පී.බී. සීඅයිඒ ඔත්තුකාරයෙක්ද? ආර්ථික ඝාතකයෙක්ද?

අපි උත්තර හොයන්න යන්නේ ප්‍රශ්න තුනකට. පී.බී. ජයසුන්දර සීඅයිඒ ඔත්තුකාරයෙක්ද? ලංකාව ආර්ථික වශයෙන් වැට්ටුවේ ඔහුද? පහුගිය අගෝස්තු 23 වැනිදාට අවුරුදු 72ක් සම්පූර්ණ කරපු මේ වියපත් ආර්ථික විද්‍යා ආචාර්යවරයා ලංකාවේ ආර්ථික ඝාතකයා විදියට හඳුන්වන්න පුළුවන්ද?

1949 දී උපත ලැබූ පී.බී. ජයසුන්දර කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පස්සේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් 1973 දී ආර්ථික විද්‍යාවට බීඒ  උපාධිය ලැබුවා.

1974 දී ඔහු මහ බැංකුවේ සේවයට එකතු වෙලා තිබුණා.

ඉන් පස්සේ බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් 1984 දී ආචාර්ය උපාධිය ලැබුවා. ඉන් පස්සේ ‘සීනියර් ඉකොනොමිස්ට්’ කෙනෙක් විදියට සුදුසුකම් ලැබුවා.

සීඅයිඒ ඔත්තුකාරයාගේ කතාව එන්නේ ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංකාවට ආපු නිසයි. ඔය කාලයේ ඇමෙරිකාවට ගිහින් අධ්‍යාපනය ලැබූ අය සීඅයිඒ ඔත්තුකාරයන්ද කියන කතාව ලංකාවේ ජනප්‍රිය අදහසක් වුණා.

කොහොම නමුත් මහ බැංකුවේ ඉඳපු මේ නිලධාරියා 1990 දී විතර මහා භාණ්ඩාගාරයට හෙවත් මුදල් අමාත්‍යාංශයට සේවය සඳහා ගියා.

සාමාන්‍යයෙන් මේ විදියට මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයේ සේවයට ඇතැම් නිලධාරීන් යනවාලු. එතකොට ඔහු මහ බැංකුවෙන් ගිය නිලධාරියෙක් විදියට තමයි නිල වශයෙන් සලකන්නේ. යම් කාලසීමාවක් වැඩ කරලා ආපහු මහ බැංකුවට එන්නත් පුළුවන්. ඒත්, පී.බී. ජයසුන්දර භාණ්ඩාගාරයට ගියේ එන්න නෙවෙයි. ඔහු එතැන පැළපදියම් වුණා.

මතක තියාගන්න, ඔහු භාණ්ඩාගාරයට යනකොට යූඇන්පී ආණ්ඩු තිබුණේ. පාස්කරලිංගම්ලා භාණ්ඩාගාරය රන් කළේ. පීබී ඔවුන් එක්කත් මනාව පෑහිලයි හිටියේ. ඒත් 1994 දී ආණ්ඩු මාරු වුණා.

1997 දී භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට පැනගන්න ඔහු සමත් වුණේ චන්ද්‍රිකා ආණ්ඩුව එක්ක ක්ෂණිකව සෙට් වෙමින්. ඊට කලින් 1995 දී ඔහු භාණ්ඩාගාරය ඇතුළේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් වෙලා හිටියේ.

1999 දී පළවැනි වතාවට ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම්, භාණ්ඩාගාර ලේකම් බවට පත් වුණා. 2001 දී යූඇන්පී ආණ්ඩුව තිබුණු කාලසීමාවේ ඒ තනතුරෙන් මාරු වුණා. ඊට පස්සේ අයිඑම්එෆ් එකට සහ ලෝක බැංකුවට ලංකාවේ උපදේශකයෙක් විදියටත් වැඩ කළා. අර සීඅයිඒ චෝදනාව තවත් ශක්තිමත් වෙන්නේත්, ඔය කාලසීමාවේ ‘බටහිර ආයතනවලට’ සේවය කරපු හින්දායි.

