GMOA හිටපු සභාපති ඩොක්ටර් පාදෙණියගේ නැගීම සහ ඔහුගේ අවසානය! -වෛද්‍ය බෙල්ලන, කමල් සහ නිරෝෂණ කතා කරයි

(මේ සටහනේ වෛද්‍ය සංගමය යන කෙටි නමින් හඳුන්වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නෙවෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක. ‘සංසදය’ යන නමින් හඳුන්වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය නම් විකල්ප වෛද්‍ය වෘත්තිය සමිතිය.)

අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාහරදෙණිය, සමාවෙන්න. අනුරුද්ධ පාදෙණිය ගැන.

අපි දේශපාලනඥයන්ට පවා තවමත් මහතා, මහත්මයා කියලා ගරුසරු ඇතිව කතා කරනවා. ඒත් පාහරදෙණිය වගේ නම විකෘති කරලා ටිකක් අපහාසාත්මකව ඔහුගේ නම කිව්වේ හේතුවක් ඇතිව. අපි මේක පටිගත කරන දවසේ සිදුවීමක් එක්ක ඔහු ගැන ලොකු කේන්තියක් පවා ආවා.

කොහොම නමුත්, ඒ සංගමයේ හිටපු සභාපති පාදෙණිය සියල්ල සාධාරණව සිද්ධ වුණොත් ආයේ ජීවිතේට ඒ සංගමයේ සභාපති වෙන එකක් නැහැ.

ඔබ සමහරවිට අහලත් නැති කරුණු කිහිපයක්ම මේ සටහනේ අපි කතා කරනවා.  ඒ වෙනුවෙන් අනුරුද්ධ පාදෙණිය එක්ක වෛද්‍ය විද්‍යාල කාලයේ ඉඳන් එකට හිටපු, ඊට පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එ එකට ක්‍රියාකාරීව කටයුතු කරපු, අද පාදෙණියලා එක්ක මූණට මූණ හැප්පෙන වෛද්‍යවරුන් තුන්දෙනෙකුගේ අදහසුත් එකතු කර ගන්නවා.

කොහොම නමුත් අපි පාදෙණියගේ නැගීම සහ කඩාවැටීම ගැන කතාවට යොමු වෙන්න කලින් ඔහුගේ නම අනුරුද්ධ පාහරදෙණිය කියා විකෘති කරන්න තරම් අපට කේන්තියක් ආපු සිදුවීම ගැන කතා කරමු. (අපට වෛද්‍ය පාදෙණිය ගැන පෞද්ගලික තරහක් නැහැ. ඔහු එක්ක කතා කරලාත් තියෙනවා. ටිකක් නිහඬ චරිතයක්. පෞද්ගලිකව තරහ වෙන්න හේතුවකුත් නෑ. ඒත්, කරපු වැඩ තමයි නරක.)

‘පාහරදෙණිය’ කීවේ ඇයි?

අපි මේක පටිගත කරන 2021 දෙසැම්බර් 16 වැනිදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝගයක් කළා. ලංකාවේ මාධ්‍ය ආයතනවලින් සහ දේශපාලු මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ මුස්ලිම් විරෝධයක් මවලා දේශපාලනය කරන මුග්ධ අරමුණෙන් අන්ධ වූ බලවේගවලින් අම්මලා වඳ කළා කියලා චෝදනා ලබපු වෛද්‍ය සාෆි සියාබ්දීන්ට අදාලව. නඩු නැතිව වැරදිකාරයන් වූ වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ව නැවත සේවයේ පිහිටුවන්නත්, හිඟ වැටුප් ගෙවන්නත්.

මේ සිදුවීම එක්ක විමල් වීරවංශ ඇතුළු දේශපාලන නායකයන්, ජාතිවාදය ඇවිස්සූ පුද්ගලයන් ගැන සමාජ මාධ්‍යවල කතා කරනවා. ඒත් කවුරුත් කතා කරන්නේ නෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අනුරුද්ධ පාදෙණියලා කරපු පාහර වැඩේ ගැන.

වෛද්‍ය සාෆිගේ සිදුවීමේදී තීරණාත්මක භූමිකාවක් තිබුණා ඔය සංගමයට. වෛද්‍යවරයෙක්ට දරුවෙක් බිහි කරන අස්සේ පැලෝපීය නාලය අවහිර කරලා වඳ කරන්න බෑ කියන එක පැහැදිලි වෛද්‍ය දැනුමක් වුණා. සාමාන්‍ය කෙනෙක්ට හෝඩිය වගෙයි වෛද්‍යවරුන්ට පැලෝපීය නාල කතාව. ඉතින්, ඒ වෙද්දී හැම මගුලටම ඇඟිලි ගහමින් හිටපු පාදෙණියලා හරියට ඇවිත් සංගමයක් විදියට සාෆි වෙනුවෙන් කතා කළා නම් බොරු අවිද්‍යාත්මක චෝදනා යට ගිහින්, ඒ මනුස්සයාගේ ගෞරවය එදා රැකෙන්න තිබුණා.

අනෙක් පැත්තෙන්‌ මේක පැහැදිලිව වෛද්‍යවරයෙකුගේ වෘත්තිය ගෞරවය ගැන ප්‍රශ්නයක්. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙක් සාෆි. නිකමට හිතන්න. මාධ්‍යවේදියෙක්ව පැහැරගෙන ගියොත් වචනයක් නොකියන මාධ්‍ය සංවිධාන මොකටද? ගුරුවරයෙක්ට යම් සිදුවීමක් වුණොත් කතා නොකරන ගුරු සංගම් මොකටද? වෛද්‍යවරයෙකුගේ වෘත්තිය ගෞරවය ගැන බොරු ප්‍රචාරයක් මාධ්‍යවලින් කරන්න ගත්තොත් ඇත්ත නොකියන වෛද්‍ය සංගම් මොකටද?

එදා සාමාන්‍ය සිංහල ජාතිකයන්ව බයෙන් අවුස්සලා මෝඩ දේශපාලන තීන්දුවලට විතරක් නෙවෙයි, දවස් කිහිපයක් යද්දී මිනුවන්ගොඩ, කුලියාපිටිය ආදී ප්‍රදේශ ගාණක මුස්ලිම් ජාතිකයන්ගේ කඩ සහ ගෙවල් ගිනිතියන තැනට ආවේගය අවුස්සපු මහා බොරුවක් වෛද්‍ය සාෆි මතින් පත්තු කරද්දී පාදෙණියලා පාහර විදියට නිහඬව හිටියා.

