විමල්, වාසු, ගම්මන්පිළ කරපු වැඩේ ව්‍යවස්ථා විරෝධීයි- නීතිපති කියලා

යුගදනවි බලාගාරයේ සීයට 40ක් ඇමෙරිකානු සමාගමට ලබාදීමට එරෙහි පෙත්සම්වලට පක්ෂව කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ලබා දුන් දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බව නීතිපති සංජය රාජරත්නම් දෙසැම්බර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වමින් කීවාලු.

මේ තුන්දෙනා දෙසැම්බර් 07 වැනිදා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් මේ නඩුවේ පෙත්සම් ගොනු කරපු අය කීව දේවල් නිවැරදි බව තහවුරු කරමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හරිහැටි ගිවිසුමට ලබා නොගත් බව කීවා.

මීට අමතරව අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ සඳහන් කාලසීමාව ඇතුළත ඉදිරිපත් කරලා නැති නිසා, ඒවා ඉවත දාන්න කියලාත් නීතිපතිවරයා ඉල්ලීම් කළාලු. ඒ වගේම පෙත්සම්කරුවන් මේ ගිවිසුමේ පාර්ශ්වකරුවන් වන නිව් ෆෝට්‍රස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ව නම් කරන්න අසමත් වූ බව පෙන්වා දුන්නාලු.

පෙත්සම ඉවත දාන්න කියලා ඉල්ලීම් කළත්, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තියෙනවා පෙත්සම් ඉදිරිපත් කරපු නීතිඥවරුන්ට කරුණු දක්වන්න කියලා.

මේ සිද්ධියේ විශේෂත්වයක් තමයි නීතිපතිවරයා පෙනි ඉන්නේ විමල්, වාසු, ගම්මන්පිළ ඇමතිවරුන් තුන්දෙනාත් ඇතුළු නඩුවේ වගඋත්තරකාර පාර්ශ්ව වෙනුවෙන් හෙවත් ආණ්ඩුව වෙනුවෙන් වීම.

ඉතින් නඩුවේ තමන්ගේම පැත්තේ වගඋත්තරකරුවන් පිරිසක් වෙනම කතාවක් කීම ආණ්ඩුව පාර්ශ්වයට දැවැන්ත අවාසියක්. වගඋත්තරකායන්ම කිව්වාම තමන්ට තියෙන චෝදනා නිවැරදියි කියලා, එතැනින් එහාට තර්ක කරන්නේ කොහොමද? ඒ අනුව නීතිපතිවරයා මෙවැනි තර්කයක් නැගීම සිතාගත හැකියි.

මේ වෙද්දී අදාල පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දිනපතා විභාග වෙනවා. මේ ප්‍රකාශය කරන්න කලින් දවසේ හෙවත් දෙසැම්බර් 16 වැනිදා අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා තිබුණා මේ තුන්දෙනාව හරි නම් අස් කළ යුතු බව. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව.

ඒ අනුව මේ නඩුවේ අනෙක් දෙපාර්ශ්වයම මේ ඇමතිවරුන් තුන්දෙනාව ප්‍රශ්න කරන බව පේනවා.

මේ ඇමතිවරුන් තුන්දෙනාත් ඇතුළත්ව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්, බලශක්ති අමාත්‍යාංශ ලේකම්, මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව 54ක් මේකේ වගඋත්තරකරුවන්.

කෙසේ වෙතත් මේ වෙද්දී උක්ත ඇමතිවරුන් තුන්දෙනා වෙනුවෙන් නීතිඥ උදිත ඉහළහේවා පෙනී ඉන්නවා.

වෘත්තිය සමිති වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කතා කරපු ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියා තිබුණේ මෙමගින් ලංකාවට ගෑස් සැපයීම ඇමෙරිකානු සමාගමක ඒකාධිකරයට යටත් වීමෙන් රටේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව.

කාදිනල් මැල්කම් රංජිත් හිමි සහ ඇල්ලේ ගුණවංශ හිමි වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කීවේ මෙම ගිවිසුම අත්සන් කිරීම විනිවිදභාවයෙන් යුත් ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය නොකර සිද්ධ කරපු බව.