එයින් පස්සේ 2004 දී නැවතත් චන්ද්‍රිකා බණ්ඩාරණායක අගමැතිනිය ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට පත් කෙරුණා. ඇත්තටම පී.බී. එදා චන්ද්‍රිකාගේ මිනිහෙක්. පස්සේ තමයි මහින්ද රාජපක්ෂට සමීප වුණේ.

2008 ඔක්තෝබර් 06 වැනිදා එදා අගවිනිසුරු සරත් එන් සිල්වාගේ නඩු තීන්දුවකින් ඔහු සියලු රාජ්‍ය තනතුරුවලින් දොට්ට දැම්මා. ඒ වෙද්දී මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති විදියටත් ඔහු හිටියා.

තීන්දුව දෙන්න හේතු වුණේ ඔහු යූඇන්පී ආණ්ඩුව කාලයේ 2002 දී පබ්ලික් එන්ටප්‍රයිස් රිෆෝම් කොමිෂන් එකේ සභාපතිවරයාව කරපු වැඩක් හින්දා. ඔය කොමිසම ලංකා මැරීන් සර්විසස් සමාගම පෞද්ගලීකරණය සඳහා නියමිත ක්‍රමවේදවලට පිටින් කටයුතු කළා කියලයි තීන්දුව ලැබුණේ. කැබිනට් අනුමැතිය ලැබෙන්නත් කලින් ලිපි හුවමාරු කරගෙන, වංචා සහගත විදියට ජෝන් කීල්ස් එකට ලංකා මැරීන් සර්විසස් එකේ සීයට 90ක කොටස් දෙන්න කටයුතු කරපු එකට.

එයින් පස්සේ ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන තැනට තමයි කතාව තිබුණේ. නැවත කිසිදා තනතුරක් බාර ගන්න එපා කියලයි එදා තීන්දුව දුන්නේ.

ඔහු සමුගැනීමට උත්සවයක් පවා බීඑම්අයිසීඑච් එකේ තිබුණා. රංජිත් සියඹලාපිටිය එවකට මුදල් රාජ්‍ය ඇමතිවරයා ඇතුළු අයගේ සහභාගීත්වයෙන් තිබුණ ඒ උත්සවයේදී ඔහු කියා තිබුණා පොතක් පතක් කියවාගෙන විවේකීව ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි, ‘එදා’ උත්සවයේදී මාතෘකාවක් වෙලා තිබුණේ පී.බී. ජයසුන්දරගේ අවුරුදු කිහිපයක රට ගොඩගැනීමේ සැලසුමක් ගැන. එදා කීවේ 2010 වෙද්දි ආර්ථිකය ගොඩ ගන්න සැලසුමක් ඔහු ක්‍රියාත්මක කරමින් හිටපු බව. ඒකේ ප්‍රතිඵල 2010 වෙද්දී දකින්න ලැබෙනු ඇති බවත් ඔහු කියා තිබුණා.

කොහොම නමුත් ඔහුගේ ‘පොත් කියවීම’ තිබුණේ අවුරුද්දයි. හරියටම කීවොත් සරත් එන් සිල්වාගේ ධුර කාලය ඉවර වෙනතුරු විතරයි. 2009 දී අශෝක ද සිල්වා අගවිනිසුරු වුණාට පස්සේ තමන්ට තනතුරු බාරගැනීම තහනම් වෙච්ච තීන්දුවට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඉන් පස්සේ 2009 සැප්තැම්බර් 28 වැනිදා නැවතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුව මුදල් අමාත්‍යාංශ ලේකම් විදියට පත් කළා.

ඉන් පස්සේ 2009 දී තනතුර බාර ගත්තා. ඒ අවුරුද්දේ නොවැම්බර්වල ඔහු බිස්නස් ටයිම්ස් වෙත දුන්න ඉන්ටවීව් එකකදී 2016 වෙද්දී රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් කරන වැඩසටහනක් ගැන කයිවාරු ගහලා තිබුණා.

2010 ජුලිවල ඔවුන්ටම දුන්න ඉන්ටවීව් එකකදී කීවේ ඒ වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මක වෙන බව. දළ ජාතික නිෂ්පාදනය සීයට 7.1ක් දක්වා වැඩි වෙලා කියලත් ඔහු කයිවාරු ගහලා තිබුණා.

