බොළඳයි, මෝඩයි, අතාර්කිකයි, අතිවිශිෂ්ඨයි! Spiderman – No way home විචාරය

මෑත ඉතිහාසයේ හොලිවුඩ් චිත්‍රපටියක් සිනමාහලක බලලා ලබපු හොඳම අත්දැකීම අපි වින්දේ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් චිත්‍රපටියේදී.

ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ, සිනමාවෙන් ප්‍රඥාව ලබන්න විතරක් නෙවෙයි, ආස්වාදය ලබන්නත් ආස නං කොහොමහරි ෆිල්ම් හෝල් එකකට ගිහින් ලොකු ස්ක්‍රීන් එකක ‘ස්පයිඩර්මෑන් නෝ වේ හෝම්’ අත්දැකීම විඳින්න.

හැබැයි කලින්ම ෆිල්ම් එක බලලා, නොබලපු අයට ඒකේ වෙන දේවල් කියලා අනුන්ගෙ කතා රසය හානි කරන අයට අහු නොවී ඉන්න උපරිම ට්‍රයි කරන්න. ඒ කියන්නේ ස්පොයිලර්ස්වලට අහු නොවී ඉන්න ට්‍රයි කරන්න.’

ඒ කාලෙ ඉඳන් ස්පයිඩර්මෑන් ෆිල්ම් බලලා තියෙන අයට මේක ස්පොයිලර් නැතිව හෝල් එකේදී බලන්න ලැබුණොත් මාර ෆන් එකක් ගන්න ලැබේවි. ලෝකෙම මිනිස්සු විවිධ විනාසයන්ට මුහුණ දීලා කෙළවෙලා, ප්‍රශ්න පිට ප්‍රශ්නවලට ඉන්න වෙලාවක මේක ඇත්තටම වෙනම ලෝකෙකට හිත අරගෙන යන අත්දැකීමක්.

එකවරම ‘හූස්’ ගාලා හෝල් එකම හුස්ම ඇදලා, එකපාර හුස්ම නැවතිලා පුදුමයට පත් කරපු, දෙමළ ෆිල්ම් එකක රැජිණිකාන්ත් එන වෙලාවක වගේ විසිල් පවා වැදුණ දර්ශන තිබිච්ච චිත්‍රපටියක්.

‘බොළඳයි, මෝඩයි, අතාර්තිකයි, අවිද්‍යාත්මකයි ඒ නිසා අතිවිශිෂ්ඨයි!’ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් චිත්‍රපටිය බලලා ඉවර වුණාම ෆේස්බුක් සටහනක් තිබ්බා එහෙම කියලා. ඒත්, සමහරුන් හිතපු විදියට ඒකෙන් අදහස් කළේ මේ චිත්‍රපටිය වැඩක් නෑ, මෝඩයන්ගේ වැඩක් කියන එක නෙවෙයි.

මේ චිත්‍රපටිය ඇතුළේ ෆිල්ම් දෙකක් තියෙනවා. එකක් ස්පයිඩර්මෑන්ගේ එක. අනෙක පීටර් පාකර්ගේ එක. දෙවැනි එක මාර සංවේදී හොඳ කතාවක්.

ඒ කියන්නේ මේකේ චරිතවල හැසිරීමටයි තේමාවටයි යටි තේරුමක් තියෙනවා. අපි හිතනවාට වඩා ගැඹුරක් තියෙනවා. අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඒ ගැන. හැබැයි චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරවලදී කීව දේවල් හැරුණාම, තාම චිත්‍රපටිය නොබලපු ඔබේ කතා රසයට හානි වෙන කිසි දෙයක් චිත්‍රපටිය ඇතුළෙන් අපි කියන්නේ නෑ.

ඒ කියන්නේ ස්පොයිලර් නෑ.

කොමික් පොත් යුගයේ ලෝකයේ ජනප්‍රියම සුපර්හීරෝ චරිත තුන තමයි ස්පයිඩර්මෑන්, සුපර්මෑන්, බැට්මෑන්. මේ චරිත තුනම මෑත ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී ආයෙ ආයෙත් සිනමාවට නැගිලා තියෙනවා. විශේෂයෙන් 2000න් පස්සේ තුන්පාරක් ස්පයිඩර්මෑන් චරිතය සිනමාවට ආවා. වෙන වෙන නළුවන් ඒ චරිත රඟපෑවා. මෙතෙක් කාලයක් ඒ තුන අතර සම්බන්ධයක් තිබුණේ නෑ.

