ලංකාවේ සියලු ප්‍රශ්න විසඳෙයි! කබ්රාල්ගේ ලක්ෂ 4ක වැටුපට අමතරව විශ්‍රාම වැටුපත් ලැබෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 7ක් වටිනා විශ්‍රාම වැටුප් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්ට ගෙවීම සඳහා අනුමැතිය ලැබී ඇති බවත්, දැන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කලින් ධුර කාලයේ විශ්‍රාම වැටුපත් ඒ අතර තිබෙන බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා තියෙනවා.

ඒ අනුව බලයේ සිටින මහබැංකු අධිපතිවරයෙක්, ඒ තනතුරටම විශ්‍රාම වැටුපක් ගන්නා අපූරු අවස්ථාවක් දැන් උදා වෙලා. මේක සමහරවිට රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක් විසඳෙන දෙයක් බවට පත් වේවි.

ටයිම්ස් පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනී නාමිණී විජේදාස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලාශ්‍ර ඇසුරෙන් එම පුවත ලියා තිබුණා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් ලැබූ වැටුපෙන් සීයට 70ක් ලැබෙනු ඇති. දැනට ඔහු ලබන රුපියල් ලක්ෂ හතරක වැටුපට අමතරව ඒ. සමහරවිට දෙවැනි වතාවේ විශ්‍රාම ගියාම ඒකෙනුත් සීයට 70ක් විශ්‍රාම වැටුපක් ලැබෙනු ඇති.

මේ විදියට හිටපු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විශ්‍රාම වැටුප් ලබා නොදෙනු ඇති.

මහ බැංකුවට 1998 අවුරුද්දෙන් පසු බැඳුණ අයට විශ්‍රාම වැටුප් පහසුකම් හිමිව තිබුණේ නෑ. ඒක යම් කෙනෙකු වෙනස් කරනවා නම් ඒක හිතා ගන්න පුළුවන්. මොකද යම් ආයතයකට බැඳිලා අවුරුදු 30ක් 40ක් සේවය කරපු කෙනෙකුට විශ්‍රාම සැලසුමක් දෙන එක මානුෂීයයි.

ඒ විදියට මහ බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කරමින් උසස්වීම් ලබා ඉහළ ආ කෙනෙක් කෙනෙක් මහ බැංකු අධිපති වුණත්, නැතත් විශ්‍රාම වැටුප ලැබෙන එක වෙනම කාරණයක්.

එහෙත් පිටින් ගෙනැත් දාන මහබැංකු අධිපතිවරුන් ඒ තනතුරේ සේවය කරන්නේ යම් සීමිත කාලයක්. බොහෝ විට අවුරුදු පහක්, හයක් වාගේ. උදාහරණයක් විදියට හිටපු මහ බැංකු අධිපති ඩී.ඩබ්ලිව්. ලක්ෂ්මන් අවුරුදු දෙකක් විතරක් මහ බැංකු අධිපති විදියට ඉඳලා විශාල විශ්‍රාම වැටුපක් ලබන්න මේ ක්‍රමයෙන් ඉඩ ලැබෙනවා.

මේක පූර්වාදර්ශයක් වුණොත් දේශපාලන වුවමනා මත ලංකාවේ විවිධාකාර ආයතනවලට අවුරුද්දට, දෙකට දේශපාලන පත්වීම් ලබන අයටත් වැටුප් දෙන්න සිදු වේවි. එහෙම වුණොත් ඔය විවිධ ආණ්ඩුවලට කඩේ ගිහින් තනතුරෙන් තනතුරට පනින කාක්කන්ට ජීවිතේ සැඳෑ සමය වෙද්දී විශ්‍රාම වැටුප් තිහ හතළිහක් ලැබේවි.

ඒ විතරක් නෙවෙයි, මහ බැංකු අධිපතිකමට විශ්‍රාම වැටුප් ලැබෙන නිසා සවුත්තුම ආණ්ඩුවක් යටතේ නිතර නිතර ඒ තනතුරට හිතවතුන් පත් කරලා, මැරෙනතුරු  වැටුපක් ලබන්න ක්‍රමයක් හදනු ඇති.

හොඳම වැඩේ කියන්නේ අවුරුදු දෙකතුනක් විතරක් රස්සාවක් කරලා, තමන් මැරෙනතුරු අවුරුදු 40ක් 50ක් මහජන බදු මුදලින් පඩි කන්න චාන්ස් එකක් ලැබීම.

නාස්තිය ඇතුළු හේතු ගණනාවක් නිසා ආර්ථික කඩාවැටීමකට ලක් වූ රටකට මරු අප්පා.

මීට කලින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා තිබුණා 2006 ජුලි 1 වැනිදා ඉඳන් 2015 ජනවාරි 08 දක්වා මහ බැංකු අධිපති විදියට හටපු කාලයට අදාලව ඔහු විශ්‍රාම වැටුප් ඉල්ලා තිබුණු බව. ඔහු තර්ක කර තිබුණේ තමන්ගේ පත්වීම් ලිපියේ එවැන්නක් සඳහන් වූ බවත්, තනතුරෙන් ඉවත් වෙලා අවුරුදු 4ක් ගියත් ඒක නොලැබුණු බවත්.

කෙසේ වෙතත් පත්වීම් ලිපියේ තිබුණේ දැනට සේවයේ යෙදෙන අයට හිමි පහසුකම් ලැබෙන බව පමණක් පත්වීම් ලිපියේ සඳහන් වූ බවත් 1998 අවුරුද්දෙන් පසු පත් වූ අයට විශ්‍රාම වැටුප් හිමි නැති නිසා පත්වීම් ලිපිය අනුව වුව ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බවත්.

පසුගිය කාලයක් තිස්සේ මහ බැංකුවට විශ්‍රාම වැටුප ඉල්ලා ඔහු බලපෑම් කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන්.