ඒත් ඇත්තටම ඔය කාලයේ වෙමින් තිබුණේ මහා පරිමාණයෙන් විදේශ ණය අරන් ඉදිකිරීම් කර්මාන්ත වැඩි කිරීමක්. ණය විදියට ලංකාවට විදේශ විනිමය ආපු නිසාත්, ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍රවල රැකියා තිබුණ නිසාත්, ඒවා පවා දළ ජාතික නිෂ්පාදිතයට එකතු වෙන නිසාත් එදා මාර ආර්ථික වර්ධනයක් ගණං හිලව්වල පෙනුණා.

2015 දක්වා භාණ්ඩාගාර ලේකම් වෙච්ච ඔහු, එදා ඔහු සහ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා රාජපක්ෂලා වෙනුවෙන් ඒ දත්ත මැජික් එක පෙන්නුවා. ‘ආසියාවේ ආශ්චර්ය’ කියලා ඒ වර්ධනය මවා පෙන්නුවා.

කොහොම නමුත් පොඩි මිනිහා පීඩාවට පත් වෙන, පිටරටින් ගන්න ණයවලින් ධනපතියන් සල්ලි හොයන මේ සිස්ටම් එක නුදුරේදීම කඩාවැටෙන බව ඔහු 2013 වෙද්දී දැක්කා. ආර්ථික අර්බුදයක් අත ළඟ බව ඔහු ඒ වෙද්දීම ආණ්ඩුව ඇතුළේ කියා තිබුණා.

ඒ එක්කම තමයි විමල් වීරවංශ අමාත්‍යවරයා ආර්ථික ඝාතකයා චෝදනාව ඔහුට එල්ල කරන්න ගත්තේ. එදා විමල්ගේ මේ විවේචන රාජපක්ෂලාට එල්ලවෙන විරෝධය වෙනතක හරවන්න ගත්ත උත්සාහයක්, ප්‍රෝඪාවක් තමයි. ඒත් ඔහු කීව ඇතැම් කරුණුවල ඇත්තක් නැතිව නෙවෙයි.

ඔහු එදා කීව මහින්ද රාජපක්ෂ යටතේ තිබුණ අමාත්‍යාංශ වෙච්ච ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒවායේ ලේකම්වරුන්ට පාලනය කරන්න දීලා තිබුණ බව. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය භාර ඇමති මහින්ද වුණත්, එතැන වැඩි කාර්යභාරයක් කළේ බැසිල් රාජපක්ෂ. 2010 දී හදපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඇමති.

කොහොම නමුත් ඔතැන ආර්ථික විද්‍යාඥයා පී.බී. ජයසුන්දර. ඔහු රාජපක්ෂලාට උපදෙස් දුන්නා. රාජපක්ෂලා ඔහුට ප්ලෑනින් බාර දුන්නා. විමල් 2013 දී ඉන්ටවීව් එකක පැහැදිලිව කියනවා ලංකාවට එන විදේශ ආයෝජකයන් පී.බීව කෙළින්ම මුණගැසීම සිද්ධවෙන බව. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂලා මුණගැහෙන කෙනෙක්ව පවා වුණත්, ඔවුන් පී.බී. වෙත හරවා යවන බව. ලංකාවට එන ආයෝජකයන් එක්ක බැසිල් රාජපක්ෂ ගනුදෙනු කරපු බව පිළිගන්න සාක්ෂි තියෙනවා. ඔහුට තමයි දේශපාලන බලය තිබුණේ. ඒත්, මේ වගේ ආයෝජනවල ටෙක්නිකල් කෑලි දන්නේ පීබී වගේ අය. ඉතින්, බැසිල්ටත් කලින් ආයෝජන ගැන කතා කරන්නේ පීබීලා එක්ක.

ඒ විතරක් නෙවෙයි එදා මායාදුන්නේ මහතා විගණකාධිපතිවරයාව සිටියදී පෙන්වලා තිබුණා ලංකාවේ අයවැයෙන් අනුමත නිල වැය ශීර්ෂවලට පිටින් ගිහිල්ලා, පනත් පවා උල්ලංඝනය කරමින් පී.බී. ජයසුන්දර විවිධ අමාත්‍යාංශවලට මුදල් වෙන් කරලා තියෙන බව. ඒ විදියට ඒ ඒ අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීම සඳහා තමන්ගේ ආධිපත්‍යයක් හදා ගත්ත බව.