දැන් අද දෙරණ, ලංකාදීප, දිවයින ඇතුළු විමසිල්ලෙන් කටයුතු නොකරපු ලේ පිපාසයෙන් පෙළෙන අපරාධකාරී මාධ්‍ය ආයතන ලැජ්ජා නැතිව ‘වඳ සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වූ’ සාෆි යළි සේවයට කියලා ප්‍රවෘත්ති ගහනවා. ඇත්තටම අවුරුදු තුනකට ළංවෙන කාලයක් තිස්සේ අම්මලා අටදාහක් තියා එක අම්මා කෙනෙක් ගැනවත්, චෝදනා ඔප්පු කරගන්න බැරි වුණ බවත්, සාෆිට එල්ල වුණා කියලා මාධ්‍යවේදීන් ලියපු චෝදනාව සරල දැනුමක් තියෙන මාධ්‍යවේදියෙක්වත් ජීවිතේට නොලිවිය යුතු බේසික් කෙබරයක් බවත් අද කවුරුත් කියන්නේ නෑ. උංම ලියනවා චෝදනා එල්ල වුණාලු.

කෙහොම නමුත්, මේ සම්පූර්ණ කතාවේ වගඋත්තරකරුවෙක් තමයි අනුරුද්ධ පාදෙණිය. වෛද්‍ය සංගමයේ වුණාට එදා ඔවුන් කැපවෙලා හිටියේ අවිද්‍යාව පතුරුවලා ආණ්ඩු හදන්න. හදලා, තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කරන්න.

වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් පෙනී ඉන්න නෙවෙයි.

ඉතාම මෑත දවසක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලයට කටයුතු කිරීම සීමා කරමින් මොරටුව දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ වගේම සාධාරණ විදියට නිලවරණයක් පවත්වලා, නිලධාරීන් පත් කරගන්නත් නියෝග කළා.

ඒ අනුව දැන් අනුරුද්ධ පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති නෙවෙයි. වැඩේ කියන්නේ මුළු ජීවිත කාලයම තනතුර බදාගෙන ඉන්න හිතපු ඔහුව ඉවත් කරන්න අධිකරණයට යන්න සිදුවීම කතා කරන්න වටින මාතෘකාවක්.

පාදෙණිය යුගය නිමා වීම

අපි පාදෙණිය ගෙදර ගිය නඩුව ගැන දීර්ඝව සටහන් කරන්නේ නෑ. වෛද්‍ය චමල් සංජීව සහ ජයරුවන් බණ්ඩාර ගොනු කරපු පැමිණිලි මත දිසා අධිකරණයේ විභාග වූ නඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය ගැන. පාදෙණියට විරුද්ධව සභාපති තනතුර සඳහා නාමයෝජනා බාර දුන්නා ජයරුවන් බණ්ඩාර. ඒත් ඔහුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කළා කිව්වා නමක අකුරු වැරදුණ කතාවක් කියලා බොරු හේතු දාලා. මේ සංගමයේ නිලවරණ පවත්වන්නේත් පාදෙණියලාගේ හෙංචයියන්. කෙළින්ම අප්‍රිකානු රටක ඉඩි අමින් පාලනයක් වගේ තමයි මේ සංගමේ ඡන්ද ක්‍රමය පාදෙණියලා පවත්වාගෙන ආවේ. ඒ කියන්නේ රාජපක්ෂලාටත් වඩා ඒකාධිපතියෝ. අඩු තරමේ විපක්ෂ අපේක්ෂකයෙක්ටවත් එන්න දෙන්නේ නෑ.

ඒත් ඊට පස්සේ සිද්ධිය අධිකරණයට ගියා. අතුරු තහනම් නියෝග දුන්නා. ඒ අනුව දැන් සංගමයට අතුරු කමිටුවක් පත් කරලා, සාධාරණ නිලවරණයක් පවත්වන්න වෙනවා. හිටපු නිලධාරීන්ගේ කාලය අහවර වුණා. ඒත්, අධිකරණයට පිටින් ගිහින්, පාදෙණිය කපටි විදියට මාධ්‍ය ඉස්සරහා සංගමයේ සභාපති විදියට පෙනී ඉන්න ගත්තා. ඒ පාර තව නියෝගයක් දැම්මා හිටපු සභාපති පාදෙණිය මාධ්‍ය ඉස්සරහා සභාපති විදියට පෙනී ඉන්න බෑ කියලා. අලුතින් කවුරුහරි සභාපති කෙනෙක් පත් වුණාම එයා තමයි සභාපති.

ඔය විදියට පාදෙණිය යුගය නිමා වුණා. දැන් පාදෙණිය මහත්තයා හිතාගෙන ඇති නිලවරණයට ඇවිත් ආයේ සභාපති වෙන්න. ඒත් සාධාරණ නිලවරණයක් තිබුණොත්, මේ රටේ වෛද්‍යවරු පඩිය අරන් ගෙදරට වෙලා ඉන්නේ නැතිව තමන්ගේ වෘත්තියේත්, අවුරුදු සීයක් විතර පරණ සංගමයේත් ගෞරවය ගැන හිතලා නිලවරණයේදී ඡන්දය දැම්මොත් ආයෙ ජීවිතේට පාදෙණිය වගේ කෙනෙක්ව ඔය පුටුවට ගේන්න බැරි වේවි.

පාදෙණිය හිතාගෙන ඇති කොහොමහරි සභාපති වෙන්න. ‍

අපේ සාකච්ඡාව

කොහොමහරි අපි එතැනින් එහාට පාදෙණියලාගේ ධුර කාලය ගැන වැදගත් පැති කිහිපයකට කතාව ගෙනියමු. ඒ ධුර කාලය දිහා සංවාදශීලීව හැරී බලමු. ඒ කියන්නේ පාදෙණියගේ ඉතිහාසයේ කුණු රහස් අවුස්සමු කියා නෙවෙයි. ඒ ගැන විචාරශීලීව බලමු කියලායි.