චිත්‍රපටිය ඇතුළේ කිසි දෙයක් නොකීවාට, පූර්ව ප්‍රචාරක පට අනුව ඔබ දන්නවා මීට කලින් ස්පයිඩර්මෑන් චිත්‍රපටිවල සිදු වූ සමහර සිදුවීම් මේ චිත්‍රපටියේදී දකින්න ලැබෙනවා. ‘මල්ටිවර්ස්’ කියන දියුණු විද්‍යාත්මක සංකල්පයත් මේ චිත්‍රපටියේදී පාවිච්චි කරනවා.

සාමාන්‍ය අයට අපභ්‍රංශ වුණත් නූතන භෞතික විද්‍යාවට අනුව මල්ටිවර්ස් කියලා එකක් ඇත්තටම විද්‍යාත්මකව තියෙන්න පුළුවන්.

ඒක අනිවාර්යයෙන් විශ්වාස කරන භෞතික විද්‍යාඥයන් ගොඩක් ඉන්නවා. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ක්වොන්ටම් මට්ටමේදී හෙවත් පරමාණුවටත් වඩා කුඩා මට්ටමේදී භෞතික විද්‍යාත්මකව දේවල් හැසිරෙන විදිය තේරුම් ගන්න අසීරු වීම.

ඕවා තේරුම් ගනිද්දී වගේම, විශ්වය ගැන සමහර සංකල්ප තේරුම් ගනිද්දී භෞතික විද්‍යාඥයන් මල්ටිවර්ස් සංකල්පය ගෙනාවා. සමාන්තර විශ්වයන්. ඒ කියන්නේ අපේ විශ්වය වගේ තවත් විශ්වයන් ගණනාවක් තියෙනවා. සමහරවිට ඒ විශ්වයන්ගේත් මේ ලෝකයම, මේ සිදුවීම්ම මීට වඩා වෙනස් විදියට සිද්ධ වෙන්න පුළුවන්.

කොහොමහරි මේ විද්‍යාත්මක සංකල්පය වැඩිපුරම පාවිච්චියට ගත්තේ විද්‍යා ප්‍රබන්ධ ඇතුළු කතාන්දර ලියන අය. මේ සුපිරි වීරයන්ගේ කතා ලියපු කොමික් බුක් රචකයන් හරිම උනන්දුවෙන් මේ මල්ටිවර්ස් සංකල්පය පාවිච්චි කළා. ඉතින්, මීට කලින් ස්පයිඩර්මෑන් චිත්‍රපටිවල සිදුවීම් සිද්ධවෙලා තියෙන්නේ සමාන්තර විශ්වයන්වල.

මේ සමාන්තර විශ්ව වගේ විද්‍යාත්මක සංකල්ප පාවිච්චි කරමින් හදපු ෆිල්ම් එකේ ප්ලොට් එක තමයි බොළඳයි කියලා අපි කිව්වේ. මේ ප්ලොට් එක ඇත්තටම සිද්ධවෙන්න ඉඩක් නෑ. ප්ලොට් එක බොළඳ එකක්. ඒත්, යම් දෙයක් බොළඳයි කියන්නේ නරකයි කියන එක නෙවෙයි. හැම මගුලක්ම යථාර්තවාදී, මහා බුද්ධිය අවුළුවන දේවල් වෙන්න ඕනෑ නැහැ. ක්‍රිස්ටෝපර් නෝලන්ගේ හෝ ස්පයික් ලීගේ හෝ මාටින් ස්කොසිසිගේ චිත්‍රපටි වගේ වෙන්න ඕනෑ නැහැනේ හැම එකක්ම. සිනමාව කියන්නෙත් එක විදියක විශ්වයක් තමයි. එක එක දේවල් තියෙනවා.

අපි කලිනුත් කීවා වගේ බොරු ප්‍රබුද්ධ වෙස් මූණු ගලවලා, හැම මගුලකම තාර්කිකභාවය හොයන්නට රටේ නැති ප්‍රශ්න අහලා ආතල් කඩාගන්න එපා. පොඩි ෆන් එකක් ගන්න. විශේෂයෙන් ප්‍රේක්ෂකයන් පිනවීම සඳහා සෝනි සහ ඩිස්නි කියන ලෝකෙ ලොකුම විනෝදාස්වාද සමාගම් දෙකක් මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ කෙළින්ම ෆෑන් සර්විස් එකට. ඇත්තටම සමහර දර්ශන ඉන්ටර්නෙට් එකේ, ෆේස්බුක් එකේ, රෙඩිට් එකේ සහ යූටියුබ් එකේ හෝ ඉස්කෝලෙ ගණං පීරියඩ් එකේ කම්මැලිකමට ගණං පොතේ පිටිපස්සේ ස්පයිඩර්මෑන් ෆෑන්ස්ලා ලියපු ෆැන්ටසි කතා ගොඩක් එකට අනපු සම්බෝලයක් වගෙයි මේ ෆිල්ම් එක.

