ජනවාරිවල කැබිනට් වෙනසක්ලු! ඒක කරනකල් බැසිල් ලංකාවට එන්නේ නෑ?

ලබන අවුරුද්ද මුලදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට බලාපොරොත්තුවක් තියෙන බව ඉරිදා පුවත්පත් ගණනාවක් වාර්තා කරලා තියෙනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තියෙන විදියට යම් කළකිරීමක් එක්ක ඇමෙරිකා ගිය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ලංකාවට එන්නේ කැබිනට් සංශෝධනය කළාට පස්සේ බවත් කියනවා.

ඉරිදා දිවයින නම් වාර්තා කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් ඇමතිවරුන් කැබිනට් එකේ ඉඳන් කැබිනට් තීන්දු විවේචනය කරන නිසා සංශෝධනයක් කරන්න කියලා ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව.

‘වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදවලට මුහුණ දීම සඳහා ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් සැකසීමට..’ සංශෝධනය කරන බව දිවයින පුවතේ සඳහන්.

කෙසේ වෙතත් ඉරිදා මව්රට පත්තරය වාර්තා කරලා තියෙන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පහුගිය සතියේ අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවලා පවත්වන්න ලෑස්ති වූ රැස්වීමක් පිටරට හිටපු ජනාධිපතිවරයා අවලංගු කළාලු. සාමාන්‍යයෙන් මන්ත්‍රී කණ්ඩායම කැඳවීමේ හැකියාව තියෙන්නේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය හිමි අගමැතිවරයාට. නැත්නම් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාට. මුදල් ඇමති වූ පමණින් එහෙම මන්ත්‍රීවරුන් කැඳවීමේ විශේෂ බලයක් නෑ.

බැසිල් කැඳවපු රැස්වීමට එන්න කියලා සමහර මන්ත්‍රීවරුන්ට කෝල් කරලා පණිවිඩේ දෙන අතරේලු මේ රැස්වීම අවලංගු කරන්න ජනාධිපතිවරයා තීන්දු කරලා තිබුණේ.

ඒ වාර්තාවේ සඳහන් විදියට වත්මන් අර්බුදයට මැති ඇමතිවරුන් මුහුණදීම ගැන බැසිල් රාජපක්ෂ කළකිරීමකින් ඉන්නවාලු. ඒ නිසා ඔහු විදේශගත වෙන්න ලෑස්ති වෙද්දී ෆෝන් එක පවා ඕෆ් කළාලු. කෝල් කරපු සමහර ඇමතිවරුන්ට පවා ප්‍රතිචාර දැක්වුවේ නැහැලු.

ඉරිදා ලංකාදීපයේත් තියෙන්නේ ලබන අවුරුද්දේ කැබිනට් වෙනසක් සිදුවන බවත්, ආණ්ඩුව අලුත් ‘ජවයකින්’ වැඩ කරන බවත්.

මෙයට වෙනස් මතයක් සඳහන් වෙලා තියෙනවා අරුණ පත්තරයේ. එහි සඳහන් වෙන්නේ බැසිල් රාජපක්ෂ කැබිනට් සංශෝධනයක් කළ යුතු බව කීවත්, මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් සංශෝධනයකට උනන්දුවක් නොදක්වන බව. මහින්ද කියා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් වෙනස් කිරීම ඊට වඩා වැදගත් බවක්.

යහපාලන ආණ්ඩුව නිතර කැබිනට් සංශෝධන කිරීමට විහිළු කරපු මේ අය, දැන් අමාත්‍යධුර සහ විෂයන් මාරු කිරීම් අතේ ඇඟිලි ගාණට වඩා කරලා තියෙනවා. තවත් සංශෝධනයක් විහිළුවක් මිස දැන් පවතින අර්බුදයට විසඳුමක් නෙවෙයි.

ඒ එක්ක ආණ්ඩුව දැවැන්ත වෙනසක් එක්ක වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බවත් අලුත් ‘ජවයකින්’ වැඩ කරන බවත් ආණ්ඩුවේ ප්‍රධානීන් අතර දැවැන්ත සංවාදයක් ඇති වෙලා.

පුවත්පත් එහෙම වාර්තා කරලා තිබුණත් අපි මේ ගැන හොයන්න උත්සාහ කරද්දී සමහර ආණ්ඩුවේ ප්‍රබලයන් නම් කීවේ කැබිනට් මණ්ඩලය වෙනස් කරන බවක් තමන් දන්නේ නෑ නෑ, ඒත් අලුත් ජවයකින් වැඩ කරන කතන්දරය නම් ඇත්ත කියලයි. කෙසේ වෙතත් ඔවුන්ම කියන්නේ ඇත්තටම ‘ආණ්ඩු’ බලය හිමි රාජපක්ෂ පවුලේ අය කරන්න ලෑස්තිවෙන දේවල් තමන්ටවත් අනුමාන කරන්න බැරි බව.

ඒ අනුව කැබිනට් සංශෝධනයක් සිදුකරන බවට යන ප්‍රවෘත්තියටත් පදනමක් තියෙනවා විය හැකියි.