රිෂාඩ් හිරේ දැමීම අසාධාරණයි! ලෝකෙ ලොකුම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය කියයි

ලෝකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශාලම සංවිධානය වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංවිධානය වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව බන්ධනාගාරගත කිරීම අසාධාරණ බව දෙසැම්බර් 16 වැනිදා නිවේදනය කරලා.

ලෝකයේ රටවල් 179ක පාර්ලිමේන්තු වගේම ප්‍රාන්ත මට්ටමේ පාර්ලිමේන්තු 13ක් මෙම සංවිධානය නියෝජනය කරනවා.

අප්‍රේල් 24 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ පිළිබඳ ලැබුණු පැමිණිල්ල මත නොවැම්බර් 30 වැනිදා පැවති අන්තර්ජාතික පාර්ලිමේන්තු සංවිධානයේ 208 වැනි සැසිවාරය පෘතුගාලයේ මැඩ්රිඩ් නුවර පැවති මොහොතේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡා කරලා ඒකමතික තීන්දුවක් ගත්තාලු.

රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයෙන් යොමු වූ පැමිණිල්ලක් මත මෙම සිදුවීමට අදාල කරුණු එම සංවිධානය විමර්ශනයට ලක් කරලා තිබුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සහයෝගය දැක් වූ බව කියමින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණත් මේ දක්වා ඒ චෝදනාව ගැන පිළිගත හැකි කරුණු ඉදිරිපත් නොවූ බව එම විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබුණා.

ප්‍රධානම චෝදනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බය එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ගේ කොලෝසස් සමාගමට අබලි යකඩ ලබා දීමට රිෂාඩ් බදියුදන් අමාත්‍යධුරය දැරූ අමාත්‍යාංශයට යටතේ තිබුණු කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කිරීම. කෙසේ වෙතත් මේ අබලි යකඩ ලබා දීමේ කොන්ත්‍රාත්තුවට ඇමති බදියුදීන් මැදිහත් වූ බව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකළ බව අන්තර්ජාතික පාර්ලිමේන්තුව විමර්ශන වාර්තාවේ පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම චෝදනාවේ ස්වභාවය, අත්අඩංගුවට ගත් ස්වභාවය සහ චෝදනාව ඉදිරියට ගිය ආකාරය ගැන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය සලකා බලා තිබුණා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දේශපාලන වුවමනා මත පුද්ගලයන් හිතුමතේට අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ තවමත් විවර වී තිබීම ගැන ඔවුන් කණස්සල්ල පළ කර තිබුණා.

රිෂාඩ් බදියුදීන් ගැන පිළිගත හැකි චෝදනා තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය ඉල්ලා තිබුණා.