රහ සම්බෝලයක් ඈ!

සම්මානලාභී සිනමාවේදී මාටින් ස්කොසීසි කිව්වා වගේ මාවල් ෆිල්ම් කියන්නේ දැං නිකං ඇඩ්වෙන්චර් පාර්ක් එකක් වගේ. ඔළුවට ආස්වාදය සපයන ඩොපමේන් කියන රසායනය විදගෙන විදගෙන යන තැනක් වගේ.

කොහොම නමුත් ඒ විනෝදාස්වාදය සපයන ස්පයිඩර්මෑන් ප්ලොට් එක බොළඳ වෙද්දී පීටර් පාකර්ගේ ස්ටෝරි එකත් හරිම ප්‍රබල බව කියන්න ඕනෑ.

මේ ෆිල්ම් එකේදී කලින් චිත්‍රපටිවල ඉඳපු දුෂ්ඨයන් ආපහු එන බව ඔබ දන්නවා ඇති. ග්‍රීන් ගොබ්ලින්, ඩොක්ටර් ඔක්ටපස්, ඉලෙක්ට්‍රෝ, සෑන්ඩ් මෑන් ආදී දුෂ්ඨයන් මේ ෆිල්ම් එකේදි දකින්න ලැබෙනවා. ඒ කියන්නේ කලින් ස්පයිඩර්මෑන්ලා මුහුණ දුන්න ප්‍රශ්නවලම දිගුවක් මේ අලුත් ස්පයිඩර්මෑන්ට විඳින්න සිද්ධ වෙනවා.

ඇත්තටම මාවල් සමාගම ස්පයිඩර්මෑන්ව 2016 දී විතර ඇවෙන්ජර්ස්ලා ඉන්න මාවල් සිනමා විශ්වයට ගෙනාපු අවස්ථාව හැමෝම මාර විදියට සැමරුවා. ඒත්, මේ මහා මාවල් විශ්වය ඇතුළේ ස්පයිඩර්මෑන් කියන ආකර්ෂණීය චරිතයට හරි තැනක් ලැබුණේ නෑ.

පීටර් පාකර් චරිතයේ ජීවගුණය තියෙන්නේ ටෝනි ස්ටාර්ක් හෙවත් අයන්මෑන් වගේ ලොකු ධනවතෙක් එක්ක සෙට් වෙච්ච පොරක් විදියට නෙවෙයි. හරි දියුණු අයන් ස්පයිඩර්මෑන් සූට් එකයි, ඕනෑ වෙලාවක පාවිච්චි කරන්නට නවීන තාක්ෂණික උපාංග තොගයකුයි තියෙනකොට නෙවෙයි. විශ්වය පුරා විහිදී ගිහින්, වෙන වෙන ලෝකවල ඉඳන් මුළු විශ්වයම බේරගන්න විදියේ ෆයිට්වලට මැදි වෙනකොට නෙවෙයි.

ඒ වෙනුවට පොඩි ටවුමක් ඇතුළේ, ඕනෑම තරුණයෙක් මුහුණදෙනවා වගේ එදිනෙදා ප්‍රශ්නවලට මුහුණදෙන පීටර් පාකර් කෙනෙක්ට තමයි අපි කැමති. සුපිරි වීරයෙක් වුණාට කවුරුත් ඔහුව දන්නේ නෑ. අතේ සල්ලි නෑ. තමන්ගෙ කසිකබල් සුපිරි වීර ඇඳුම පවා මහගන්නේ තමන්මයි. තමන්ගේ නැන්දා එක්ක, සමහරවිට පෙම්වතියගේ හිත දිනාගන්න බැරි ප්‍රශ්න එක්ක මේ සුපිරි වීරයා පැටලෙනවා.

ඇත්තටම මිනිස්සු ආදරේ අර ස්පයිඩර්මෑන්ගේ බලයට නෙවෙයි. දැල් විදලා එල්ලි එල්ලි යන, පොඩ්ඩක් ශක්තිය තියෙන කොල්ලෙක්ට කැප්ටන් මාවල්ලා, හල්ක්ලා, තෝර්ලා, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලා වගේ බලගතු සුපිරි වීරයන් අතට මහා ලොකු තැනක් ලැබෙන්නේ නැතිව ඇති. ඒත්, මිනිස්සු ආදරය කරන්නේ පීටර් පාකර්ට.

