්තනයේ සීමාව

ගීතිකා ධර්මසිංහ

පෙරේදා ස්ත්‍රීවාදය පිලිබදව සාකච්චාවක් විය. එය සංවිධානය කර තිබුනේ විමල් වීරවංශගේ පක්ෂයේ තරුණ සංගමය ලෙස පෙනී සිටිනා “අනාගතය අපි” විසිනි. එහිදී ලංකා බණ්ඩාරණායක හා ජාතික නිදහස් පෙරමුණ හා ‘අනාගතය අපි’ නියෝජනය කරන ඉසුරු ප්‍රසංග අදහස් දැක් වූ අතර එම කඳවුරේම වූ වින්දන විදුර කුමාර සාකච්චාව මෙහෙය වීය.

සංවාදය මුලිකව සංවිධානය වී තිබු කතිකා අක්ෂයන් වුයේ ස්ත්‍රියගේ පැවැත්ම පිළිබඳව තීරණ ගැනීමට සංස්කෘතියට අයිතියක් ඇත සහ ඊට ප්‍රතිවිරුද්ධව ඇයගේ නිදහස, අයිතීන් හා කැමැත්ත වැනි යම් විශ්වීය අගනාකම් මත පිහිටවූ පැවැත්මක් ඇත යන්නයි.

ඉසුරු ප්‍රසංග සිය අදහස් දැක්වීමේදී එක විටම එකිනෙකට පරස්පර අදහස් දෙකක් මත පිහිටා සිට සිය අදහස් ගොනු කරනු ලැබූ අතර ඒවා එකිනෙකට ගැලපෙන බවක් ඔහුට ඒත්තු ගොස් තුබුණි. ඉන් එකක් නම් සංස්කෘතිය පිළිබඳව නිර්ණායකවලට එහා ගිය විශ්වීය අගනාකම් සමුහයක් මනුෂ්‍යයාට ඇති බවත් සංස්කෘතික වටිනාකම් ඊට දෙවෙනි බවත්ය. අනෙක නම් ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය දෙන ලද තත්වයක් බවත් ඒ නිසා එයට අපි කැමති උවද අකමැති උවද සමාජය සංවිධානය කිරීමේදී එය මුලිකත්වය දරා සිටිනා බවත්ය. සිංහල බෞද්ධ සංස්කෘතියේ අවාසනාවට ඉසුරුට මෙහි ඇති පරස්පරය නොපෙනෙයි. එනම් සංස්කෘතියක සුවිශේෂත්වය මුලික කරන විටම විශ්වීය අගනාකම් මග හැරීමට සිදු වීමයි.

එම පරස්පරය පෙන්වා දීම අවශ්‍යය වන්නේ කාරණා දෙකක් වෙනුවෙනි. එම පරස්පරය විසින් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරනා ජාතිකවාදීන්ගේ ලෝක දැක්මෙහි සීමාව සලකුණු කිරීමට අපට අවස්තාව ලැබෙයි. අනෙක නම් අපට යම් යම් සංස්කෘතීන්වල ඇති අගතීන්වලට විවේචනයක් ගෙන ඒම සඳහා අවශ්‍යය වන දොරටුවක් ඉන් විවෘත කරගැනීමට ඉඩ ලැබෙයි.

මෙම අදහසෙහි ඇති අර්බුදය මුලිකව මතු වුයේ ඔහු විසින් මුස්ලිම් සංස්කෘතිය හා එහි අන්තවාදී ප්‍රවණතා පිළිබඳව කරන ලද විවේචනයේදීය. එසේම ලිබරල් ඇගැයුම් දරාගත් වාමාංශික පිරිස් මුස්ලිම් අන්තවාදයට කිසිඳු විවේචනයක් නොකරන බවත් ඔවුන් මුලිකව විවේචනය කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය බවත් ඔහු පැවසීය.

