ෆිච් රේටින්ට බැණලා නිවේදනයක් දාලා, කබ්රාල් ලෝකෙට විහිළු සපයයි

ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ශ්‍රේණිගත කිරීම අතින් ලංකාව පහළම අඩියකට දාපු එකට විරෝධය පාමින්, ඒක කඩිමුඩියේ ගත්ත තීන්දුවක් කියලා සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දෙසැම්බර් 18 වැනිදා නිවේදනයක් දාලා.

ඒක අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මට්ටමට සැපයූ විහිළුවක්.

දෙසැම්බර් 17 වැනිදා ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ණය ගෙවීමේ හැකියාව සීසීසී මට්ටමේ සිට සීසී මට්ටම දක්වා පහත හෙළුවා.

සීසීසී මට්ටමෙන් කියන්නේ ණය නොගෙවන තත්වය හෙවත් පහළම තත්වයේ ඉඳන් තුන්වැනියාට තියෙන තත්වය. ‘ණය වාරික පැහැරහැරීමට ආසන්න’ මට්ටමක් විදියට මේක හඳුන්වනවා.

ෆිච් නිවේදනයේ හැටියටම ඉදිරි කාලසීමාව ඇතුළේ ශ්‍රී ලංකාව යම් ණය වාරිකයක් නොගවා සිටීමේ අවදානම කලින් තිබුණාටත් වැඩියි. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර ආයතනය පෙන්වාදීලා තියෙන්නේ අපේ රට ඇතුළේ විශේෂඥයන් ඇතුළු පිරිස් දැනටමත් පෙන්වලා දීපු කාරණයක් තමයි ෆිච් රේටින් ආයතනයත් කියලා තියෙන්නේ.

මේ තත්වයට පහළ දැමීමට හේතුව තමයි අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වීම සහ ඒවා ගලා ඒම හොඳ තත්වයක නැති වීම.

මේ ණය ශ්‍රේණිගත කිරීම හෙවත්, ලංකාවට ණය ගෙවීමේ හැකියාව තියෙනවාද, නැද්ද කියන එක ගැන එයාලාගේ තක්සේරු කිරීම තමයි ලෝකය පිළිගන්නේ. ෆිච්, මූඩීස් සහ එස්ඇන්ඩ්පී කියන ප්‍රධාන ශ්‍රේණිගත කිරීම් ආයතන යම් රටක් ගැන දක්වන තක්සේරුව තමයි ණයක් දෙනකොට වුණත් තවත් පාර්ශ්වයක් සලකා බලන්නේ. විශේෂයෙන් රටට එන ආයෝජකයන් සලකා බලන්නේ.

අපේ මහ බැංකුව මෙහේ ඉඳන් කෑගහන ඒවා ඔවුන් පිළි ගන්නේ නෑ. ඒ වුණාට ඒක ප්‍රතික්ෂේප කළා කියලා නිවේදනයක් දාලා, ලංකාවේ මිනිස්සුන්ට පොඩි විනෝදයක් හැරුණාම එහෙම කිරීමෙන් ලැබෙන දෙයක් නෑ.

ශ්‍රී ලංකවේ ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රවල නවතම තත්වයන් දැනුම් දීලා තිබියදීත්, ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාව පහත දැමීමට ඉක්මන් වෙලා තියෙන බව මහ බැංකු කියා තියෙනවා. ශ්‍රී ලංකාව ණය වාරික පැහැරහැරීමට ඉඩක් තියෙන බව ෆිච් ආයතනය අනුමාන කරන නමුත්, ඉදිරියේ ගෙවන්නට තියෙන ණය වාරික ගෙවන්නට ශ්‍රී ලංකාව පියවර අරන් තියෙන බව ඒ නිවේදනයේ සඳහන් කරලා. මිතුරු රටවල්වල සහයෝගය ලබාගැනීමට සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ සාකච්ඡාවල ප්‍රතිඵල ලැබීමට ඉතා ආසන්න බවත් සඳහන්.