ඇත්තටම කීවොත් ලංකාවේ ආන්දෝලනාත්මක ණය ගිවිසුම්, හිස් ණය කන්දක් විතරක් වූ ආයෝජන සැලසුම් ආදී බොහෝ දේවල් ඩිසයින් කළේ පීබී. කැබිනට් පත්‍රිකා සකස් කළේ පීබී. සමහර ගිවිසුම් ආදිය අත්සන් කළේත් පීබී.

ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධාන එකමුතුවේ සාමාජිකයෙක් වු නිහාල් ශ්‍රී අමරසේකර පොත් ගණනාවක් ලියා තියෙනවා ඉංග්‍රීසියෙන්. ලංකාවේ ආර්ථිකය කඩාවැටීම සහ දූෂණ, වංචා ගැන. ඔහුගේ පොත්වල පීබී ජයසුන්දරට විවේචන එල්ල කරලා තියෙනවා.

ඒ නිසා අපි ලංකාවේ කඩාවැටීම්වලට දේශපාලන නායකයන් වගකියන්න ඕනෑ බව කියන අතරේම, ඒවායේ ආකිටෙක්චර්ස්ලා පීබී ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් වගේ අය බව සිහිපත් කරන්න ඕනෑ.

ඇත්තටම ඔහු ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ඉක්මවන බව කීව 2010 දී අනාවැකි අද හරි ගිහිල්ලා තියෙන බවත් මතක් කරන්න ඕනෑ. යුද්ධයෙන් පස්සේ ඇත්තටම ලංකාවේ සංචාරක ආදායම ඇතුළු ආදායම් මාර්ග ගොඩක් ඉහළ ගිහිල්ලා තිබුණ බවත් ඇත්තක්. ඒත්, ඇත්තටම ඔවුන් හදපු පරිසරය ලංකාවේ නිල දත්ත අනුව වර්ධනයක් පෙනුණ, ඒත් ඇත්තටම පොඩි මිනිහාගේ පීඩනය වැඩි වෙනවා වගේම ලංකාවේ ණය අර්බුදය ඉහළ යෑමත් සිද්ධවෙන තත්වයක්.

ඇත්ත, ඒක පුද්ගල ආදායම දත්තවලට අනුව ඉහළ ගිහින්. ඒත්, සල්ලි තියෙන්නේ පොඩි පිරිසක් ළඟ. උං හරියට බදු ගෙවන්නේත් නෑ. රජයේ ආදායම් පවා හරිහැටි මිනිසුන්ගේ සහනයට යොමු වෙන්නේත් නෑ.

විදේශ ණය විදියට ආපු ඩොලර් බිලියන ගණන් එක්කෝ දේශපාලනඥයන්ට කොමිස් විදියට, නැත්නම් උප කොන්ත්‍රාත් ගත්ත ලංකාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයන්ට සල්ලි විදියට ගිහින්. ඇඟලුම් කර්මාන්තයේ ආදායම, සංචාරක කර්මාන්තයේ ආදායම ඇතුළු බොහෝ ආදායම් ලංකාවේ සුළුතරයක් අතට ගිහින්. සමහර ඒවා විදෙස් රටවල ඕෆ් ෂෝ අකවුන්ට්වල.

ඇත්තටම යුද්ධයෙන් පස්සේ ලංකාවේ පිබිදීමක් තිබුණා. ඉදිකිරීම් කෙරුණා. ඒත්, ඒ කිසිවක් පොඩි මිනිහාට වාසිදායක එකක් වුණේ නෑ. එයාපෝට්, හයිවේ, කුළුණු, ජොගිං පාත් ආදී බොහොමයක් ඉදිකිරීම් ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට වාසියක් වුණේ නෑ. කොටින්ම හම්බන්තොට කොන්ක්‍රීට් යාය එහේ අලි කරදරවලට මුහුණ දිදී වගා කරන මනුස්සයාට වාසියක් වුණේ නෑ.