වෛද්‍ය සාෆිගේ සිද්ධියේදී කීවා වගේම පාදෙණියලා ඇත්තටම කවදාවත් වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රමාණවත් විදියට පෙනී ඉඳලා නෑ. ඒ නිසා තමයි දැන් නිලවරණයකට යන්න වෙනවා, වෛද්‍යවරු ඉස්සරහා තමන්ගේ රෙදි ගැලවිලා තියෙන්නේ කියලා දැනගෙන වෛද්‍ය පාදෙණිය නොවැම්බර් 25 වැනිදා අගමැති මහින්දගෙන් ඉල්ලීමක් කළේ. වෛද්‍යවරුන්ට යහපාලන ආණ්ඩුව ගහපු බදු වැඩියි. ඒ බදු අඩු කරන්න කියලා.

මෙතෙක් කාලයක් කාබනික පොහොර, එම්සීසී ගිවිසුම්, කැඳ වර්ග ආදී රටේ නැති ප්‍රශ්න ගැන කතා කරපු පාදෙණිය තනතුරු නැතිවෙලා, සාධාරණ නිලවරණක් තියපං කියපු ගමන් එකපාරම ඔච්චර සල්ලි තියෙන වෛද්‍යවරුන්ගේ බදු අඩු කරපං කියලා ‘අයිතිවාසිකම්’ වෙනුවෙන් කතා කරන එක විහිළුවක්. වෛද්‍යවරුන්ගෙන් බදු අඩු කරලා කම්කරුවාගෙ ප්ලේන්ටියෙන් බදු ගහන්න කියලාද කියන්නේ.

කොහොම නමුත් මේ ගැන අපි එක්ක කතා කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න සහ භාණ්ඩාගාරික කමල් ඒ පෙරේරා කියන තුන්දෙනා එක්ක.

කවුද මේ තුන්දෙනා?

සාකච්ඡාවට යොමු වෙන්න කලින් මේ සංවාදයේ හිටපු තුන්දෙනා ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. මේ උප මාතෘකාව ගැන උනන්දු නැත්නම් ඔබට පුළුවන් ඒ ටික නොකියවා සටහනේ පහළට යන්න.

ඒත්, අපි මේක ලියන සතියේ වෛද්‍ය බෙල්ලනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයටත් විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිට ලියුමක් දාලා. ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය එක්ක සෞඛ්‍ය ඇමති කෙහෙළිය සාකච්ඡා කරපු හින්දා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ හින්දා කළකිරීමෙන් අයින්වෙච්ච පිරිසක් හදා ගත්ත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ගැන අර කට්ටිය ඉන්නේ කැක්කුමෙන්. මොකද, දැන් දැන් සංසදය ශක්තිමත් වෙනවා. සංගමයේ ඒකාධිකර බලය නැති වෙනවා.

ඇත්තටම සංසදයේ ලොක්කෝ එක්ක කරපු මේ සාකච්ඡාව තමයි අපේ නාළිකාව වෙනුවෙන් අපි පටිගත කරපු පළවැනි වීඩියෝ ඉන්ටවීව් එක. ඒත්, ලොකු තාක්ෂණික දුර්වලතාවක් නිසා ඒක වීඩියෝවක් විදියට ප්‍රසිද්ධ කරන්න බැරි වුණා. අපි ළඟ තිබුණ ඒ වැදගත් සාකච්ඡාව බ්ලොග් අඩවියට අකුරු කිරීම වැදගත් කියා හිතුණේ වෛද්‍ය පාදෙණියලා ගැන එතැන පුළුල් විදියට අපි කතා කරපු නිසා.  

මේ තුන්දෙනා එකිනෙකාට වෙනස් තුන්දෙනෙක්. එක නැට්ටේ දෙහි නෙවෙයි. වෛද්‍ය නිරෝෂණ ටිකක් ආවේගශීලී, වේගවත් කෙනෙක්. ඔහු තමන්ගේ අදහස් සහ විශ්වාස පද්ධති ගොඩනගාගන්නේ වෙනම විදියකට. ඇත්තටම කීවොත් ඔහු වැඩිපුර උනන්දු වෙන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් පැත්තට.

වෛද්‍ය බෙල්ලන කියන්නේ ආවේගශීලී නැතත් බෙල්ල ගහලා ගියත් කතා කරන කෙනෙක්. තුන්දෙනා අතරින් වඩාත් ප්‍රසිද්ධ චරිතය. ඒ වගේම අපි මාධ්‍යවේදීන් විදියට කාලයක් තිස්සේ ආශ්‍රය කරපු චරිතය.

වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න

සමහරු කියන විදියට නම් කට නිසා නහින කෙනෙක්. කෙසේ වෙතත් ඔහු වෛද්‍යවරුන්ගේ සීමාවෙන් ටිකක් එහා ගිහින් සෞඛ්‍ය සේවය ගැන අදහස් දක්වන්න කැමති කෙනෙක්. බෙල්ලන දේශපාලනික සන්ධානවලට කැමතියි. ඔහු විටෙක සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේනට දරුණු විවේචන එල්ල කළා.

එදා 2014 දී රාජපක්ෂ විරෝධී කඳවුරේ හිටපු වෛද්‍යවරයෙක් වූ ඔහු ‘මෛත්‍රී භයානකයි.’ කියන කතාව මුලින්ම කීවා. ඊට පස්සේ මෛත්‍රීට වඩා ජනාධිපතිකමට මහින්ද හොඳයි කියන තැනටත් තල්ලු වුණා. (ඒ මතවාදයට අපි පෞද්ගලිකව එකඟ නෑ.) ඔය දේශපාලනය නිසා ඔහුට කාලයක් වැඩ තහනම් වුණා. ඊට පස්සේ ඔහු ලේ බැංකුවේ ප්‍රධානියා විදියට පත් වුණා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා එක්ක වෛද්‍ය බෙල්ලන ටිකක් දේශපාලනිකව හිතවත් වුණා. එතෙක් රාජිතට පන්න පන්නා විවේචනය කරපු බෙල්ලන, යම් දුරකට රාජිත එක්ක සන්ධානගත වෙලා හිටියේ.

