පීබී ගැන චමල්ගේ ගෙදර විශේෂ හමුවක් තිබුණාලු! ජනාධිපති එතැන කේන්තියෙන් මහින්දටත් හින්ට් පාස් කළාලු (g0ssip)

පීබී ජයසුන්දර ගැන කතා කරන්න චමල් රාජපක්ෂගේ ගෙදරදී රාජපක්ෂ පවුලේ අය රහස් සාකච්ඡාවක් පැවැත්වුවාලු. ඒ විතරක් නෙවෙයි, පීබී ඉල්ලා අස්වෙන්න කියලා දිග ලියුමක් ලියා තිබුණාලු. පීබීව මහින්ද වැඩිය ආරක්ෂා කරන්නේ නැති වුණත්, මහින්දත් පීබී එක්ක යම් අමනාපයකින් හිටියත් එවා තිබුණ ඉල්ලා අස්වීමේ ලියුම මහින්ද බාරගත්තේත් නැහැලු.

ඇත්තටම පීබී අස් කිරීමට ගෝඨා විතරක් නෙවෙයි බැසිලුත් විරුද්ධයි. මහින්ද ලියුම බාර නොගත්තේ සමහරවිට පීබී ආරක්ෂා කරන්න නෙවෙයි, බැසිල්-ගෝඨා කියන දැන් ආණ්ඩුවේ බලවතුන් වන මල්ලිලා දෙන්න අවුල් කර නොගන්න වෙන්න පුළුවන්.

අපි මේ සටහනේ කතා කරන්නේ ඒ ගැන.

මෑත කාලසීමාව තිස්සේම පීබීට විරුද්ධ අදහස් ආණ්ඩුව ඇතුලේ තිබුණා. ඒත්, ඒවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉස්සරහා කියන්න තරම් හයියක් කාටවත් තිබුණේ නැහැලු. ඒකට ප්‍රධාන හේතුව වුණේ ජනාධිපතිවරයාට ආර්ථිකය, දේශපාලනය ගැන තියෙන අඩු දැනුම කවර් කරන්න හැම වෙලාවේම පීබී ළඟින් හිටපු එක.

ඒ නිසා වෙන්න ඇති බැසිල් මුදල් ඇමතිකම බාර ගන්න කලින් මේ ආණ්ඩුවේ ගෝඨා ඇරුණාම දෙවැනි බලවත් චරිතය පීබීද? කියන ප්‍රශ්නය අහන තැනට සමහරුන් පත් වෙලා තිබුණේ. මාස ගණනාවකට කලින් අපට දැනගන්න ලැබුණ ප්‍රවෘත්තියක් වුණේ මහින්ද රාජපක්ෂ පීබීගේ ෆෝන් එකට කෝල් කරපු වෙලාවල පීබී ආන්සර් නොකර හිටපු බව. මහින්ද කියන ඒවා පිළි නොගෙන, මම වැඩ කරන්නේ ජනාධිපතිට ඕනෑ විදියට කියා කියපු බව.

ඒත්, ඇමතිවරුන්ගේ විරෝධයක්වත්, මහින්දගේ විරෝධයක්වත් මතු වුණේ නෑ.

කෙසේ වෙතත් ගෝඨාට වියත් වෙස් මූණු දාලා ඇඩ්වර්ටයිසින් කැම්පේන් හදපු දිලිත් ජයවීරටත්, රාජපක්ෂ පවුලේ තචවත් අයියා කෙනෙක්ටත් පීබී එක්ක කේන්ති ගියාම බඩු බනිස්. ඒ අතරේ රටේ ආර්ථිකයත් කඩාවැටිලා, ඇමතිවරුන්ට මෙන්ම ආණ්ඩුව වෙනුවෙන් මිනිස්සුන්ගෙ ඔළුවලට මතවාද ඔබන අයට ජනාධිපතිට තඩිබාන්න බැරි වීම තව ප්‍රශ්නයක්. තඩිබාන්න මුවහමක් ඕනෑ.

පීබීට අවාසිදායක ග්‍රහ පිහිටීම හැදුණේ ඔය විදියට. කොහොමත් පීබීලාගේ කාර්යභාරයේ එක කොටසක් තමයි පාලකයන්ට තමන්ගේ නොපනත්කම් කරමින්ම ආර්ථිකය කළමණාකරණය කරන්න අවශ්‍ය, ආර්ථික විද්‍යා මූලධර්ම නිර්මාණය කරලා දීමට අමතරව, මේ වගේ අකුණු ගහන වෙලාවට එළියට දාන යකඩය බවට පත් වීම.