ඒ තමයි පී.බී. ජයසුන්දරලාගේ ආර්ථික වෙනස්කම්වල ලෙගසි එක. පීබීම ඒක දැක්කා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණය අවුරුදු දෙකකට කලින් 2014 දී පවත්වන්න තීන්දු කළේ. අද හැමෝම දන්නවා මේක දෛවඥයන්ගේ උපදෙස් මත නෙවෙයි, පීබීලාගේ උපදෙස් මත ගත්ත තීන්දුවක් බව.

ඒත්, 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය පරාද වුණ ගමන් ලංකාවෙන් විදේශගත වෙලා හැංගුණ අය අතරින් කෙනෙක් ඔහු. වහාම සිංගප්පූරු ගියා.

ඔහු සීඅයිඒ ඔත්තුකාරයෙක්ද කියන ප්‍රශ්නයට අන්තිමේ අපි දෙන උත්තරය තමයි, අපි ඒක විශ්වාස කරන්නේ නැහැ කියන එක. හැත්තෑ,අසූ ගණන්වල ඇමෙරිකාවේ ගිහින් ආවාම සීඅයිඒ ලේබල් එක නිකම්ම ඇලවුණා. විශේෂයෙන් පිස්සු කෙළින නිලධාරීන් අහවල් ඔත්තුකාරයන් කියන එක සාමාන්‍ය ලේබල් එකක්.

ඒත්, ලංකාවේ ආර්ථික කඩාවැටීමට ඔහු වගකියන්න ඕනෑද කියන ප්‍රශ්නයට සෑහෙන දුරකට ඔව් කියා කියන්නත් පුළුවන්. ඒත්, අපි සූදානම් වෙන්නේ විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන හෝ අනෙකුත් ආණ්ඩු දේශපාලනඥයන් වගේ වැරැද්ද පීබීගේ පිට තියලා දේශපාලන නායකයන් අහිංසක බබ්බු විදියට ලේබල් කරන්න නෙවෙයි.

දේශපාලන නායකයන් අමු මෝඩයෝ. කරන්න ඕනෑ දේ දැනගෙන හිටියේ නෑ. ඉගෙනගන්න උනන්දු වුණේත් නෑ. එළියේ ඉන්න විශේෂඥයන් පෙන්වාදුන් කරුණු, දුන්න උපදෙස් පිළිගත්තේත් නෑ. පීබීලාගේ උපදෙස් දේව වාක්‍ය විදියට සලකමින් වැඩ කළා.

ඒ අනුව ආර්ථිකය කඩා වැටීමේ සෑහෙන වගකීමක් ඔහු අතින් ඉටු වුණා. ඒ වගේම මේ වැටීමෙන් රට ගොඩ ගැනීමේ හැකියාවකුත් ඔහුට නැහැ.

කෙසේ වෙතත් අපේ තුන්වැන් ප්‍රශ්නය වන පී.බී. ආර්ථික ඝාතකයාද කියන ප්‍රශ්නය ඇහුවොත් නිශ්චිතව මේ ආර්ථිකය මරා දාන්න හේතු වෙච්ච තනි වගඋත්තරකාරයා විදියට පීබීව නම් කරන්න සිද්ධ වෙනවා. එහෙම කරන්නත් අමාරුයි.

ජුලියස් සීසර්ට සෑහෙන සෙට් එකක් පිහියෙන් ඇනලා මැරුවාට, අන්තිමේ ‘බෲටස් ඔබත්..?’ කියලා සීසර් ඇහුව නිසා ඔහුගේ නම තමයි වැඩිපුරම හයිලයිට් වුණේ. බෲටස් තනියෙන් සීසර්ව මැරුවේ නෑ. ලංකාවේ ආර්ථිකය පී.බී. තනියම මැරුවේ නෑ. මේක සාමූහික මිනීමැරුමක්.

කිසි වැඩක් බැරි මෝඩයන්ගේ දේශපාලන කැම්පේන්වලට අහු වෙලා ‘ආදරණීය අප්පච්චිලා’, ‘මිස්ටර් ක්ලීන්ලා’, ‘මැන්ඩෙලාලා’, ‘වියතුන්’ කියා රැවටෙමින් පස්සෙන් ගිය මිනිස්සුත් මේ මිනිමැරුමේ වගඋත්තරකාරයන්.