ඒ අවස්ථාව පාවිච්චි කරමින් ලේ බැංකුවේ ලොකු වංචාවක් කියලා බෙල්ලනට දරුණු චෝදනා එල්ල කරමින් මාධ්‍ය වාර්තා පවා පළ වුණා.

වෛද්‍ය බෙල්ලනට අනුව නම් පාදෙණිය කියන්නේ සීඅයිඒ ඔත්තුකාරයෙක්. ඒකත් අපට එකඟ වෙන්න හෝ ඔප්පු කරන්න බැරි ‘කුමන්ත්‍රණ න්‍යායකට බර’ අදහසක්. ඔය වගේ කඩාගෙන යන අදහස් වෛද්‍ය බෙල්ලන නිතර කියනවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඇත්තටම වෛද්‍ය සංගමයේ හිටපු ප්‍රබලයෙක් ඔහු. පාදෙණියගේ සමකාලීනයෙක්. යුද්ධය කාලයේ උතුරේ වෛද්‍ය සංගමය දුර්වල වෙලා හිටියේ. ඒ කාලයේ උතුරේ ශාඛා ශක්තිමත් කරලා යුද්ධය තිබුණු පැතිවල සංවිධාන කටයුතු කරපු දක්ෂයෙක් බෙල්ලන. ඒ ක්‍රියාකාරීත්වය නිසා සංගමයේ සහකාර ලේකම් වෙමින්, ප්‍රධාන ධාරාවේ වැඩ කරපු කෙනෙක් ඔහු. පසුකාලීනව තමයි වෛද්‍ය පාදෙණියලාගේ වැඩ ගැන කේන්තියෙන් ඉවත් වුණේ.

ඒත්, අපි කාලයක් තිස්සේ ආශ්‍රය කරන නිසා අපි දන්නවා ඔහු අවංක වෛද්‍යවරයෙක්. ඔහු හිතට එකඟව වැඩ කරන කෙනෙක්. දූෂණ විරෝධය මත දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරපු කෙනෙක්. ඒ විදියට හැම කඳවුරටම විරුද්ධ වැඩ කරලා තියෙන නිසා හැම කඳවුරේම අයගේ විවේචනටයටත් ලක් වූ කෙනෙක්.

තමන්ගේ නම හදාගැනීමේ අමාරුවක් නැති කෙනෙක්. ඒ නිසයි ඔහුගේ තනි සාකච්ඡාවක් ඉල්ලුවාම ඒ වෙනුවට සංසදයේ ප්‍රධාන තුන්දෙනාගේම සාකච්ඡාවක් කරමු කියලා ඔහුම යෝජනාවක් කළේ.

වෛද්‍ය කමල් ඊට වඩා කල්පනාකාරීයි. කොහොමත් ඔහු කලාකරුවෙක්. දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. වෛද්‍ය බෙල්ලනගේ හෝ නිරෝෂණගේ වේගය ඔහුට නෑ. කල්පනා කරලා කතා කරනවා.

වෛද්‍ය කමල් ඒ පෙරේරා

ඇයි මේ ගැන කතා කරන්නේ?

කොහේවත් යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රශ්නයක් අපි අදාල කර ගන්නේ මොකටද කියන ප්‍රශ්නය කෙනෙක් අහන්න පුළුවන්.

ඒත්, ඇත්තටම මේකට පැති දෙකකින් වෛද්‍ය කමල් පෙරේරා උත්තරයක් දුන්නා. වෛද්‍ය වෘත්තිකයන්ගේ පැත්තෙන් සහ රටේ ඉන්න සුවහසක් සාමාන්‍ය පුරවැසියන්ගේ පැති දෙකෙන්.

වෘත්තිකයන් විදියට වෛද්‍ය නිලධාරීන් සලකන්න ඕනෑ මේ රටට ලෝකයට වෘත්තියක් විදියට තමන්ගේ දායකත්වය උපරිමයෙන් දෙන්නේ කොහොමද කියන එක. තනි තනි වෛද්‍යවරුන් විදියට වගේම මේ වෘත්තිය නියෝජනය කරන පෙරමුණක් විදියට රටට දායකත්වයක් දෙන්නට සංවිධානගත වීම වැදගත්. ඒ වගේම තමන්ගේ වෘත්තියට අයිති අයිතිවාසිකම් දිනාගන්නත් සංවිධානගත වෙන්න ඕනෑ.

අනෙක් පැත්තෙන් පුරවැසියන් තේරුම් ගන්න ඕනෑ මෙවැනි සංවිධාන රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් බැඳීමක් තියෙන සංවිධාන බව. 

පාදෙණියගේ ඉතිහාසය

වෛද්‍ය නිරෝෂණ අනුරුද්ධ පාදෙණිය වෛද්‍ය ශිෂ්‍යයෙකු කාලයේ ඉඳන් දන්න කියන කෙනෙක්. ඔහු පාදෙණියගේ අතීත ‘සගයෙකු’ විදියටත් ඇතැම් අය හඳුන්වනවා. කොහොම වුණත් තමන් ‘සගයෙක්’ වෙලා හිටපු බව ප්‍රතික්ෂේප කරමින්ම ඔහු මෙහෙම කීවා.

‘වෛද්‍ය පාදෙණියගේ සගයෙක් නම් නෙවෙයි මම. ඒත්, අපි කොළඹ වෛද්‍ය පීඨයේ හිටපු කාලයේ ඉඳන් මම ඔහුව දන්නවා. ඒ කාලයේ අපි ඔහු ගැන හිතුවේ ගමෙන් ආපු, අවංක, දක්ෂ තරුණ සගයෙක් විදියට. ඒ කාලයේ ඔහු ගොඩක් වැඩ කරනවා වගෙයි පෙනී හිටියේ.

ඒත්, ඇත්තටම කීවොත් එදා ඔහු තමන් කළාය කියලා ගෞරවය දාගත්ත සමහර වැඩ ඇත්තටම කරලා තියෙන්නේ ඔහු නෙවෙයි කියන එකත් අපි පස්සේ කාලවල දැනගත්තා. ඒ කියන්නේ ශිෂ්‍ය සංගම්වල ජයග්‍රහණ විදියට තමන්ගේ ගිණුමට දාගත්ත සමහර වැඩ වෙන අය කරලා තියෙන්නේ.