පාලකයන් වෙනුවෙන් ලිපිලේඛන හදලා, ගිවිසුම් හදලා, කැබිනට් පත්‍රිකා හදලා, එයාලාට ඕනෑ ඩීල්වලට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා, අන්තිමේ බැණුම් අහන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලලිත් වීරතුංගට වුණා වගේ පාලකයන්ට ඕනෑ දේවල්වලට අත්සන් කරලා, නිල වශයෙන් තීන්දු ගත්ත කෙනා බවට පත් වෙලා හිරේ යන්න වුණත් මේ වගේ නිලධාරීන්ට සිද්ධ වෙනවා.

ඒක තමයි ඔවුන්ගේ ඉරණම.

චමල් රාජපක්ෂ පහුගිය සතියේ ගිහින් පීබීට හැමෝගෙම හිත්වල තිබුණ කේන්තිය පිට කරමින් බැණලා තිබුණේ ඔය නිසා. පීබී ඉල්ලා අස්වෙන බවක් කියා තිබුණේත් ඔය පසුබිමේ.

චමල් පීබීට බැන්න කතාව මුලින්ම පළ වුණේ දිලිත් ජයවීරගේ අරුණ පත්තරේ. අනෙක් මීඩියාවලින් වගේම අපිත් කතාව තහවුරු කළේ එතැනින් සිද්ධිය දැනගත්තාට පස්සේයි. ඔය විදියට බණින්න කලිනුත් මාස දෙකතුනකට කලින් පීබී කරපු කාර්යභාරය ඇති, පීබී යන්න ඕනෑ කියා දිලිත් ජයවීර ෆේස්බුක් එකේ ලියා තිබුණා.  

පීබීට චමල් බැන්න වෙලේ පීබී කතා කරපු විදියත්, ඒකෙන් පස්සේ ඔහු කටයුතු කරපු විදියත් තමන්ට අපහාසයක් විදියට චමල් හිතුවා වෙන්න පුළුවන්.

ඔය පසුබිමේ තමයි පීබී ගැන කතා කරන්න කියලා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැස් වෙලා තිබුණේ.

ඔය වෙද්දී අගමැති මහින්දත් කියා තිබුණාලු පීබී සීමාව ඉක්මවනවා වැඩියි කියලා.

ඔය මතගැටුම් හමුවේ ඔය කියන සාකච්ඡාවේදි ජනාධිපතිවරයා ටිකක් හිටියේ කේන්තියෙන්ලු. මොකද, දැන් මහින්ද පීබීව අයින් කරන්න කතා කළාට මීට කලින් මහින්දමලු ජනාධිපතිවරයාට කීවේ පීබීව ජනාධිපති ලේකම් කරගන්න කියලා. ජනාධිපතිම කියා තියෙන විදියට ‘සමහරු’ හිතුවාලු පීබීව දාලා තමන්ව කන්ට්‍රෝල් කරන්න.

ඇත්තටම මහින්ද හිතන්න ඇති ගෝඨා ළඟට පීබී දැම්මොත් පීබී තමන්ට ඕනෑ විදියට ගෝඨාව කන්ට්‍රෝල් කරන්න උදව් කරාවි කියලා. ඒත්, පීබී ජයසුන්දර පාස්කරලිංගම්ගේ ඉඳන් චන්ද්‍රිකාගේ හරහා මහින්දව පහු කරන් වරින් වර ස්වාමියන් මාරු කරපු කප්පිත්තෙක්. රාජ්‍ය නිලධාරී ස්ලට් කෙනෙක්. (කරුණාකරලා ඒ වචනය ලිංගික නිදහස පතන කාන්තාවන්ට අගෞරවයක් ලෙස සලකන්න එපා.)

මේ කියන රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවේදී මුලින් කතා කරලා තිබුණේ දැන් තියෙන ආර්ථික අර්බුදය ගැනලු. ඒත්, ඒකෙන් පස්සේ පීබී ගැන මාතෘකාවට යොමු වුණාලු. එතැනදීත් මහින්ද තමන් පීබී ගැන තියෙන විරෝධය කීවාලු.

අනිවාර්යයෙන්ම චමලුත් ඉතින් ඔතැනදී විරෝධය කියෙනවානේ. අමුතුවෙන් කියන්න දෙයක්යෑ. චමල් කීවේම පීබී අස් කරන්න ඕනෑ, අලුත් මුහුණක් දාන්න ඕනෑ කියලාලු.