පීටර් පාකර් කියන්නේ දැවැන්ත බලයක් තියෙන කෙනෙක්. ඒත්, ඒ බලය එක්කම තමන්ගේ කර මත දැවැන්ත වගකීමක් තියෙන බව තේරුම් ගත්ත කෙනෙක්.

ඒ බලය වැරදියට පාවිච්චි කරලා නරක දේවල් නොකර, ලාභ ප්‍රයෝජන නොබලා ඒ බලය අනුන්ගේ යහපතට යොදවන්න බලන කෙනෙක්. ඒ නිසා තමන්ගේ ජීවිතය ඇතුළේ ගොඩක් දේවල් කැපකරන කෙනෙක්.

මිනිස්සු කැමති ඒ සාමාන්‍ය තරුණ කොල්ලාට. තමන්ට ලැබෙන ජීවන අභියෝගවලට මුහුණදීලා, වඩාත් නිවැරදි තීන්දුව ගන්න දඟලන ඒ අවංක, ධෛර්ය සම්පන්න කොල්ලාට. තරුණයෙක්ට මුහුණදෙන්න පුළුවන් ප්‍රශ්නවලට නෙවෙයි ඔහු මැදිවෙන්නේ. ඒ ප්‍රශ්නවලදී ඔහු ඇත්තටම පරීක්ෂාවන්ට තමයි මුහුණ දෙන්නේ.

මාවල් ස්පයිඩර්මෑන්ගේ කලින් චිත්‍රපටි දෙකට වඩා මේකෙදී ඒ පීටර් පාකර්ව පරීක්ෂාවට ලක් වෙනවා. ඔහුගේ වැරද්දකින් තමයි මීට කලින් හෙවත් සමාන්තර විශ්වයන්වල ස්පයිඩර්මෑන්ලා මුහුණදුන්න හතුරන් මේ විශ්වයට එන්නේ.

තමන්ගේ යාළුවන්, මිතුරන්, ආදරණීයයන් වෙනුවෙන් කොච්චර කැපකිරිම් කරන්න මේ පීටර් පාකර් සූදානම්ද? විශේෂයෙන් වෛරයෙන් අන්ධ නොවී වැඩ කරන්න ඔහුට පුළුවන්ද? වගේ ප්‍රශ්න තමයි මේ චිත්‍රපටියේ එන්නේ.

කොහොම නමුත් අපි යම් අඩුවකට දැක්කේ මේ චිත්‍රපටියේ ප්‍රේක්ෂකයන්ව විනෝදයට පත් කරන්නට ඇතුළත් කරපු සමහර විහිළු, සමහර ඩයලොග් නිසා අපි දෙවැනියට කීව පීටර් පාකර්ගේ හැඟීම්බර කතාවට බාධාවක් එල්ල වෙනවා.

මේකේ එක මොහොතක පීටර් ඉතාම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් චිත්‍රපටියෙම මූඩ් එක මාරු වෙනවා. ඒත්, ටික වෙලාවක් යද්දීම ආයෙත් ප්‍රේක්ෂකයන්ට ලොකුම විනෝදය ලැබෙන සිදුවීම වෙනවා. කලින් කී දුක්බර සිදුවීම හැමෝටම අමතක වෙනවා. ඒකෙන් ෆිල්ම් එකට එකතුවෙච්ච ඉමෝෂනල් බර හෑල්ලු වෙලා, පොඩි සැහැල්ලු විනෝදබර ටෝන් එකකට චිත්‍රපටියේ අවසානය යොමු වෙනවා.

මෑත කාලේ ලොකු හොලිවුඩ් ෆිල්ම්වල ලොකුම දුර්වලතාව තමයි හැම මගුලක්ම පොඩ්ඩක් හෑල්ලුවෙන්, විහිළු කරලා, ප්‍රේක්ෂකයන්ව හිනස්සලා අවසන් කරන්න උත්සාහ කිරීම. සමහර දුක්බර සිදුවීම්වල පවා බර ප්‍රේක්ෂකයන්ට විඳින්නට ඉඩ නොදීම.

ඉතින් ඒ අඩුව යන්තම් තිබුණත්, ෆිල්ම් එක සමස්තයක් විදියට මෑත කාලයේ ආපු හොඳම හොලිවුඩ් බ්ලොක්බස්ටර් පන්නයේ චිත්‍රපටිය විදියට අපි සලකනවා.