කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පහක ප්‍රධානීන් මාරු කරන බව දේශපාලන ආරංචිමාර්ගවල සඳහන් වෙනවා.
ජනාධිපතිවරය පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග විශාල සංවාදයක් ඇති වුණා, මේකේ අරමුණ පාර්ලිමේන්තු කමිටු ටික වහලා ඒවා දුර්වල කරලා දැමීම බව.
අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයාගේ තීන්දුව විවේචනය කරමින් කීවේ ජනාධිපතිට පාර්ලිමේන්තු වාරාවසාන කිරීමේ බලයක් තිබුණත්, පාර්ලිමේන්තුව විසුරුවීමට හේතුවන විදියේ හදිසි අර්බුදයක් රටේ නැති සාමකාමී වාතාවරණයක මෙලෙස කිරීම ගැටලුවක් බව.
විශේෂයෙන් මහාචාර්ය චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ තිස්ස විතාරණ යන කමිටු ප්‍රධානීන් ආණ්ඩුව පැත්තෙන් පත් කළත්, ඔවුන් ආණ්ඩුවේ ආයතන පත් කරමින් සාපේක්ෂව යහපත් කාර්යභාරයක් කළා. ඒක කිසිසේත් සුනිල් හඳුන්නෙත්ති හෝ ඩිව් ගුණසේකර මට්ටමේ ස්වාධීනත්වයක් නොවුණාට, ඒ කමිටුවල සාපේක්ෂ ස්වාධීනත්වයක් තිබුණා.
විශේෂයෙන් කෝප් කමිටුව වැනි ආයතනවල ප්‍රධානීන් විදියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කරන්න ඕනෑ බව නිතරම සිවිල් සමාජයෙන් මතු කළ කාරණයක්.
විපක්ෂයේ අය පත් නොකර ආණ්ඩුවේම අය පත් කරමින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්න ඇත්තේ ආණ්ඩුවේ ඕනෑ කැත වැඩක් ෂේප් කරන කමිටු වෙන්න ඇති. ඒත් ඔවුන් හිතූ අරමුණ ඉටු වුණේ නෑ.
මෙතැනින් චරිත හේරත් ජාතික ලැයිස්තුවෙන් පත් වූ විශ්වවිද්‍යාල විද්වතෙක්. තිස්ස විතාරණ සමසමාජ පක්ෂයේ ලේකම්වරයා. අනුර ප්‍රියදර්ශන යාපා පොදුජන පෙරමුණේ වුණත් ශ්‍රීලනිපයේ දීර්ඝ ඉතිහාසයක් සහ ස්වාධීනත්වයක් ඇති දේශපාලනඥයෙක්. ඒ අනුව ආයතන ගණනාවක් ගෙන්වා ප්‍රශ්න කළා. ඉදිරියේදීත් ගෙන්වා ප්‍රශ්න කරන්න නියමිතව තිබුණා.
මේ වෙනුවට අලුතින් පත් කරන අය පෙර කී අය තරම්වත් කොන්දක් නැති පොහොට්ටු දේශපාලනඥයන් වනු ඇති.
මාලඹේ උසස් තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සංචාරක මණ්ඩලය ඇතුළු ආයතන ප්‍රශ්න කරන්න දැන් ඉන්න පාර්ලිමේන්තු කමිටු ප්‍රධානීන් මැදිහත් වුණා.