ඇත්තටම අනුරුද්ධ පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත්ත දවසේ ඉඳන් ඕක කරපු දෙයක් නෑ. සංගමය අහෝසි වෙලා තමයි. ඇත්තටම පාදෙණිය කරලා තියෙන එක වැඩක් කියන්න එපායැ.

දැන් ගුරුවරුන් උද්ඝෝෂණය කරලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරනවා. ඒත්, වෛද්‍යවරුන් රාජ්‍ය සේවයේ වැඩිම වැටුප් විෂමතාවක් තියෙන සේවයක් බවට පත් කරලා තියෙනවා. ඇත්තටම සමහර වෛද්‍යවරුන් ලබන ගෙවීම් ප්‍රමාණවත් නොවන බව සමහර අය දන්නේත් නෑ.’

පාදෙණිය සංගමය මැරුවාද?

පාදෙණියගේ කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමාණවත් තරම් වෘත්තිය ගරුත්වය, අයිතිවාසිකම්, වෘත්තිය ගැන සමාජයේ අවබෝධය ආදී මාතාකා ගැන කතා කළේ නැති බව කියනවා. ඒ නිසාම සංගමය අක්‍රිය වූ බව, නැත්නම් මියගිය බවත් ඇතැම් අය කියනවා.

ඒ ගැන වෛදය කමල් ඒ. පෙරේරා මෙහෙම කීවා.

‘අක්‍රිය සහ සක්‍රීය තත්වය ගැන කියද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සක්‍රීය බවක් පෙනෙනවා. සක්‍රීය වෙලා නම් තියෙනවා. ඒත්, ඒ වෛද්‍යවරුන්ගේ සුභසිද්ධිය උදෙසා නෙවෙයි. වෛද්‍යවරුන්ගේ වෘත්තිය සහ සුභසාධනය පිළිබඳ ගැටලුවලදී අක්‍රීය බව අපි දැක්කේ.

ඒත්, වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටලුවලට පරිබාහිර දේශපාලන කාරණා, ජාත්‍යන්තර කාරණා ආදී දේවල් ගැන පහුගිය කාලයේ සක්‍රීය බවක් පෙනුණා.’

පාදෙණිය නැත්නම් සංගමය නැද්ද?

පාදෙණිය නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙනියන්න බෑ කියන අදහසට සාකච්ඡාව යොමු වුණේ ඔය අතර. වෛද්‍ය නිරෝෂණ ඒ ගැන කීවේ මෙහෙම.

‘ලෝකයේ අදහසක් තියෙනවා කවුරුත් මේ ලෝකේ අත්‍යවශ්‍ය පුද්ගලයන් නෑ කියලා. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කාලයේ ඒ ආණ්ඩුවත් එක්ක ජීඑම්ඕඒ එක හැප්පුණා. ඒ හේතුවෙන් විධායක කමිටුවට නඩු දැම්මා. ඒත් එතකොට වෛද්‍යවරුන් ඒ විධායක කමිටුවේ පුද්ගලයන් පස්සේ ගියේ නෑ. වෛද්‍යවරුන්ගේ වෙනම කමිටු කිහිපයක් හැදුවා. ඒ කමිටුවලින් ක්‍රියාකාරීව කටයුතු කළා. මොකද, පුද්ගලයන් වැදගත් වුණේ නැති නිසා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව තියෙන්නේ අකර්මණ්‍ය කරන්න නෙවෙයි. ඒත්, සංගමයේ ව්‍යවස්ථාව අනුව විධායක කමිටුවට කාලසීමාවක් තියෙනවා. ඒ කාලසීමාව ඉක්මවූවාම විධායක කමිටුවේ බලය අහෝසි කෙරෙනවා. ව්‍යවස්ථාවට අනුව එහෙම වුණොත් අන්තර්වාර කමිටුවක් පත් කරන්න පුළුවන්. අන්තර්වාර කමිටුවක් පත් නොකළේ දැන් ඉන්න අයම තමයි.

ඒත්, එහෙම පත් කළේ නෑ. ජීඑම්ඕඒ එක නඩුවලට මැදි කරපු අය නෙවෙයි වග කියන්න ඕනෑ. අන්තර්වාර කමිටුවක් නොදා, ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරපු අය. ඒ වෙනුවට ජයරුවන් බණ්ඩාර හෝ නඩු දැම්ම වෙන අයව විවේචනය කරලා වැඩක් නෑ.

මේ ආණ්ඩුව එක්ක දේශපාලන ගනුදෙනුවක හිටියා හිටපු සභාපති පාදෙණියලා. බැසිල් රාජපක්ෂ මහතාම කීවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නාමයෝජනා දුන්න බව. ඒත්, ඔවුන් බලාපොරොත්තු වූ විදියට ආණ්ඩුවෙන දේවල් හම්බ වුණේ නෑ. බලාපොරොත්තු කඩවීමට ලක් වුණා.

ඒත්, ඔවුන්ගේ ඒ දේශපාලන ගමන වෛද්‍යවරුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ දේශපාලන ගමනක් වෙනුවෙන්. ඒත්, ඔහු හිතූ තැනට ගමන් කරන්න දැන් බැරි වෙලා තියෙනවා.

ඒත්, ඔහු (පාදෙණිය) දන්නවා වෛද්‍යවරුන් හැමෝම ඔහුගේ දේශපාලන භාවිතාව ගැන හොඳට දන්න බව. දේශපාලනය කළා කියලා හැමෝටම තේරෙන බව. දේශපාලන ප්‍රශ්නවලට හැමදාම ඔහු අත දැම්මා. රාජ්‍යතාන්ත්‍රික දේශපාලන ප්‍රශ්න, කෘෂිකර්ම ප්‍රශ්න, ජාත්‍යන්තර ගිවිසුම් ගැන ප්‍රශ්න ආදී හැම එකකම විශේෂඥයෙක් වගේ පෙනී හිටිමින් වෙන ගමනක් ආවේ.

දැන් ඒ ගමනත් ඇණහිටලා. සාමාජිකත්වය වෙනුවෙන් කිසිදෙයක් කරලාත් නෑ. ඉතින්, ස්වභාවික මරණයකට ඔහු යමින් ඉන්නේ. දැන් අධිකරණ ක්‍රියාවලීන්ට මැදි වෙලා ඔහු ඒ ගමන තමයි යමින් ඉන්නේ.