මුස්ලිම් සංස්කෘතියෙහි ස්ත්‍රිය පිළිබඳව ඇති අගතීන් සහ බහු සංස්කෘතික සාමුහික පැවැත්මකට අහිතකර සමහර විශ්වාස සහ අදහස්වලට විවේචනයක් ගෙන ඒමට බෞද්ධ සංස්කෘතියක් මුලික කොටගත් සමාජ සමස්තයක් පිළිබඳව උපකල්පනය කිරීමෙන් නොහැකි බව ඉසුරු වැනි වාර්ගික ජාතිකවාදීන්ගේ කඳවුරට මග හැරෙයි. කෙටියෙන් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතිය මුල් කොටගෙන සමාජය සංවිධානය කිරීමට හිතන යමෙක්ට අනෙක් ජාතීන් සිය ආගම, ජාතිය මත සමාජය සංවිධානය කරන විට ඊට එරෙහිවීමට කිසිඳු තාර්කික පදනමක් නොමැත. උදාහරණයක් ලෙස ‘සිංහල බෞද්ධ පමණක්’ පාසල් පවත්වාගෙන යන සමාජයකට මුස්ලිම් මද්ද්‍රසා පාසල් වලට එරෙහිවීමට තාර්කික හෝ ආචාරධාර්මික පදනමක් නොමැත.

එනම් මුස්ලිම් සංස්කෘතිය මුලික කොට ගන්නා යමෙක් එහි ඇති ගුණ ගායනා කරන්නේ සහ ඒ වෙනුවෙන් සමාජය සංවිධානය කරන්නේ එම සංස්කෘතිය උසස් බව සලකාය. ඒ නිසා අනෙකාගේ සංස්කෘතියට එරෙහිව විවේචනයක් මතු කිරීමට ඒ තුල පවතින අගතීන් මතු කිරීමට උසස් – පහත් සංස්කෘති හෝ මහා ජාතියේ- සුළුතරයේ සංස්කෘතිය යනුවෙන් ඇති බෙදුම් ආස්ථාන හරහා නොහැකි බව අවබෝධ කරගැනීමට අවශ්‍යය වෙයි. එය කල හැක්කේ අවම වශයෙන් පොදු අවකාශය විශ්වීය අගනාකම් වන සමානාත්මතාවය හා නිදහස මත සංවිධානය වී තිබුණහොත් පමණකි.

ඒ අනුව අපගේ යෝජනාව වන්නේ මුස්ලිම් ප්‍රජාව විසින් සිය ස්ත්‍රිය පිළිබඳව, සිය පැවැත්ම පිළිබඳව දක්වන සමහර අන්තවාදී අදහස් සමස්ත බහු සංස්කෘතික සමාජයක සශ්‍රීකත්වයට එතරම් හිතකර නොවන්නේ වුවද, එයට විවේචනයක් දැක්විය හැක්කේ ‘අපගේ’ සංස්කෘතියෙන් එය දෙස බලා නොව ඊට පිටස්තර ඇගයුම් පද්ධතියක් පරිකල්පනය කිරීමෙනි. විශ්වීය අගනාකම් සමුහයක් සරණ යමිනි. ඒ නිසා යම් යම් සංස්කෘතීන් කෙතරම් උසස්ද ඊට සාපේක්ෂව අනෙක් සංස්කෘතීන් පහත්ද යන්න කීමෙන් කිසිවෙකුටත් පලක් ඇත්තේ නැත. මන්ද තමන්ගේ සංස්කෘතිය තමන්ට උසස් නිසාවෙනි.

කෙසේ වුවත් නිදහස හා සමානාත්මතාවය පිළිබඳව අපගේ උපුටා ගැනීම් බටහිර-යුරෝපීය නුතනත්වයට අදාළ යැයි කියමින් ජාතිකවාදී කඳවුර විසින් ඊට එරෙහිව සැක සංකා ඉදිරිපත් කරයි. එය එසේ නම් අපට යෝජනා කල හැක්කේ පෙරදිග අධ්‍යාත්මික සම්ප්‍රදායෙන් වත් මේ හරයන් උපුටා ගන්නා ලෙසයි. බුදුන්ගෙන් උපුටා ගන්න. ඔහුගේ සතා සිව්පාවා පවා කෙරෙහි වන මහා කරුණාව වැනි හරයන්ගෙන් සමානාත්මතාවය පිළිබඳව අර්ථයන් උපුටා ගන්න.