IMF ගියොත් වාසු මොහොතක්වත් ආණ්ඩුවේ ඉන්නේ නෑලු!

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවේ ආණ්ඩුව ණය ගත්තොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නෑ. මේ ණය ගැනීම පරම්පරා හතකට හෙණගහන වැඩක්.’ කියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මව්බිම පත්තරයට කීවාලු.

මේ ඉරිදා මව්බිම ප්‍රධාන පුවතෙන් ඒ බව වාර්තා කරලා තියෙනවා.

අපි පහුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ගැන පළ කරපු වාර්තාවේදී කිව්වා අමාත්‍යවරයෙක් අයිඑම්එෆ් ගියොත් ආණ්ඩුවෙන් එළියට බහිනවායැයි කී බවක්. ඒ විදියට අපි නම සඳහන් නොකර වාර්තා කරපු අමාත්‍යවරයා වන්නේත් වාසුදේව නානායක්කාර.

මව්බිම එක්ක වාසු වැඩිදුරටත් මෙහෙම කියලා. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රටට කරකියා ගන්න දෙයක් නැති වුණාම අවසාන වශයෙන් යන තැන. එහෙම යනකොට ඕනැ රටක් යන්නේ අසරණව. එවිට එම මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇති වන මොනවාහරි ගනුදෙනුවක් වුණොත් ඒක අයිඑම්එෆ් ප්‍රතිපත්ති අනුව තමයි සිද්ධ වෙන්නේ.

එම මූල්‍ය අරමුදලේ පළමුවැනි ප්‍රතිපත්තිය තමයි ඔක්කෝම රාජ්‍ය දේපළ දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගම්වලට මිලදී ගන්න ඉඩ දීම. දෙවැනි ප්‍රතිපත්තිය තමයි රටේ සුභසාධන කටයුතු වෙනුවෙන් කරන වියදම් ටිකෙන් ටික අඩු කරන්න ඕනෑ. තුන්වැනි ප්‍රතිපත්තිය තමයි දේශීය නිෂ්පාදන ආරක්ෂා කරීම සඳහා කරන සියලුම ආනයනය කිරීම් අත්හරින්න ඕනෑ.

ඔය ආකාරයේ කොන්දේසි ගණනාවක් තියෙනවා. බරපතළම කොන්දේසිය තමයි රුපියලේ වටිනාකම සාමාන්‍යයෙන් වෙළඳපොළේ තීන්දුවන ආකාරයට තීන්දු වෙන්න ඉඩ හරින්න ඕනෑ. මේ ඔක්කෝම එකට ගත්තාම ඒක රටට දෙන්න පුළුවන් නරකම විපත්තියයි.

නමුත් එවිට කෙනෙක් අහයි එහෙනම් අපි මොකක්ද කළ යුත්තේ කියලා. මොකක්ද විකල්පය කියලා අහයි. මම හිතන හැටියට නම් අද අපට තියෙන පළමුවැනි ප්‍රශ්නය ඩොලර් හිඟය. ඒකට අපි දැනට කරගෙන යනවා වගේ අපේ මිත්‍ර රටවල් එක්ක තාවකාලික අතමාරු ගිවිසුම් ගහන්න ඕනෑ. තාවකාලික ගිවිසුම් ගහනවා කියන්නේ අපේ ඩොලර් ඉපැයීම් එනතුරු.

දැන් අපට පේන ආකාරයට අපේ සංචාරක කර්මාන්තය වැඩිදුයුණු වෙන්න පුළුවන් වැඩි කාලයක් නොගිහින්. එතකොට අපේ ඩොලර් ආදායම් එනවා. අනෙක් අතට දැන් අපි මාස් පතා ලංකාවෙන් විදේශයන්ට යවන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියනය ඉක්වමින් යනවා. ඒ කියන්නේ එන්න එන්න අපි වැඩියෙන් විදේශයන්ට භාණ්ඩ අපනයනය කරනවා.’

අමාත්‍යවරයා උක්ත ප්‍රකාශයේදී කියපු කාරණා ඇත්තටම ලෝකය පුරා පැතිරුණ අයිඑම්එෆ් වෙනුවට විකල්ප ක්‍රම හොයන ආණ්ඩු අනුගමනය කරන ප්‍රතිපත්තිවලට සමානයි. ඒවා ලොව පුරා පැතිරුණ විකල්ප අදහස් බව ඇත්ත. ඒත් ඒවා අපේ රටේ ක්‍රියාත්මක කරන්නේ ඉතාම පීඩාකාරී විදියට. පුරවැසියන් එක්ක සංවාදයකින් නෙවෙයි. විශේෂයෙන් විදේශ විනිමය උපයන අයට තර්ජනය කරමින් බලහත්කාර විනිමය අනුපාතයක් පවත්වාගෙන යන්නේ කප්පම්කාරයන් වගෙයි.

අයිඑම්එෆ් නොගිහින් විකල්ප ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා නම් අඩු තරමේ ඒක මහජනතාව එක්ක විවෘතව සංවාද කරලා, ජනතාවගේ අනුමැතියත් ඇතිව එක්ව රට අවදි කරවන වැඩක් විදියට ගෙනයෑම වැදගත්. දැන් තියෙන අඩුව එහෙම එකක් නොතිබීම.