දුමින්දට ජනපති සමාව දීමට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම් ලබා සිටි  දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙසැම්බර් 16 දින  ඉල්ලීමක් කර ඇත.

ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම් කැඳවා තිබුණි.

ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු ‌කොමසාරිස්වරයකු වන නීතිඥ ගසලි හුසේන් මහතා අදාල පෙත්සම් ගොනු කර තිබිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාල  පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසය. 

මේ ඉල්ලීම මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දන්වා ඇති අතර ඒ අනුව සුදුසු පියවරක් ගැනීම සඳහා පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත යොමු කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

මේ පෙත්සම් සලකා බැලීම 2022 මාර්තු 3 දාට කල් තබා ඇත.

 දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය නීතියට පටහැණි බව ප්‍රකාශ කරන ලෙස එම පෙත්සම් මඟින් ඉල්ලා ඇති අතර මේ පෙත්සම්වල  වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.