දැන් ඔහු උත්සාහ කරමින් ඉන්නේ තමන්ට හිතවත් අය දාගෙන කොහොමහරි තවදුරටත් අල්ලාගෙන ඉන්න.’

සංගමයේ ඡන්ද ක්‍රමය

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔය අතර අදහස් දැක්වීමක් කළේ මේ විදියට.

‘වෛද්‍යවරුන් වෙනුවෙන් එතරම් කාර්යභාරයක් කරලා නැති පසුබිමක වෛද්‍යවරුන් තුළින්ම අරගලයක් ඇති වෙලා තියෙනවා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සභාපතිකමට ඉල්ලුවා. වෛද්‍ය අතපත්තු කියලා වෛද්‍යවරයෙක් ලේකම් වෙන්න ඉල්ලුවා. පාදෙණියට විරුද්ධව පිරිස් ඉදිරිපත් වුණා.

මේක තමයි සාමාන්‍යයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්ප්‍රදාය. විවිධ අය තනතුර සඳහා ඉදිරිපත් වුණා. ඒක කාටවත් විරුද්ධව කුමන්ත්‍රණය කිරීමක් විදියට සැලකුවේ නෑ.

අනෙක, ඕනෑම කෙනෙක් සංගමයේ යම් තනතුරකට පත් වෙලා ජීවිත කාලයක් ඒක අල්ලාගෙන හිටියේ නෑ. ව්‍යවස්ථාවෙන් වාර දෙකක සීමාවක් නැතත්, සාමාන්‍යයෙන් වාර දෙකකට වඩා තනතුරුවල හිටියේ නෑ. මොකද, වෛද්‍යවරුන් විදියට කාටද අප්පා වෘත්තිය සමිතිවලට ජීවිත කාලයක් කැප කරන්න උනන්දුවක් හෝ වෙලාවක් තියෙන්නේ.

උදාහරණයක් විදියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ප්‍රධාන තනතුරු දරන හැමෝම දිනපතා වැඩ කරන වෛද්‍යවරුන්. වෘත්තිය සමිතියකට කැප වෙලා හැමදාම ඉන්න හැකියාවක් වෘත්තිකයන් වශයෙන් නෑ.

අසූ ගණන්වල, අනූ ගණන්වල වෛද්‍යවරුන් විශාල පිරිසක් අවුරුදු දෙකක් ආදී වශයෙන් වැඩ කරලා ගියා. ඒත්, ඒ සංස්කෘතිය බිඳ දැම්මේ වෛද්‍ය පාදෙණිය. හැමදාම ඔහු බලයේ ඉන්න උත්සාහ කරනවා.

මගෙන් සමහරවිට රටේ ප්‍රභූවරුන් අහන දෙයක් තමයි අනුරුද්ධ පාදෙණිය හැමදාම ඔය තනතුරේ ඉන්නේ කොහොමද කියන එක. ඒකට හේතුව මේකේ ඡන්ද ක්‍රමයක් නැති නිසා. හරි පුදුමයි. ලංකාවේ බාර් ඇසෝෂියේෂන් කියලා එකක් තියෙනවා. සිංහලෙන් කීවොත් නීතිඥ සංගමය.

පුදුම විදියක සාධාරණත්වයක් එතැන නිලවරණවලදී තියෙනවා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බලයේ හිටපු සභාපතිවරයාට මතවාදීව විරුද්ධ පැත්තකින් ඇවිත් ජයග්‍රහණය කළා. ඒ නිලවරණය මෙහෙයවන්නේ සංගමයේම පිරිසක් නෙවෙයි. ඒ වෙනුවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් ඒ නිලවරණය මෙහෙයවනවා. දිස්ත්‍රික් මට්ටමෙන් ඡන්ද පොළවල් දාලා තියෙනවා. නීතිඥවරුන් තමන්ගේ ප්‍රදේශයේ ඡන්ද පොළට ගිහින් ඡන්දය පෙට්ටියට දාලා සාධාරණ විදියට ඡන්දය දෙනවා.

ඒ මේ රටේ ඉන්න 15,000ක පමණ නීතිඥවරුන්. දැන් රජයේ වෛද්‍යවරුන් 23,000කට එහා ඉන්නවා. ඒත්, අර වගේ ඡන්ද ක්‍රමයක් නෑ. ඒකම තමයි පාදෙණිය දිනන්න හේතු වුණේ.

රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ ඡන්ද ක්‍රමය අමුතුයි. ඡන්දය කරන්නේ සංගමයේම මැතිවරණ කමිටුවකින්. මේ කමිටුව පත් කරන්නේ බලයේ ඉන්න අය. දැන් ඒකට දාන්නේ සංගමයේ බලය තියෙන පාර්ශ්වයේ වන්දිභට්ටයන්.

ඒ ඒ ප්‍රදේශවල ඉඳන් ඡන්දය ප්‍රකාශ කරන්න බෑ. ඡන්දය දාන්න කොළඹ එන්න ඕනෑ. ඒත්, නිවාඩු දාගෙන එන්න ගොඩක් කාර්යබහුල වෛද්‍යවරුන්ට වෙලාවක් නෑ. ඇත්තටම වෛද්‍යවරුන් විසිදාහට එහා හිටියත්, ඒ අය අතරින් පාදෙණිය දිනපු හැම නිලවරණයකදීම ඡන්දය දීලා තියෙන්නේ වෛද්‍යවරුන් අතරින් උපරිම සීයට 10ක්-15ක් අතර පිරිසක්. එතැනිනුත් ප්‍රතිශතයත් පාදෙණියට විරුද්ධව ඡන්දය දීලා. අති බහුතරය ඡන්දය දාලාත් නැහැ.

ඒ අනුව වෛද්‍යවරුන්ගේ ඉතා සුළුතර පිරිසක ඡන්දය ලබලා තමයි ඔහු බලයට එන්නේ.

තැපැල් ඡන්ද ක්‍රමය කියලා එකක් තියෙනවා. මේවා පාවිච්චි කරමින් දූෂණ වංචා කරන බවට සැක කරන්න තීරණාත්මක සාධක තියෙනවා. ඒ කියන්නේ හොර ඡන්ද චෝදනා තියෙනවා.

