මං පට්ට ලව්! ජගාගේ ෆිල්ම් එක! – චින්තන ධර්මදාස

මට ෆිල්ම්වල ප්‍රෙස් ෂෝ වගේ ඒවට කතා කරනවට මං එච්චර කැමති නෑ. ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ෆිල්ම් එක බලලා ඇඟට දැනෙන දේ අමුවෙන් ලියන්න බැරිවෙන හින්ද.

සාමාන්‍යයෙන් ප්‍රෙස් ෂෝ එකක් තියන්නෙ ෆිල්ම් එක එන්න සෑහෙන කාලෙකට කලින්. ඒක පොඩි ටීසර් වර්ගයේ වැඩක්. එතකොට ෆිල්ම් එක බලලා සම්පූර්ණ විචාරයම ලියන්න ගියොත් ෆිල්ම් එක බලන්න ඉන්න එකාටයි කරපු එකාටයි දෙන්නටම සිද්ද වෙන්නෙ අසාධාරණයක්.

මට ෆිල්ම් එකක් බැලුවම පහුවෙනිදා සියල්ල ලියන්න ඕන වෙනවා. නැත්තං තද කරගෙන දත්මිටි කාගෙන ඉන්න වෙනවා. මං කැමතියි මට ෆිල්ම් එකෙන් කරපු දේ ඒ කම්පනයත් එක්කම ෂෙයාර් කරගන්න. ඒක ආතල්. හැබැයි ජගාගේ ෆිල්ම් එක බලන්න චාන්ස් එකක් දියන් කිය කිය මං හම්බුවෙන හැමවෙලාවෙම ජගාට කරදර කළා.

‘කෝ තාම ඉවර නෑ?’ කිය කිය අහන වදෙන් ඌට බේරෙන්න බැරිම තැන මට ඊයෙ ෂෝ එකට වරෙං කිව්වා.

මං ජගාගේ ෆිල්ම් පරිකල්පනයට මාර කැමතියි. ඌ ස්ක්‍රිප්ට් ඩිවලොප් කරන තැන්වල මං ඉඳලා තියෙනවා. ඒ කතා මං අහලා තියෙනවා. ලංකාවෙ වෙන කිසිම එකෙක් ළඟ නැති වයලන්ස් එකක් ජගා ෆිල්ම්වලට ගේනවා. ඒක ප‍ට්ට රහක්. ඌට විතරක්ම තියෙන එකක්.

මුඩුක්කුවල ටකරං වහලවල් දිගේ චේසින් සීන් කියද්දි ‘අම්මෝ බජට් වැඩියි’ කියල මං කන් වහගන්නවා.

ජගාගේ වෝටර් ලිලී කියන ෂෝර්ට් ෆිල්ම් එක සෑහෙන කාලෙකට කලින් කරපු මට තාමත් රූප රාමුවෙන් රාමුවට මතක වැඩක්. ජගා රහස් කියන කඳු වෙනකල් ඩිවලොප් කරන්නෙ ඒ කෙටි චිත්‍රපටයෙ ප්ලොට් එක. මේ වැඩේ එක්ක ඌ මාර කාලයක් ගත කළා. බජට් නැති හින්දම වැඩේ කරන්න සෑහෙන ක්‍රියේටිව් වෙන්න වුනා. මං හිතන්නෙ රහස් කියන කඳු තමයි ජගාගේ මාස්ටර්පීස් එක. ඒක ඒ තරම්ම අවංක නිර්මාණයක්.

හරිම අඳුරු විසිතුරු ආත්ම ප්‍රකාශනයක්. ජගාගේ ලෝකෙ සම්පූර්ණයෙන්ම ෆිල්ම් එකේ තියෙනවා. කැරැල්ලට ඇති අනුරාගය, දේශපාලන කියවීම, යාළුකම, පිරිමිකම, විනෝදය හැමදෙයක්ම ජගාට දැනෙන විදිහ ෆිල්ම් එකේ පේනවා.

තමන්ගේ ජීවිතය විශ්වයක් විදිහට තිරයක් උඩ දිගේලි කරන එක තමයි සිනමාව කියන්නෙ.මං කැමතිම මූ අති ප්‍රචන්ඩත්වයත් එක්ක හාස්‍යය ගේන විදිහ. මිනිමරද්දිත් බඩ පැලෙන්න හිනා යන තරම්. ඒක මනුවර්ණයානු සිනමාත්මකබව විදිහට දවසක සිනමා පඩියෝ කියවාවි (නලින්ගේ බාසාවෙන්).

රංගනය කියන්නෙ කොහොමත් ජගාගේ විෂය. ෆිල්ම් එකේ අතිප්‍රබල තැන එතන. නළුවො ටික දෙනවා දුවන්න. සමහර සංකීර්ණ සීන් බිල්ඩ් අප් කරලා තියෙන විදිහ විස්මිතයි. ලංකාවෙ ඉන්නවා අර මලයාලම් ෆිල්ම් බලලා ‘ඇයි ලංකාවෙ මේ වගේ ෆිල්ම් හැදෙන්නෙ නැත්තෙ?’ කියල අහන සෙට් එකක්. ඒ අය අනිවාර්යෙන්ම ගිහින් මේක බලන්න ඕන. දෙතුන් පාර බලලා, අනිත් උන්වත් යවලා, ආපහු ඒවගේ වැඩක් කරන්න හදපු එකාව ගොඩදාන්න ඕන. අන්න එතකො‍ට ‘ඒ වගේ’ ෆිල්ම් මෙහෙත් දිගටම හැදෙයි.

‘උඹ නං කැමති ජාතියෙ එකක් නෙමෙයි නේද?’එලියට ආවම ජගා මගෙන් ඇහුවා. මාව අන්දබූත වුණා.

‘නෑ බං මේක මං කැමති ජාතියෙ එකක් නෙමෙයි, මං පට්ට ලව් ජාතියෙ එකක්’