කොවිඩ්-19 වසංගතය මැද ශ්‍රී ලංකාව ලබමින් සිටින යහපත් වර්ධනයන් හඳුනා ගන්න ෆිච් රේටින්ස් ආයතනය අසමත් වී තිබෙන බව වාර්තාවේ සඳහන්. ඒත් මහත්තයෝ, ෆිච් විතරක් නෙවෙයි අපිත් අසමත් ඔය ‘වර්ධනය’ අඳුනගන්න. මේක 2022 අයවැය ආසන්නයේ මූඩිස් ආයතනය අපේ රට පහළ දාන්න ගත්ත පියවර වගේම එකක් බව මහබැංකු නිවේදනයේ තියෙනවා. 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා දළ ජාතික නිෂ්පාදනය ඊට කලින් අවුරුද්ද එක්ක ගත්තාම සීයට 4.4කින් වැඩි වීම ගැනත් මහබැංකු නිවේදනයේ පෙන්වලා තියෙනවා. එතැනින් එහාට ආර්ථිකය ගැන ආණ්ඩුව පැත්තේ කතා ගොඩක් ඔවුන්ගේ නිවේදනයේ සඳහන්.

ඔවුන් දිගින් දිගට තමන්ගේ රටේ ආර්ථිකය ගැන පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා.

ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කරන අය මේ ශ්‍රේණිගත කිරීම් දැකලා ලංකාවෙන් ඈත් වීම, තමන්ගේ නිවේදනයක් දාලා ඒකට ප්‍රතිචාර දැක්වීමෙන් වළක්වන්න වෙන්න ඇති.

ඒත්, ලෝකයේ කිසිම ආයෝජකයෙක් හෝ ණය සපයන කෙනෙක් ‘හොරාගේ අම්මාගෙන් වෙනුවට කෙළින්ම හොරාගෙන්ම පේන අහන්නේ නෑ.’

‘මේ? ඔයාලාට ණය දුන්නොත් ඔයාලාට ගෙවන්න පුළුවන්ද?’ කියලා කවුරුත් ලංකාවෙන් අහන්නේ නෑ. ‘අපට ගෙවන්න පුළුවන්.’ කියලා අපේ අය කීවාම ‘එයාලා කියන්නේ ඇත්ත වෙන්න ඇති නේද?’ කියලා ණය දෙන්න කවුරුත් ලෑස්ති වෙන්නේ නෑ.

ඒ වෙනුවට ජාත්‍යන්තර පාර්ශ්වයන් පිළිගන්නේ මේ වගේ ආයතනවල විග්‍රහය. මේ ආයතන කටයුතු කරන ආකාරය, මේවා පිටිපස තියෙන දේශපාලනය ප්‍රශ්න කළ හැකියි. ඒ බව ඇත්ත. එහෙත්, අපි කැමති වුණත් අකමැති වුණත් මේවාට පිළිගැනීමක් තියෙනවා.

මහ බැංකුවේ නිවේදනයෙන් පවා පිළිගන්න විදියට අපේ අතේ සල්ලි නෑ. අපි පිටරටවලින් සල්ලි ඉල්ලලා තියෙන්නේ. තාම සල්ලි ලැබිලාත් නෑ. ණය පැහැරහරින්න ඉඩ තියෙන බව ජාත්‍යන්තර ආයතන නෙවෙයි, අපේ රට ඇතුළේ අයත් අනුමාන කරනවා. බයක් දක්වනවා. කැබිනට් එකේ අයම ඒ අවදානය කියනවා.

පහුගිය සතියේ දේශපාලන කොලම්වල තිබුණ දෙයක් තමයි ඩොලර් අර්බුදය ගැන කැබිනට් එකේ මේ දවස්වල කතා කරන නිසා කැබිනට් රැස්වීම් ඉවර වුණාම තමන්ට නින්ද යන්නේත් නැති බව ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කී බව.

ඉතින්, බොරුවට කෑගහලා වැඩක් තියෙනවාද? ප්‍රශ්නය විසඳාගන්නවා මිසක්.

ෆිච් වාර්තාව මෙතැනින් බලන්න

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-foreign-currency-idr-to-cc-17-12-2021