ඡන්දයක් වෙලාවේ මිනිසුන් බියගන්වා මිනීමැරූ කල්ලියක නායකයෙකුගෙන් තර්ජනයක්! ඉදිරි ඡන්දයේදී ජනතාව අතරට එනවාලු!

මැතිවරණයක් අස්සේ මිනීමැරුමක් කරපු මිනීමරු කල්ලියක නායකයෙකු, වසර ගණනක් රෝහලක ගත කළ කායික අශක්නුතාවයෙන් පෙළෙන්නෙකු මෙන්ම මතකය අහිමි වූ මානසික අශක්නුතාවයෙන් පෙළෙන්නෙකු වන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ‘ඉදිරි මැතිවරණයේදී ජනතාව අතරට එන බව’ කියමින් යුක්තිගරුක ජනතාවට බියක් ඇතිවෙන විදියේ කතාවක් කරලා.

ඒ නාරාහේන්පිට මංගලපාත් ප්‍රදේශයේ ඉදිකළ නිවාස කිහිපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙමින්.

ඒ විතරක් නෙවෙයි, රටේ ආයතනයක ප්‍රධානියෙක් වන ඔහු හුදෙක් ආයතන ප්‍රධානියෙක් නෙවෙයි පක්ෂයක දේශපාලනඥයෙක් බව හැඟවෙන විදියේ කතාවකුත් කරලා. සාමාන්‍යයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වැනි තනතුරකට පත් කළ යුත්තේ විෂය ගැන දැනුමක් ඇති නිලධාරියෙකු මිස දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී දේශපාලනඥයෙකු නෙවෙයි.

‘අපි කියන්නේ නෑ අපේ පක්ෂයේ හැලහැප්පීම් නෑ කියලා. හැළහැප්පීම් තියලා තමයි අපි ඉදිරියට යන්න ඕනෑ. අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුනා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ.

ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ.

ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ලඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ.

මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න.

අපි මේ රටේ තියන තත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට දෙන්න ද ආයෙ. එහෙම කරන්න බෑ”

මීට කලින් ඔහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිනීමැරුමට නායකත්වය දුන්නේ පළාත් පාලන මැතිවරණයකදී වීමත්, ඇතැම් විට ඊළඟට එන මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් වීමේ ඉඩක් තිබීමත් නිසා ඔහු මැතිවරණය අස්සේ ජනතාවට එන බව කීම දැවැන්ත බියක් ඇති වෙන කාරණයක්.

මොකද, ඔහු සම්බන්ධ වූ මිනීමැරුමට අදාල නඩුවේදී හෙළි වූ පරිදි එදා මිනීමැරුම පමණක් නොව මැතිවරණ දිනයේ උදෑසන සිට ආයුධ රැගත් කල්ලියක් සමග තැනින් තැන ගමන් කරමින් ඡන්දය භාවිතා කළ ඡන්දදායකයන් බිය ගන්වමින් කටයුතු කර තිබුණා.

පාතාලය මඬින බව එදත් කී, අදත් කියන පොලීසීය එයාලාගේ ‘විකෘති වූ යුක්තිය’ ඉටු කිරීමේ ක්‍රියාදාමය පාවිච්චි කරන්නේ පොඩි පොඩි පාතාල සෙබළුන්ට පමණක් වන නිසාත්, දුමින්ද සිල්වා වැනි අය හිර ගෙදරදී ‘චිකන් කෑලි’ කමින් රෝහලට වී සිට පසුව ජනාධිපති සමාව ලබා එළියට එන නිසාත් ඔහුගේ මේ කතාව ගැන බිය තවත් වඩවනවා.