යම් සංගමයක නිලවරණයකට ඉදිරිපත් නොවෙන එක හෝ ඉදිරිපත් වෙන එක සාමාජිකයන්ගේ අයිතිවාසිකම. දැන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු පිරිසක් නිලවරණයට ඉදිරිපත් වුණානේ. ඒ අය දැන් දුෂ්ඨයෝ. දේශද්‍රෝහීන් වගේ. කුමන්ත්‍රණකාරයන් වගේ.

සාමාන්‍යයෙන් මේ වගේ කතන්දරවලට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් අහු වෙන්නේ නෑ. ඒත්, ඊයේ පෙරේදා පාස් අවුට් වෙච්ච වෛද්‍යවරුන් මේ කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කරනවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයට හෙවත් අපට පවා චෝදනා කරනවා මේ කුමන්ත්‍රණ පිටිපස්සේ ඉන්න බව. අපට අමතරව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, රාජිත සේනාරත්න, බැසිල් රාජපක්ෂ, දිලිත් ජයවීර ආදී නොයෙකුත් අදෘෂ්‍යමාන බලවේග ගැන කතාන්දර තරුණ වෛද්‍යවරුන් අතර ප්‍රචාරය කරනවා.

කොහොම නමුත් අන්තිමේ මේ සංගමයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. අපි වගේ රටවල්වල ඒකාධිපතිවාදයටත් එහා ගිය ඉඩි අමීන් වර්ගයේ ඒකාධිපතිවාදයක් තියෙන්නේ. විරුද්ධව ඡන්දයක් ඉල්ලන්නවත් බෑ.

කොහොම නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ තත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව පාදෙණියලාගේ ක්‍රියාකාරීත්වයවත්, ඔවුන්ට පක්ෂව නිලවරණවලදී ඡන්දය දෙන අයවත් නෙවෙයි. මේවා ගැන පිළිකුලක් තිබුණත්, ඡන්දයක්වත් නොදා නිහඬව ඉන්න අය. හොඳ මිනිසුන්ගේ නිහැඬියාව.

හැබැයි ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් යාපනයේ හෝ හම්බන්තොට හෝ වව්නියාවේ සේවය කරන කෙනෙක්ට නිලවරණයට එන්න වෙලාවක් නෑ. හැබැයි පාදෙණියලා තමන්ට පක්ෂ අයව ප්‍රවාහන සේවාවන් දාලා ගෙන්වනවා.

මේ ක්‍රමයට එරෙහිව ඇතුළේ කතා කරපු අය තමයි වෛද්‍ය සංසදය විදියට කඩාගෙන වෙන් වෙලා ආවේ. වෛද්‍ය නිරෝෂණ, කමල් ඒ පෙරේරා වගේ අය සංගමය අභ්‍යන්තරයේ කටයුතු කරපු අය. ඇතුළේ තර්ක කරද්දී, ඔවුන්ට විරුද්ධව ගැටුම් ඇති වුණා. ඒ නිසයි වෙන් වුණේ.

මේ සංගමයේ ආරවුල් 2006 විතර කාලයේ ඉඳන් තිබුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙන් වුණා. අපි වෙන් වුණා. අපට අමතරව දැන් වෛද්‍යවරුන්ගේ සංගම් හතරක් විතර තියෙනවා. ඒ බොහොමයක් වෙන්වීම්වලට හේතුව කළකිරීම.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය අතපත්තු වගේ අයට මම පෞද්ගලිකව කරපු යෝජනාව තමයි ඕක ඇතුළේ තරග කරලා වැඩක් නෑ. එළියට ඇවිත් වෛද්‍ය සංසදයට සම්බන්ධ වෙන්න. අපි තනතුරු බදාගෙන ඉන්නේ නෑ. ක්‍රියාකාරීව වැඩ කරන්නට තනතුරු දෙන්න අපි සූදානම්.’

ප්‍රතිරූප වන්දනාව

කමල් ඒ පෙරේරා නැවත කතාව යොමු කළේ ප්‍රතිරූප වන්දනාව පැත්තට. ‘ඕනෑම සංවිධානයක් යම් කාලසීමාවන්හිදී ඉහළ පීක් එකකට එනවා. තවත් කාලවල කඩා වැටෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. ඒත්, එක පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයක් නංවපු කාලයක් අපි කවදාවත් අහලා නැහැ. ඉතිහාසයේ යම් යම් සභාපතිවරුන් පත් වෙලා, අවුරුද්දක් දෙකක් ක්‍රියාකාරීව ඉඳලා අයින් වෙනවා. තමන්ගේ රාජකාරියට යොමු වෙනවා.

අපි බලන්න ඕනෑ මේ විදියට එක පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය වර්ධනය කරලා, තමන් නැතිව බෑ කියලා මතවාදයක් හදන්නේ ඇයිද කියලා.

මේක ලංකාවේ දේශපාලනය තුළත් කරන දෙයක්නේ. පුද්ගල ප්‍රතිරූප වන්දනාව. මේ තත්වයට පත් වුණාම ඕනෑම සංවිධානයක්, රටක් දූෂිත තත්වයට පත් වෙනවා. එක කෙනෙකුගේ ප්‍රතිරූපයක් ගොඩනංවන්න හිතවතුන් පිරිසක් ගොඩනගාගන්නවා. ඉතින්, පරිහානියට පත් වෙනවා.

ඒත්, මේක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානයක්. මෙහෙම වෘත්තිකයන්ගේ සංවිධානවල අපි මෙහෙම තත්වයක් දැකලා නෑ. නීතිඥ සංගමය වගේ ඒවා කාලීනව සාධාරණ නිලවරණ ක්‍රමයක් හදාගෙන තියෙනවානේ.

දැන් රටේ කොවිඩ් වසංගතය හෝ වෙන දේවල් ගැන මහා සංවාද කරමින් කතා කරන සංවිධානයක් ඇයි තමන්ගේ මැතිවරණ ක්‍රමය හදා ගන්නේ නැත්තේ. මේ දූෂිත තත්වය රඳවාගෙන යන්න ඔවුන් උත්සාහ කරනවා.

මා හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව කිසිම සංවිධානයක් ඉදිරියට ගෙනියන්න බෑ.’