කොහොම නමුත් බැසිල් රාජපක්ෂ පීබී වෙනුවෙන් පෙනී හිටියාලු. ඔහු කීවාලු පීබී ජනපති ලේකම්කමෙන් අයින් කළොත් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම්කමක් දීලා තමන් ළඟට ගන්නවා කියලා. ‘පීබී එක්ක පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම්, විසඳාගන්න ඕනෑ. ඒත් මේ වෙලාවේ ඔහුව අපට ඕනෑ.’ කියලා බැසිල් කීවාලු.

අනෙක් පැත්තෙන් ජනාධිපති ගෝඨාභය කීවාලු වෙනම කතාවක්. ‘දැන් පීබීව මගේ ලේකම්වරයා විදියට පත් කරගත්තේ මමද? මාව මිනිස්සු මේ රටේ ජනාධිපතිවරයා විදියට පත් කළාම පීබීව මගේ ලේකම් කරන්න කියලා කීවේ මමද අගමැතිතුමාද? ඒ වෙලාවේ සමහරු හිතන්න ඇති ාව ජනාධිපතිකමේ තියලා ඒ අයගේ වෙන වෙන වැඩ කරගන්න.

ඒ නිසා පීබීගේ ප්‍රශ්නය මගේ ඇඟට දාන්න එපා. එයාව පත් කළේ මම නෙවෙයි. නමුත් පත් කළාට පස්සේ ආවාට ගියාට මිනිස්සුන්ව අයින් කරන්න බැහැ.’ කියලා ජනාධිපතිවරයා තදින් කීවාලු. මහින්ද, චමල් ඇතුළු අය සද්ද නැතිව හිටියාලු.

මේ කියන සාකච්ඡාව ඉවරවෙලා ගෝඨාභය රාජපක්ෂ රට ගියාට පස්සේ පීබී ජයසුන්දර අගමැතිවරයාට ඉල්ලා අස්වීමේ ලියුමක් දුන්නා කියලා තමයි ගොඩක් ආරංචිමාර්ගවලින් වාර්තා වෙන්නේ. අගමැතිවරයා ඒක බාර ගත්තේ නැහැලු. ඇත්තටම අගමැතිවරයාට ඒක බාර ගන්නත් බැහැනේ. එයා ජනාධිපති ලේකම් මිසක් අගමැති ලේකම් නෙවෙයිනේ.

ඔය අස්සේ තමයි 13 වැනිදා කැබිනට් සාකච්ඡාව පැවැත්වුවේ. ඒකෙදි බන්දුල ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ කියන දෙන්නා යෝජනා කරලා ජනාධිපති ලේකම් විදියට අනුර දිසානායක මහතාව පත් කරන්න කියලා. අනුර දිසානායක 2014 කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාව සිටියා. ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්න හොඳට කැපවෙන කෙනෙක්. හැබැයි පීබී වගේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි, හොඳ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන කෙනෙක්. අපි වගේ මාධ්‍යවේදීන් එක්ක පවා අනුර දිසානායක මහතා ඔය කාලයේ නිතර කතාබහ කළා.

‘අනුර ජනාධිපති කාර්යාලයේ වැඩ කරනකොට මම තයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදියට ගත්තේ. හොඳ වැඩකාරයා.’ කියලා එදා හිටපු අධ්‍යාපන ඇමති බන්දුල කැබිනට් එකේදී යෝජනා කළාලු.

කොහොමහරි කැබිනට් රැස්වීම ඉවරවෙලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අනුර දිසානායකට කෝල් කරලාත් කිව්වාලු ‘අපි යෝජනාව කැබිනට් එකට දැම්මා, බලමු’ කියා කීවාලු.

කොහොමහරි ඒකෙනුත් පස්සේ ජනාධිපතිවරයා 15 වැනිදා ලංකාවට ආවාට පස්සේ අස්වීමේ ලියුම ජනාධිපතිවරයාට දුන්න බවත් කියනවා.

දිලිත් ජයවීර මහතාට අයිති අරුණ පත්තරේ මේ ඉරිදා දේශපාලන තිරය පසුපස වාර්තාවේ සඳහන් වෙන හැටියට ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා අස් වෙන කතාවක් පැතිර ගියාට ඔහු අයින් වෙන්නේ නැහැලු. අස්වීමේ ලියුම දුන්නාලු. ඒත්, ජනාධිපතිවරයා ඒක බාර ගත්තේ නැහැලු.

(මේ සටහන ලියද්දී මව්රට, ඉරිදා අරුණ ඇතුළු ඉරිදා පුවපත්පත්වලින් ඇතැම් දේශපාලන ගොසිප් උපුටා ගත්තා.)