දූෂණය

වෛද්‍ය පාදෙණියගේ ධුර කාලය ගැන කතා කරද්දී මේ සංගමයේ මැතිවරණ ක්‍රමය වගේම අරමුදල් ගැනත් කතා කරන්න ඕනෑ.

වෛද්‍ය නිරෝෂණ ඒ පැත්තට කතාව යොමු කළා.

‘අපි 2013 අවුරුද්දේ විතර වාරණයක් ගත්තා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව. ඡන්දයක තියෙද්දී තමයි වාරණය ගත්තේ. අපි මතු කරපු ප්‍රධාන කාරණයක් තමයි එකතු වෙන සල්ලිවලට මොකද වෙන්නේ කියලා. අපි ඔය ගැන දූෂන විමර්ශන කමිටු ආදියටත් පැමිණිලි කළා.

ඒත් ප්‍රශ්නය තියෙන්නේ නඩුව දාලා වාරණය ගත්තාට පස්සේ සංගම් කාර්යාලය වැහුවා. අන්තර්වාර කමිටුවකුත් දැම්මා. ඒත්, අන්තර්වාර කමිටුව කාර්යාලය විවෘත කරන්න එදා ආණ්ඩුවත් උදව් කළේ නෑ. (කාර්යාලයේ තිබුණ ලිපිගොනු ආදිය නිරීක්ෂණය සඳහා) දේශපාලන බලය පාවිච්චි කරලා කාර්යාලය අරින්න දුන්නේ නැහැ.

කෙසේ වෙතත් කාර්යාලය ඇතුළේ වංචා තිබුණ බව අපි දන්නවා.

විශේෂයෙන් ඔය ඇතුළේ වැඩ කරපු අය මා එක්ක කියා තියෙනවා නිලවරණවලදී ඡන්ද පත්‍රිකා හොරෙන් මුද්‍රණය කරලා හොර ඡන්ද දාපු බව.

වෛද්‍ය බෙල්ලන කීවා ඡන්දය නොදා ඉන්න අය ගැන. ඒත්, කට්ටිය ඡන්දය දාන්නේ කොහොමද හරි සාධාරණ ඡන්දයක් පවත්වන්නේ නැති නම්. බොරුවට ඡන්දයක් තියනවා කියලා, තැපැල් ඡන්ද එකතු කරලා වංචා කරනවා. තමන්ට වාසි සහගත විදියට හදනවා.

ඔය විදියට කරන අය තමයි සෝවාන් වූ අය වගේ ටීවීවලට ඇවිත් බණ කියන්නේ.’

කෙසේ වෙතත් ඒ මාතෘකාව ගැන තීරණාත්මක අදහස් දැක්වීමක් කළේ වෛද්‍ය බෙල්ලන.

‘සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් 20,000ක් විතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් විදියට ඉන්නවා. පත්වීම ලබනකොටම යම් දුරකට බලහත්කාරයෙන් වගේ සංගමයට බන්දවා ගන්නවා. ඒ අතරින් සීයට 80ක්වත් වාර්ෂික මුදල ගෙවනවා කියලා අනුමාන කරමු. මේක වැටුපෙන් කපන නිසා ගෙවන්නේ නැතිව ඉන්නවා කින එක බොරුවක්. ඒ අනුව අවුරුද්දට රුපියල් 6000 ගාණේ වෛද්‍යවරුන් 16,000 දෙනෙකුගෙන් සල්ලි කැපුවොත් මිලියන 100ක් වගේ වර්ෂයකට එකතු වෙනවා. එතරම් මුදලකින් මේ සංගමය මොනවාද සාමාජිකයන්ට කළොත්.

කවුරුහරි කෙනෙක්ට අනතුරක් වුණොත් සුභසාධනයක් කරන්නේ නෑ. වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන වෛද්‍යවරුන් බොහෝ විට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ වෙලාවක උදව් කරන්නේත් නෑ. මේ තරම් මුදලක් එකතු කළොත් අවුරුදු පහකදී මිලියන 500ක් විතර එකතු වෙනවා.

මීට අමතරව සංගමයට අයිති ස්ථාවර තැන්පතු කිහිපයක් තියෙනවා. ඒවායේත් සල්ලි තියෙනවා.

මේ වගේ සංගමවල වාර්ෂික අයවැයට විගණනය කරපු ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. ඒත් මේ සංගමයේ ඉදිරිපත් කරපු වාර්තාවේ විස්තර නෑ. මතුපිටින් මේ මේ වැය ශීර්ෂවලට මෙච්චර වියදම් කළා කියලා තියෙනවා විතරයි. ඉන් එහා ගිය විස්තර නෑ.

මේවායින් පෙනෙන ප්‍රශ්නයක් තමයි මුදල් අවභාවිත වෙනවාද කියන එක. ඒවා දැනගෙන තමයි අපි ඔතැනින් වෙන් වෙලා වෙනම කටයුතු කරන්නේ.

කෙසේ නමුත් සංගමය ඇතුළේ ඉන්න වෛද්‍යවරුන්ටත් අපි යමක් කියන්න ඕනෑ. ඔවුන් වෙනම සංගම්වලට එකතු වෙන්න කැමති නැත්නම් අඩු තරමේ අභ්‍යන්තරය තුළ තමන්ගේ වගකීම ඉටු කරන්න ඕනෑ. මොකද, මේ සංගමය දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිත වූ, රජයේ නීතිරීතිවලිනුත් පිළිගත් ආයතනයක්. මේකේ ප්‍රජාතන්ත්‍රවාදය සංගමයේ ව්‍යවස්ථාව තුළ පවා පිළිගන්නවා. ඒත් රටක ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියා වෙනුවෙන් වගේ, සංගමයේ ප්‍රජාතන්ත්‍රවාදය සාමාජික වෛද්‍යවරුන් වෙනුවෙන්. ඉතින් තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය රැකගන්න සාමාජිකයා සටන් කරන්න ඕනෑ.’

සංවාදය ඔහු අවසානයේ යොමු කළේ වෛද්‍යවරුන්ගේ පැත්තට. තමන්ගේ වෘත්තිය ගෞරවය රැක ගන්න ඔවුන්ට පුළුවන්ද? ඒක තමයි වැදගත්ම දේ.